රෂිකා හෙන්නායක අගෝස්තු 28 , කොළඹ LNW :
ශ්රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ පවතින අධික ප්රමාදය වර්තමානය වන විට බරපතළ ජාතික ගැටලුවක් බවට පත්ව ඇති බව ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා පෙන්වා දෙයි.
මෙම තත්ත්වයට ප්රධාන හේතුවක් ලෙස ඔහු දකින්නේ, ආරවුල් විසඳීමේදී නීති වෘත්තිකයින් සෘජුවම නඩුකරණය කෙරෙහි පමණක් නැඹුරු වීමයි.
සංකීර්ණ නඩු හැරුණු විට, එදිනෙදා පැනනගින ගැටලුවලින් 90%ක්ම සාකච්ඡා මාර්ගයෙන් හෝ බේරුම්කරණය වැනි විකල්ප ක්රමවේද හරහා කාර්යක්ෂමව විසඳාගත හැකි බව ඔහු අවධාරණය කරයි.
පවතින නීති අධ්යාපනය තුළ පවා අධිකරණ තීන්දු ලබාගැනීමට වැඩි බරක් තබා ඇති බැවින්, මෙම මානසිකත්වය වෙනස් කිරීම කාලීන අවශ්යතාවකි. ඒ අනුව, සාධාරණත්වය ඉටුකිරීමේදී අධිකරණයට අමතරව අනෙකුත් ඵලදායී විසඳුම් කෙරෙහි අවධානය යොමු කිරීමෙන් පවතින නඩු තදබදය අවම කළ හැකි බව මෙහිදී පැහැදිලි කෙරේ.
මෙම ප්රවේශය තුළින් මහජනතාවට ඉක්මන් යුක්තියක් ඉටුකර ගැනීමට මග පෑදෙනු ඇතැයිද පෙන්වා දේ.
ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ,
“අපි වගේ රටවල අධිකරණවල නඩු ඉහළ යාම මෙන්ම යුක්තිය පසිඳලීමේ ප්රමාදය ජාතික ගැටලුවක් බවට පත්ව තිබෙනවා. එය රටේ නායකත්වයේත්, අධිකරණයේත්, මහජනතාවගේත් අවධානය ලක්වූ ප්රශ්නයක් වී තිබෙනවා. දිගුකලක් ඒ පිළිබඳව අධ්යයනය කිරීමෙන් ඊට හේතු වී ඇති කරුණු කිහිපයක් අවබෝධ කර ගැනීමට හැකිවුණා. මෙහි කාලීන ගැටලුවක් වී ඇත්තේ ආරවුල් විසඳීමේ වෙනත් ක්රමවේදයක් නොව නඩුකරණයම තෝරා ගැනීමට අප නීති වෘත්තිකයින් ලෙස ක්ෂණිකව කටයුතු කිරීමයි. එය අපේ නීති අධ්යාපනය තුළින්ම ඇරඹෙනවා. ආරවුල් විසඳීමේ උච්චතම සහ වඩාත් ඵලදායි ක්රමය ලෙස අධිකරණමය තීන්දු වෙත ලක්වන නඩුකරණ අප දැක තිබෙනවා. ඒ නිසා නීති වෘත්තිකයින් මෙන්ම නීති අධ්යයන ක්ෂේත්රයද මේ සඳහා යම් තරමකට වගකිව යුතුයි. සාකච්ඡා මාර්ගයෙන් විසඳාගැනීම, මැදිහත්වීම, සංහිඳියාව, බේරුම්කරණය වැනි ආරවුල් විසඳාගැනීමේ ක්රමවේද අධිකරණමය තීන්දු ලබාදීමේ ක්රමයට විකල්ප ලෙස පමණක් අපි දකිනවා. නමුත් ඒවා අධිකරණ තීන්දු ලබාදීමේ ක්රමයට සාපේක්ෂව දුර්වල විකල්ප නොවෙයි. + සංකීර්ණ වාණිජ ආරවුල් සහ අපරාධ සම්බන්ධ ආරවුල් විසඳිය හැක්කේ අධිකරණ විනිශ්චයන් හරහා පමණක් වුවත් පුද්ගලයින්, සංවිධාන සහ ආයතන මුහුණ දෙන ආරවුල්වලින් 90%ක්ම විකල්ප ක්රම හරහා ඵලදායී ලෙස විසඳාගත හැකි බවයි මගේ හැඟීම.”


