රෂිකා හෙන්නායක අගෝස්තු 28 , කොළඹ LNW :
ශ්රී ලංකාවේ මධ්යම කඳුකරය සුරැකීම සඳහා නව ආරක්ෂණ අධිකාරියක් පිහිටුවීමට රජය සූදානම් වන බව ජනාධිපතිවරයා ප්රකාශ කර ඇත. මෙම පියවර හරහා පරිසර පද්ධතිය විනාශ වීම වැළැක්වීමට අවශ්ය නීතිමය බලතල අදාළ ආයතනය වෙත පවරා දීමට නියමිතය. මීට අමතරව, වතු ප්රජාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා නිවාස, අධ්යාපන සහ සෞඛ්ය පහසුකම් වැඩිදියුණු කිරීමට විශේෂ අවධානයක් යොමු කෙරේ. වතු සමාගම් සමඟ පවතින ඉඩම් ගිවිසුම් නැවත සලකා බැලීම මගින් එම ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීමට ද රජය සැලසුම් කර ඇත. යුද්ධය හේතුවෙන් ඉන්දියාවට ගිය පිරිස්වලට නැවත මෙරටට පැමිණීමට තිබූ බාධා ඉවත් කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මෙම සියලු ක්රියාමාර්ග මගින් පරිසර සංරක්ෂණය සහ සමාජ සාධාරණත්වය ඉටු කිරීම රජයේ ප්රධාන අරමුණ බව ජනාධිපතිවරයා පවසයි.
2023 වසරේ බණ්ඩාරවෙල පූනාගල කබරගල කන්ද නාය යාමෙන් නිවාස අහිමි වූ පවුල් සඳහා ඉදිරිකළ ‘නවෝදයාපුරම්’ නිවාස යෝජනා ක්රමය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
එම අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා තව දුරටත් පැවසූවේ,
“අපේ රටේ අනාගතයේ වැදගත් කොටසක් ඔසවන්නේ මධ්ය කඳුකරය. අපේ වගකීම අපේ අනාගතයට මධ්ය පරිසරය සුරක්ෂිත කිරීම.මේ වැඩපිළිවෙළේදී නිවාස අහිමි වෙන්න පුළුවන්. වගාබිම් තිබෙන ප්රදේශ වනාන්තර වෙන්න පුළුවන්. නමුත් ඒක කරන්න ඕන. නැතුවුණොත් විශාල ව්යසනයකට මුහුණදෙනවා.ආයතනවල බලතල බෙදෙයි, පුටු එහෙට මෙහෙට වෙයි, තනතුරු නාම වෙනස්වෙයි….කවුරුවත් කලබල වෙන්න එපා .ඉඩම් පිළිබඳ විශාල ප්රශ්නයක් තිබෙනවා. වත්තේ වැඩ කළාට සමාගම් ලේසියෙන් ඉඩම් දෙන්න කැමති නෑ. නමුත් මෙම සමාගම්වල ගිවිසුම් 2042 වනවිට අවසන්වීමට නියමිතය.
දැනටමත් එම අමාත්යාංශය එම ගිවිසුම් පිළිබඳ පසුවිපරම් කිරීම සඳහා කමිටුවක් පත්කර විමර්ශනය කරනවා.අපි ඉතා ඉක්මනින් ඒ ගිවිසුම් අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. එහිදී ජනතාවගේ අයිතාවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා වගන්ති සහිතව තමයි එළැඹෙන ගිවිසුම් අත්සන් කිරීමට අපි අවධානය යොමු කරන්නේ , වර්තමාන රජයේ වගකීම සියලු ජන කණ්ඩායම්වලට අවශ්ය මූලික උවමනාවන් ඉටුකිරීම. ඒ සඳහා නිවාස ව්යාපෘති ගණනාවක් ක්රියාත්මක කර තිබෙනවා. එළැඹෙන අයවැයෙන් නිවාස ගොඩනැගීම ප්රමුඛ ලෙස කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.
එම ජනතාවට හොඳ අදායම් මාර්ගයක් අවශ්යයි. එය සම්පූර්ණ කිරීමට බොහෝ ක්රියාමාර්ග ගෙන තිබෙනවා. දැනටමත් වැටුප් වැඩිකිරීම් සිදුකර තිබෙනවා. එය ප්රමාණවත් නොවුණත්, මූලික පියවර ගෙන තිබෙනවා. දරුවන්ගේ අධ්යාපනය පිළිබඳ විශාල අවධානයක් යොමු කරනවා. සියවස් ගණනාවක් මේ ප්රජාව ගතකළ ජීවිතය තමන්ගේ දරුවන්ට උරුමකර දීම යුක්ති සහගත නෑ. වත්තේ ඉපදෙනවා, වත්තේ වැඩ කරනවා, වත්තේ මිය යනවා. වත්තෙම පස්වෙනවා. ඒ ජිවිතයෙන් ඔවුන් එළියට ආ යුතුයි. එම ජීවිතයෙන් එළියට ඒමට තිබෙන ප්රධානම කාරණය අධ්යාපනය.
ඒ වගේම නිරෝගී සම්පන්න ජීවිතයක් වෙනුවෙන් හොඳ සෞඛ්ය පහසුකම් ලබාදෙනවා. අඩු බර දරු උපත් වැඩිපුර තිබෙන්නේ මේ මලෛයිගම් ජනතාව තුළ. අවුරුදු 5ට වඩා අඩු මන්දපෝෂණය තියෙන දරුවන් ඉන්නේ කොහෙද, ආයු කාලය අඩු ප්රජාවක් ඉන්නේ කෙහෙද….ඒ මේ ජනතාව අතර. ඒ නිසා සියවස් දෙකකට වැඩි කාලයක් කොන් කරන ලද, ඇස් ඇර ඔවුන් දෙස නොබලන ලද පාලනයන් විසින් මෙම ජනතාව මෙම ව්යසනයට ලක්කර තිබෙනවා”



