රේගුව භාරයේ රඳවා ගෙන ඇති දෙමළ ලේඛක දීපචෙල්වන්ගේ කෘති වහාම නිදහස් කරන්නැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කළ නිර්දේශය මේ වන විට කවුරුත් දන්නා ප්රවෘත්තියකි.
මේ දිනවල ජනප්‍රිය මාතෘකා අතර හැලහැප්පීමෙන් මානව හිමිකම් කොමිසමේ නිර්දේශය මතින් හෙළි වූ සංස්කෘතික ඇමැතිවරයාගේ සහ ඊනියා කලා මණ්ඩලවල අසුන් දරන්නන්ගේ අසමර්ථභාවය නමැති මාතෘකාව වැසී ගොස් ඇති බවක් පෙනේ.
දීපචෙල්වන්ගේ කෘති රඳවා තබා ගැනීමේ අවස්ථාවේ සිට අප ඒ ගැන මැදිහත් වීමු. ප්‍රශ්න කළෙමු. මානව හිමිකම් කොමිසම සිය නිර්දේශවල දක්වා ඇති පරිදි ම අප ව්‍යවස්ථාපිත භාෂණයේ නිදහසේ අයිතීන් ගැන විමසුවෙමු.
“එසේ ම ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) වගන්තිය මගින් භාෂණයේ සහ ප්රකාශනයේ නිදහස තහවුරු කර තිබෙන අතර, රේගුව හෝ ආරක්ෂක අමාත්‍යංශය විසින් එය උල්ලංඝනය කරන්නේ කෙසේ ද? ජාතික ජනබලවේග රජය විසින් එය උල්ලංඝනය කරන්නේ කෙසේ ද?”
2026 අප්‍රේල් 18
එපමණක් නොව, මෙය දෙමළ ජනයාගේ සාමූහික මතකය වළලා දැමීමේ ක්‍රියාන්විතයේ ම දිගුවක් බවද ලියා තැබුවෙමු.
මේ ගැන ප්රගතිශීලි අන්දමින් ක්රියාකරන්නට සංස්කෘතික අමාත්‍ය සුනිල් සෙනෙවි අසමත් විය. හෙතෙම ඇමැති වන්නට ප්‍රථමයෙන් රාජ්‍යයේ මෙවැනි ක්‍රියාවන්ට එදිරිව අදහස් පළ කළ ප්රගතිශීලී මතයක් දැරූවකු වුවත්, ඇමැතිවයෙක් ලෙසින් මෙහිදී කිසිවක් කරගන්නට අසමත් වූ බව සටහන් කර තැබිය යුතු ය. එසේ ම ඇමැතිවරයා පවසා තිබුණේ කමිටුවක් හමුවේ විමර්ශනය කර කෘති සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි. කෘති නිදහස් නොකිරීම විසින් අනියමින් පැවසෙන්නේ එම කමිටුව කෘති නිදහස් කරන්නට තීන්දු කර නැති බවයි.
අනෙක් අතට චිරාත් කාලයක් පැවතෙමින් ආ පරිද්දෙන් කලා මණ්ඩලවල දැනුදු අසුන්ගෙන ඇත්තේ වන්දිභට්ටයන් පමණක් බව මේ සිදුවීම හෙළි කරයි. මේ සිදුවීම සම්බන්ධයෙන් එවක ඔවුන් කළ සමහර ප්‍රකාශ අතිශයින් ලැජ්ජාසහගත ය. එදා ගලේ පැහැරූවන් සේ දියාරු කතා කියමින් සිටි ආණ්ඩුව වටා සිටින ප්රගතිශීලී නාමධාරී කලාකරුවන් දැන් මානව හිමිකම් කොමිසමේ නිර්දේශය බෙදාගන්නා අයුරුද දකින්නට ලැබුණි.
මානව හිමිකම් කොමිසමේ නිර්දේශයෙන් සිදු වූයේ බොහෝ දෙනෙක්ගේ සීතාම්බර සළු අහසට විසිවී යාමයි.
දීපචෙල්වන්ගේ කෘති රඳවා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිකුත් කළ නිර්දේශය සැම දෙන කියවා බලන්නට වටිනා තරම් කරුණුවලින් යුක්ත ය. ඒ අතර,
‘රාජ්‍ය ආයතන කිහිපය පූර්ව විනිශ්චයකින් හා සැකයෙන් යුතුව කටයුතු කළ බව පැහැදිලි යි’
යනුවෙන් මානව හිමිකම් කොමිසම විසින් කියා තිබෙන කරුණ විශේෂ ය. එහි මෙසේ ද සඳහන් වේ.
“මෙම පොත් සොයාගත් රාජ්‍ය ආයතන කිහිපය ඒවා සම්බන්ධයෙන් පූර්ව විනිශ්චයකින් හා සැකයෙන් යුතුව කටයුතු කළ බව පැහැදිලි වන අතර, වෙනත් භාෂාවක පොත් සම්බන්ධයෙන් එලෙස ම කටයුතු නොකිරීමට ඉඩ තිබිණි. මෙම පූර්ව විනිශ්චය සහ සැකය ක්‍රියා කරන්නේ බෙදුම්වාදය නැවත මතුවීම සම්බන්ධයෙන් රාජ්‍යය තුළ ගැඹුරින් කා වැදී ඇති භීතිකාවන් මගින් ය,”
කොමිසම මේ පවසන ආයතන කවරේද? ශ්‍රී ලංකා රේගුව, සංස්කෘතික අමාත්‍යංශය, කලා මණ්ඩල, ආරක්ෂක අමාත්‍යංශය ආදී මේ ගැන මැදිහත් වූ ආයතන බව අමුතුවෙන් කිව යුතු නැත.
දැන්, මානව හිමිකම් කොමිසම විසින් ලබා දුන් මේ නිර්දේශයෙන් පසු, ඇසීමට ඇති වැදගත් ප්‍රශ්න මේවා ය.
තමන් විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග වැරදි බවත්, ඒ නිසාවෙන් දීපචෙල්වන් ලේඛකයාට අයුක්තියක් සිදු වූ බවත් ඔවුන් පිළිගන්නවා ද? ප්‍රසිද්ධියේ තම වරද භාරගෙන ඔවුන් ලේඛකයාගෙනුත් රටෙනුත් සමාව ඉල්ලා සිටිනවා ද?
එසේ ම භාෂණයේ නිදහස, නීතිය ඉදිරියේ සමානාත්මතාව සහ නීතියේ සමාන ආරක්ෂාව, භාෂාව පදනම් කරගෙන වෙනස්කමකට ලක් නොවීමේ අයිතිය, භාෂාමය සුළුතරයට ඇති ආරක්ෂාව ආදී ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මානව හිමිකම් මතු කරමින් අතිශය වැදගත් නිර්දේශයක් ලබා දුන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට තුති පුද කළ යුතු ය.
~ සඳුන් ප්‍රියංකර විතානගේ


