නිසි සුදුසුකම් සපුරා නොතිබියදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂව රජයේ වියදමින් බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ පාඨමාලාවකට යොමු කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට සහ යෝෂිත රාජපක්ෂට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා මේ මස 28 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.
ඒ, එම නඩුකරය අද (13) කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ය.
එහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් තමන් විසින් ඉල්ලා සිටි ලේඛනවලින් කොටසක් පමණක් ලැබී තිබෙන බවත් ඉතිරි ලේඛන පැමිණිල්ල විසින් ලබාදී නොමැති බවත් සඳහන් කළහ.
ඒ අනුව විත්තිය විසින් ඉල්ලා සිටින ලේඛන තිබේ නම් ඒවා ලබාදීමට කටයුතු කරන ලෙස අල්ලස් කොමිසමට දැනුම්දුන් විනිසුරුවරයා මෙම නඩුකරය පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා යළිත් මේ මස 28 වනදා කැඳවන ලෙසයි නියෝග කළේ.
2006 වසරේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට විධායක ශිෂ්‍ය භටයෙකු ලෙස බඳවාගැනීමට නියමිත සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂ නමැත්තා බඳවාගැනීම සහ එතෙක් පැවැති පටිපාටියට පරිබාහිරව බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ පුහුණු පාඨමාලාවක් සඳහා රජයේ මුදල් ගෙවා යෝෂිත රාජපක්ෂව සහභාගි කරවීමට කටයුතු කරවීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ යන විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර ඇත.


