සටහන : සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) අගෝස්තු 28දින : හයිටි අගනුවර වන Port-au-Prince ආසන්නයේ පිහිටි Kenscoff ප්රදේශයට සන්නද්ධ අපරාධ කල්ලියක් එල්ල කළ ප්රහාරයකින් අවම වශයෙන් පුද්ගලයන් 47 දෙනෙකු මියගොස් ඇති අතර 50කට වැඩි පිරිසක් පැහැරගෙන ගොස් තිබේ. එක්සත් ජාතීන්ගේ තොරතුරු අනුව, මියගිය අය අතර දරුවන් පස්දෙනෙකු ද වන බව පැවසේ.
මෙම නව ප්රහාරය හේතුවෙන් දහස් ගණනක් ජනතාව තම නිවාසවලින් පලා ගොස් ඇති අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ පුද්ගලයන් 2,600කට වැඩි පිරිසක් අවතැන් වී ඇති බවයි.
ප්රහාරය සිදුවීමට පෙර ප්රදේශයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ජනතාව සහ ප්රාදේශීය බලධාරීන් අනතුරු ඇඟවීම් කර තිබූ බව වාර්තා වන අතර ප්රහාරය වැළැක්වීමට පොලිසියට නොහැකි වූයේ ඇයිද යන්න පිළිබඳව ජනතාව දැඩි ප්රශ්න මතු කරමින් සිටිති.
හයිටි ජාතික පොලිසිය මේ වන විට Kenscoff ප්රදේශයේ ආරක්ෂක මෙහෙයුම් ක්රියාත්මක කරමින් සිටින අතර, පැහැරගෙන ගිය පුද්ගලයන්ගේ ජීවිත පිළිබඳවද දැඩි අවධානය යොමු වී තිබේ. එක් කල්ලි නායකයෙකු තම කල්ලියේ සාමාජිකයන්ට හානි සිදුවුවහොත් ප්රාණ ඇපකරුවන් මරා දමන බවට තර්ජනය කර ඇති බව පොලිසිය ප්රකාශ කර ඇති අතර කල්ලි ප්රචණ්ඩත්වය හේතුවෙන් දැනටමත් මිලියන 1.4කට වැඩි හයිටි ජනතාවක් අවතැන් වී ඇත.

