සිරදඬුවම් විඳිමින් සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින් ජනාධිපති ලේකම් කාර්යාලය අසළ ඊයේ (15) පස්වරුවේ විරෝධතාවක් ආරම්භ කළ භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් මේ වනවිටත් එම ස්ථානයේ රැඳී සිටිති.
මහනුවර සිට දින හයක් තිස්සේ පාගමනින් කොළඹට පැමිණි මෙම භික්ෂූන් වහන්සේලා ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණි අතර උන්වහන්සේලාව හමුවීමට ජනාධිපති ලේකම් සනත් නන්දික කුමානායක මහතා ද පිටතට පැමිණියේය. එහිදී භික්ෂූන් වහන්සේලා ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලා තිබුණේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් ලබාදුන් ජනාධිපති සමාවේ ඇති බව කියන තාක්ෂණික දෝෂය නිවැරදි කර දෙන ලෙස ය.
ඒ පිළිබඳ තීරණයක් ගැනීම සඳහා මාසයක කාලයක් ලබාදෙන ලෙස ජනාධිපති ලේකම්වරයා දැනුම් දී තිබූ අතර එය පිළිගැනීමට නොහැකි බව පවසමින් භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස ඊයේ රාත්රිය පුරා එම ස්ථානයේ රැඳී සිටිමින් අඛණ්ඩව විරෝධය පළ කළහ.


