රෂිකා හෙන්නායක ඔක්තෝබර් 12, කොළඹ LNW :
“රජය ලබන වසරේ අයවැයෙන් නිවාස ආධාර මුදල් ඉහළ නැංවීමට සාකච්ඡා කරමින් ඉන්නවා, අපි බුදු සසුනට දරුවන් දායාද කරපු දෙමව්පියන්ටත් නිවාස ඉදිකර දෙන වැඩසටහනක් ආරම්භ කරා, හැබැයි දැන් බෞද්ධයෙක් වශයෙන් විරුද්ධ වෙනවයි කියන විපක්ෂනායක ආණ්ඩුවේ ඉන්න කාලයේ ඒවට විරුද්ධ වුණෙත් නෑ, නීති සංශෝධනය කරන්න මැදිහත් වුණෙත් නෑ. අපි ඉතාමත් ඉක්මණින් වර්තමානයට ගැළපෙන අයුරින් නීති සංශෝධනය කරන්න කඩිනමින් කටයුතු කරනවා” – පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත්.
වසර ගණනාවක් පුරා තමන්ගේම අංගසම්පූර්ණ, සුරක්ෂිත නිවසක් පිළිබඳ සිහිනයක් පමණක් සිතේ දරා සිටි අඩු ආදායම්ලාභී පවුල්වල එම සිහිනය යථාර්ථයක් කරදීමේ අරමුණින්, ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයක් මත නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන “තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්” වැඩසටහන අද පවුල් රැසක ජීවිතවලට නව බලාපොරොත්තුවක් එක් කරමින් තිබේ.

ඒ යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මෙම වසර තුළ නිවාස 250ක සංඛ්‍යාවක් ඉදිකිරීම් අවසන් කර ප්‍රතිලාභී පවුල් වෙත භාර කිරීමට නියමිත අතර පසුගිය ඔක්තෝබර් 05 වනදාට යෙදුනු, ලෝක ජනාවාස දිනයට සමගාමීව නිවාස 5000ක් ජනතා අයිතියට පත්කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද නිවාස 100ක පමණ ප්‍රමාණයක් ජනතා අයිතියට පත්කෙරිණි. ඊට අමතරව ඊයේ (11) දිනයේ තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉදිවූ තවත් නව නිවස 05ක් එම ප්‍රතිලාභීන් වෙත භාරකිරීම පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවූ අතර එම අවස්ථාවට එක්ම්වෙමින් නියෝජ්‍ය අමාත්‍යතුමා මෙම අදහස් ප්‍රකාශ කර සිටියේය.



