රටේ තරුණ පරම්පරව ද එකතු කර ගෙන අලි ඇතුන් ආරක්ෂා කිරීමේ වැඩසටහනකට විපක්ෂ නායකවරයා ලෙස නායකත්වය ලබා දෙන්න සූදානම් බවත් කාවන්තිස්සගේ මිය යෑම ගැන විනිවිදභාවයෙන් යුක්ත ව දේශීය ව හා විදේශීය විශේෂඥයන් මූලික කර ගෙන විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම අත්යාවශ්ය බවත් ඒ තුළින් නිවැරදි කරුණු අනාවරණය කළ හැකි නිසා දේශීය හා විදේශීය විශේෂඥයන්ගෙන් සමන්විත මරණ පරීක්ෂණයක් කඩිනමින් පැවැත්විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා මේ බව කියා සිටියේ සියඹලාන්ගමුවේ දී මියගිය කාවන්තිස්ස මහ ඇතාට අවසන් ගෞරව දැක්වීමට අද එම ස්ථානයට පැමිණි අවස්ථාවේදීය.
පරිසරවේදියකු හා සත්වවේදියකු ලෙසත් වනජීවී ඡායාරූප ශිල්පියකු ලෙස තමාට ඇති අත්දැක්වීම් අනුව කාවන්තිස්ස යනු වනයේ ජීවත් වෙන සාමාන්ය ඇතකු නොව වනයේ සිටින මහසෙන් අග්බෝ සැන්ඩෝ වැනි විශාලම ඇතුන් අතරින් එක් ඇතෙකු බවත් වසර ගණනාවකට පෙර මේ ඇතා සියඹලාන්ගමුව වැව ඉසමත්තේ දී හමුවූ අවස්ථාවේ දී තමා විසින්ම මොහුට කාවන්තිස්ස ලෙස නම් තැබූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අපිට ඉන්නේ දුර්ලභ ඇත් පරපුරක්
අපේ රටේ ඇත් පරපුර දුර්ලභ පරපුරක් වන බවත් ප්රධාන වශයෙන් ආසියා අලි සහ අප්රිකානු අලි අතර අප්රිකානු අලියාගේ පිරිමි ගැහැණු යන දෙකොට්ඨාසයටම දළ ඇති මුත් ආසියාතික අලියාගේ අලියාගේ දළ ඇත්තේ පිරිමි අලියාට පමණක් බවත් ඉන්දියාවේ පිරිමි අලින්ගෙන් 80%කට දළ එන නමුත් අප රටේ 7-8% ප්රමාණයකට දළ එන බවත් එම නිසා අලි මිනිස් ගැටුමට විධිමත් විසදුම් ලබා දී වනජීවී ක්ෂේත්රය, පශු වෛද්ය ක්ෂේත්රය භෞතික හා මානව සම්පත්වලින් ශක්තිමත් කළ යුතු බවත් ජාත්යන්තරව ආධාර ගෙන අලින් සහ සතුන් වෙනුවෙන් ප්රතිකාර කරන්න වෙනමම රෝහලක් ස්ථාපිත කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය.
අලින්ට වෙඩි තබන්න ජනතාව උනන්දු නොකිරීම වගකිවයුතු පාර්ශ්වයන්ගේ වගකීමයි
කාවන්තිස්සගේ මරණය අලි මිනිස් ගැටුමේ එක්තරා ප්රතිඵලයක් බවත් වගකිවයුත්තන් ලෙස අලින්ට වෙඩි තියන්න කියා කිසිදා උනන්දු නොකල යුතු බවත් කෘෂිකර්මාන්තයේ නියැලි සිටින ගොවි ජනතාව පවා ආරක්ෂා කර ගත යුතු බවත් දැන්වත් අලුත් වැඩපිළිවෙළක් ක්රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අලිඇතුන් සුරක්ෂා කරන්න කාර්ය සාධන බලකායක් දැන්වත් ස්ථාපිත කරන්න
ඇතුන් සුරක්ෂා කරන කාර්ය සාධන බලකායක් දැන්වත් ස්ථාපිත කළ යුතු බවත් මීට පෙර ද තමා මෙවැනි යෝජනාවක් කළත් එය බීරි අලින්ට වීනා වාදනය කරන්න වගේ රජය නොසලකා හැරිය බවත් තවදුරටත් මෙවැනි ඇතුන් අහිමි කර ගන්න නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය.
මිනිසාගේ සේම අලියාගේ ජීවිතයත් අපිට වැදගත්
අප රටේ අතීතයේ නම් දළ මහත ඇතුන් බිහි වුවත් වර්තමානයේ ඇත්තේ කුඩා දළ ඇතුන් බවත් ඇතුන්ගේ ජාන සමූහයාගේ යම් අඩුවීමක් සම්බන්ධයෙන් ප්රශ්න ඇති බවත් අලිමිනිස් ගැටුම ඉවර කරන්න විධිමත් වැඩසටහනක් දැන්වත් ක්රියාත්මක කර මිනිසා සේම අලි ඇතුන්ගේ ද ජීවිත ආරක්ෂා කරන්න සාමූහිකව කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

