ආශිකා බ්රාහ්මණ
කොළඹ LNW:සමගි ජන බලවේගයේ පාලනය යටතේ පවතින මහනුවර දිස්ත්රික්කයේ පාතහේවාහැට ප්රාදේශීය සභාවේ කටයුතු සහ එහි සභාපතිවරයාගේ බලතල අත්හිටුවීමට මධ්යම පළාත් ආණ්ඩුකාර වෛද්ය සුරංග ප්රනාන්දු මහතා පියවර ගෙන තිබේ.
1987 අංක 15 දරණ ප්රාදේශීය සභා පනතින් ආණ්ඩුකාරවරයා වෙත පැවරී ඇති බලතල ප්රකාරව 2026 ඔක්තෝබර් 19 වැනි දා සිට ක්රියාත්මක වන පරිදියි මෙම තීරණය ගෙන ඇත.
පාතහේවාහැට ප්රාදේශීය සභාවේ සභාපති, උපසභාපති ඇතුළු සියලුම මන්ත්රීවරුන් විසින් ප්රාදේශීය සභා පනතට පටහැනිව යම් අක්රමිකතාවක් හෝ වරදක් සිදුකර තිබේද යන්න පරීක්ෂා කර වාර්තා කිරීම සඳහා විශ්රාමලත් අධිකරණ නිලධාරී නිහාල් සුනිල් රාජපක්ෂ මහතා මීට පෙර පත්කර තිබුණ අතර එම විමර්ශන කටයුතු දැනට සිදු කෙරෙමින් පවතින අතර පරීක්ෂණය අවසන් වන තෙක් මෙලෙස සභාවේ බලතල අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
සභාවේ බලතල අත්හිටුවීමත් සමඟ පාතහේවාහැට ප්රාදේශීය සභාවේ සහ එහි සභාපතිවරයාගේ බලතල ක්රියාත්මක කිරීමටත්, අදාළ කාර්යයන් ඉටුකිරීමටත් මහනුවර දිස්ත්රික් පළාත් පාලන සහකාර කොමසාරිස් ඒ. ඩබ්. ජී. එල්. අත්තනායක මහත්මිය වෙත බලතල පවරා තිබෙන අතර ඊට අදාළව විශේෂ නිවේදනය අංක 2511/09 දරණ අතිවිශේෂ ගැසට් පත්රය මඟින් ප්රකාශයට පත්කර ඇත.


