සටහන : සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 08 : ඇමරිකාව සහ ඉරානය අතර හමුදා ගැටුම් හෝමුස් සමුද්ර සන්ධිය අවට තවදුරටත් උත්සන්න වීම හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.
අද(08) දිනය වන විට Brent බොරතෙල් බැරලයක මිල ඩොලර් 97.34ක් දක්වාත්, ඇමරිකානු WTI බොරතෙල් මිල ඩොලර් 92.63ක් දක්වාත් ඉහළ ගොස් ඇත.
ලෝකයේ තෙල් හා ගෑස් ප්රවාහනය සඳහා අතිශය වැදගත් මාර්ගයක් වන හෝමුස් සමුද්ර සන්ධිය හරහා යන නෞකා සංඛ්යාවද ගැටුම් හේතුවෙන් පහළ ගොස් තිබේ. මෙය මැදපෙරදිගින් ලෝක වෙළෙඳපොළට තෙල් සැපයීම තවදුරටත් අඩාල විය හැකි බවට බියක් මතු කර තිබේ.
විශේෂයෙන්ම ඉරානයෙන් ගල්ෆ් කලාපයේ බලශක්ති යටිතල පහසුකම් වෙත ප්රහාර එල්ල කළ හැකි බවට අනතුරු ඇඟවීම් ලැබීමත් සමඟ, විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ගැටුම් දිග්ගැස්සුණහොත් තෙල් සැපයුමට ඇති බලපෑම වසර අවසානය දක්වා පැවතිය හැකි බවයි.
හෝමුස් සමුද්ර සන්ධියේ තත්ත්වය තවදුරටත් උග්ර වුවහොත්, ලෝක ඉන්ධන මිල ගණන් සහ ශ්රී ලංකාව ඇතුළු තෙල් ආනයනය කරන රටවල ආර්ථිකයටද බලපෑම් එල්ල විය හැකි බවට අවධානය යොමුව තිබේ.

