සටහන : සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 03 : රුසියාව සහ බටහිර රටවල් අතර පවතින දැඩි ආතතිය තවදුරටත් උත්සන්න කරමින්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් බ්රිතාන්යය සම්බන්ධයෙන් කළ ප්රකාශයක් මේ වනවිට ජාත්යන්තර අවධානයට ලක්ව තිබේ.
එනම්, ඊයේ දිනයේ පවැති සාකච්ජාවකදී බ්රිතාන්ය හමුදා පහසුකම් වෙත රුසියාව ප්රහාරයක් එල්ල කළ හැකිදැයි මාධ්යවේදියෙකු විසින් ජනාධිපති පුටින්ගෙන් විමසූ අවස්ථාවේදී ඔහු “ඒක රහසක්. හමුදා රහසක්.” යනුවෙන් පුටින් ප්රකාශ කර තිබේ. එම පිළිතුර මඟින් බ්රිතාන්යය වෙත සෘජු ප්රහාරයක් එල්ල කරන බවක් තහවුරු කර නොමැති නමුත්, ප්රහාරයක හැකියාව සම්පූර්ණයෙන්ම ප්රතික්ෂේප නොකිරීම හේතුවෙන් එය සැඟවුණු අනතුරු ඇඟවීමක් ලෙස විශ්ලේෂණය වෙමින් පවතී.
යුක්රේනයට බ්රිතාන්යයෙන් ලබාදෙන දිගු දුර ප්රහාරක අවි සහ තාක්ෂණික සහය සම්බන්ධයෙන් රුසියාව දැඩි විරෝධයක් පළ කරමින් සිටින අතර, රුසියාව පවසන්නේ බ්රිතාන්ය සහ අනෙකුත් බටහිර රටවල් යුක්රේනයට ලබාදෙන අවි සහ තාක්ෂණය මඟින් ගැටුම තවදුරටත් උත්සන්න වන බවයි.
රුසියා–යුක්රේන යුද්ධය තවදුරටත් දිග්ගැස්සෙමින් පවතින අතර, යුක්රේනයේ රුසියානු භූමිය තුළට එල්ල කරන ඩ්රෝන සහ මිසයිල ප්රහාරද, රුසියාවේ ප්රතිප්රහාරද හේතුවෙන් ආතතිය ඉහළ ගොස් තිබේ. එම තත්ත්වය මධ්යයේ බ්රිතාන්යය වැනි යුක්රේනයේ ප්රධාන ආධාරකරුවන් සම්බන්ධයෙන් මොස්කව්හි දැඩි ප්රකාශ නිකුත් වීම යුරෝපයේ ආරක්ෂාව පිළිබඳ නව අවධානයක් ඇති කර තිබේ.

