සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : තායිවානයේ මධ්යම කාලගුණ පරිපාලනයට අනුව, චැම්පි සුළි කුණාටුවේ මධ්යස්ථානය ආසන්නයේ සුළං වේගය පැයට කිලෝමීටර් 191ක් පමණ විය. කුණාටුව දුර්වල වෙමින් පැවතියද, දැඩි සුළං සහ අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ ප්රදේශ රැසකට බලපෑම් එල්ල වීමේ අවදානමක් පැවතිණි.
කුණාටුවේ සුළං බලපෑම කිලෝමීටර් 320ක් පමණ දුරකට පැතිර තිබූ බැවින්, තායිවානයේ විශාල ප්රදේශයක් එහි බලපෑමට ලක්විය හැකි බවට කාලගුණ බලධාරීහු අනතුරු ඇඟවා ඇති අතර එහි බලපෑම දින දෙකකට ආසන්න කාලයක් පැවතිය හැකි බව ද සඳහන් වේ.
තායිවානයේ ප්රවාහන අමාත්යාංශයේ දත්ත අනුව, ඔක්තෝබර් 23 වැනිදා සඳහා දේශීය ගුවන් ගමන් 262ක් සහ ජාත්යන්තර ගුවන් ගමන් 717ක් අවලංගු කර තිබිණි. ඒ අනුව අවලංගු කළ මුළු ගුවන් ගමන් සංඛ්යාව 979කි.
මීට අමතර පාසල් සහ කාර්යාල රැසක් වසා දමා ඇති අතර, තායිවානයේ මූල්ය වෙළෙඳපොළ ද එදින වසා තැබිණි. අගනුවර වන තායිපේහි මෙට්රෝ ඇතුළු පොදු ප්රවාහන සේවා සීමිත මට්ටමින් ක්රියාත්මක වේ.
අවදානම් සහිත කඳුකර ප්රදේශවල ජීවත් වූ ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමට බලධාරීහු පියවර ගෙන ඇති අතර වෙරළබඩ ප්රදේශවල ජනතාවට ද දැඩි සුළං, උස් රළ සහ ගංවතුර අවදානම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
කුණාටුව තායිවානයේ ඊසානදිග ප්රදේශයට ආසන්නයෙන් ගමන් කර, ඉන් අනතුරුව චීන වෙරළ දෙසට හැරී දකුණු ජපානය දෙසට ගමන් කරනු ඇතැයි පුරෝකථනය කර ඇත.

