ඩීසල් විකිණීමේදී තමන්ට පාඩුවක් සිදුවන බව පවසමින් මෙරට ඉන්ධන බෙදාහැරීම කරන විදේශීය සමාගම් ඩීසල් නිකුත් කිරීම සීමාකර ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඉන්ධන මිල වැඩිකිරීම, සහනාධාරයක් ලබාදීම ඇතුළු විකල්ප කිහිපයක් පිළිබඳ රජය විසින් සලකා බලමින් තිබෙන බවත් වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.
“යුද්ධය ආරම්භ කරන්න කලින් තිබ්බ තෙල් මිල සහ දැන් තියෙන තෙල් මිල ගත්තොත් සැලකියුතු වැඩිවීමක් තියෙනවා. ඒ නිසා දැන් අපි කල්පනා කරලා බලන්න ඕනෙ තවත් මිල වැඩිවීමක් කළොත් ඒක රටේ ඉන්ධන පාරිභෝගිකයින්ට දරාගන්න පුළුවන් වේවිද කියලා. අපි මාසෙ අවසානයේ තමයි ඉන්ධන මිල සමාලෝචනය කරන්නෙ. අපිට අවස්ථාවන් කිහිපයක් තියෙයි මිල වැඩිකරන්න, එහෙම නැත්නම් සහනාධාර ලබාදෙන්න. විශෙෂයෙන් මෙතන මැසිවිල්ල, පැමිණිල්ල තියෙන්නෙ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් නෙවෙයි අනිත් ඉන්ධන බෙදාහරින සමාගම්වලින් තමයි පාඩුව නිසා – විශේෂයෙන් ඩීසල් සඳහා. පෙට්‍රල් සඳහා ගැටලුවක් නැහැ – ඩීසල් සඳහා යන ඒගොල්ලන්ගෙ පිරිවැය වැඩි නිසා ඒගොල්ලො වෙළඳපොලට නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය සීමාකරලා තියෙනවා. එයාලාගෙ මිලට අනුරූපව ඉන්ධන අලෙවි කිරීම සඳහා කිසියම් ඉහළ සීමාවක් සහ පහළ සීමාවක් ලබාදීලා ඒ අනුව තමන්ගෙ පිරිවැය අනුව ඉන්ධන මිල නියම කිරීමේ හැකියාව ඒ අයට ලබාදෙන්න පුළුවන්ද කියන එකත් අපි සලකා බලනවා”
අනුර කරුණාතිලක අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය සමග ඊයේ (17) පැවති සාච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.



