සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : ඊයේ(22) රාත්රියේ චීනයට අයත් ටිබෙට් ස්වයං පාලන ප්රදේශයේ නාග්චු (Nagqu) ප්රදේශයට බලපා අැති රික්ටර් මාපකයේ ඒකක 7.0ක ප්රබලත්වයෙන් යුත් භූමිකම්පනයක් හේතුවෙන් පුද්ගලයන් 16 දෙනෙකු මියගොස් තවත් 32 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
පසුගිය ඔක්තෝබර් 22 වැනිදා රාත්රියේ සිදුවූ මෙම භූමිකම්පාව හේතුවෙන් නිවාස සිය ගණනක් කඩා වැටී ඇති අතර, සහන සේවා සහ මුදාගැනීමේ මෙහෙයුම් කඩිනමින් ක්රියාත්මක කර තිබේ.
චීනයේ රාජ්ය පුවත් ඒජන්සිය වන ෂින්හුවා (Xinhua) වාර්තා කළ පරිදි, තුවාල ලැබූවන් අතරින් 11 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා කෙරෙන අතර භූමිකම්පාවෙන් නිවාස 339කට හා ගොඩනැගිලි 20කට ද හානි සිදුවී තිබේ.
ආපදාවට ලක්වූ ජනතාව මුදාගැනීම සහ ඔවුන්ට අවශ්ය සහන සැලසීම සඳහා පොලිස්, ගිනි නිවන හා මුදාගැනීමේ කණ්ඩායම් යොදවා ඇත. නිවාස අහිමි වූ ජනතාවට නවාතැන් සැපයීම සඳහා කූඩාරම් සහ අනෙකුත් අත්යවශ්ය ද්රව්ය ද ප්රදේශයට යවා ඇති අතර භූමිකම්පාවත් සමඟ ඇතැම් ප්රදේශවල සන්නිවේදන කටයුතුවලට බාධා ඇතිවී ඇති අතර, ගල් කඩා වැටීම හේතුවෙන් මාර්ග කොටසක් ද වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇත. මෙම තත්ත්වය සහන කණ්ඩායම්වල ප්රවේශයට බාධාවක් වී තිබේ.
භූමිකම්පාවෙන් සිදුවූ හානි පිළිබඳ තක්සේරු කිරීම් සහ සහන මෙහෙයුම් තවදුරටත් ක්රියාත්මක වන බැවින් මරණ හා තුවාල ලැබූවන් පිළිබඳ සංඛ්යා ඉදිරියේදී වෙනස් විය හැකි බව වාර්තා වේ.
ඉහළ කඳුකර ප්රදේශයක් වන ටිබෙට්හි පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් ද මුදාගැනීමේ කටයුතුවලට අභියෝගයක් විය හැකි බව සඳහන් වේ.

