සටහන – රුවන් නෙළුගොල්ල
ශ්රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලබාදී තිබියදී එම තීන්දුව ඉවත් කරන ලෙස ඇතැමුන් උද්ඝෝෂණය කරන නමුත් වත්මන් රජය අධිකරණ තීන්දුවලට පිටින් කටයුතු නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
“නීතියෙන් රැකවරණ ලබපු, නීතියෙන් වරප්රසාද ලබපු අය ඉන්නවා. ඒගොල්ලො කවදාවත් කැමති නෑ නීතිය සමාන රටක් හදනවාට. ඒගොල්ලොන්ට නීතියෙන් වරප්රසාද තියෙන්න ඕනෙ, රැකවරණ තියෙන්න ඕනෙ, ඒගොල්ලො නීතියෙන් බේරෙන්න ඕනෙ, පහළ අයට නීතිය ක්රියාත්මක වෙන්න ඕනෙ. සාමාන්යයෙන් ඒ නිසාම අපේ රටේ නීතිය පිළිබඳව තිබුණා නිකම් නීතිය යනු මකුළු දැළක් වගේ එකක් කියලා. ඒ කියන්නෙ පොඩි අය අහුවෙනවා, ලොකු අය කඩාගෙන යනවා. අපේ රටේ නීතිය එහෙම තිබුණෙ. එතකොට මොකක්ද කරන්නෙ ? අපට අවශ්යයි අපේ රටේ දරුවන්ගෙ අනාගතය වෙනුවෙන් හැම කෙනාටම සමාන නීතියක් තියෙන රටක් හදන්න. ඕනෙද නැද්ද කියන්න. අපි ඒක හදනවා මතක තබාගන්න. හැබැයි ඒක හදනකොට මොකද වෙන්නෙ ? පරණ නීතියන් වරප්රසාද ලබපු, පරණ නීතියට වඩා උඩින් හිටපු අය කලබල වෙනවා. මේ දවස්වල ටිකක් වැඩියෙන් කලබල වෙනවා. ඇයි ? මේ දවස්වල නීතිය තමන් ළඟට ළඟා නොවේවි කියලා හිතපු අය ගාවට නීතිය ඇවිල්ලා තියෙනවා. කවදාවත් හිතුවෙ නෑ. එතකොට ඒ අය ඒකට එරෙහිව කෑගහන්න පටන් ගන්නවා. මේකයි මේ රටේ තියෙන තත්වය. ඔය නීතිය පිළිබඳව අවසන් වගකිවයුත්තා කවුද ? පාර්ලිමේන්තුව අණ පනත් හදලා දෙනවා, නීතිපති දෙපාර්තමේන්තුව අල්ලස් කොමිසම ඒ අණ පනත්වලට අනුව නඩු දානවා, ඒ නඩුවලට අවශ්ය පරීක්ෂණ ටික අල්ලස් කොමිසම, සීඅයිඩී එක, පොලීසිය කරලා දෙනවා, අවසානයේදී ඒ නීතිය අවසන් වගවිභාගයට ලක්කරන්නේ අධිකරණය. ඒ අධිකරණයේදීත් අවසානයට නීතිය වගවිභාගයට ලක්කරන්නේ කවුද ? ශ්රේෂ්ඨාධිකරණය. ශ්රේෂ්ඨාධිකරණය තීන්දුවක් දෙනවා, තීන්දුවක් දුන්නාම ඒක අයින් කරන්න කියලා කෑගහනවා. දැන් කොහෙද මේ නීතිය තියෙන්නෙ එතකොට ? එහෙම නීති තියෙන්න බෑ රටක. ඒ නිසා මතක තබාගන්න ඒ ආයතනවලට අපි නීතිය ක්රියාත්මක කිරීම සඳහා අවශ්ය බලය ලබාදීලා තිබෙනවා. අපි විශ්වාස කරන්නේ අධිකරණ පද්ධතිය විසින් ලබාදෙන තීන්දු තීරණ තමයි මේ රටේ නීතිය පිළිබඳ නිවැරදි තීරණ ලෙස අපි සලකනවා. සලකන්නෙ නැති අයට කෑගහන්න පුළුවන්. අවසානයේ ශ්රේෂ්ඨාධිකරණය විසින් ලබාදී තිබෙන නිගමනයන්ට තමයි අපි යටත් වෙන්නෙ. අධිකරණය ලබාදී තිබෙන තීරණයන්ට අපි යටත් වෙනවා, එතනින් එහා කවුරුවත් අපෙන් තීරණ බලාපොරොත්තු වෙන්න එපා”
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ අද (18) බදුල්ලේදී පැවති ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්රික් කාන්තා සමුළුව අමතමිනි.


