රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW :
2026 වසරේ මුල් මාස නවය තුළ ශ්රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 13.61 සීමාව දක්වා ළඟා වී ඇති අතර එය 2025 අනුරූප කාලපරිච්ඡේදයේ වාර්තා වූ ඇමරිකානු ඩොලර් බිලියන 12.96 ට සාපේක්ෂව 5.04% ක ඉහළ යාමකි. මෙම ධනාත්මක කාර්ය සාධනය සදහා වෙළඳ භාණ්ඩ සහ සේවා අපනයන යන අංශ දෙකෙහිම වර්ධනය සහාය වී ඇත.
ශ්රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද නවතම අපනයන කාර්යසාධන දත්තවලට අනුව සහ මැණික් හා ස්වර්ණාභරණ මෙන්ම ඛනිජ තෙල් නිෂ්පාදන අපනයනය සම්බන්ධයෙන් ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් ඉදිරිපත් කරන ලද ඇස්තමේන්තුවලට අනුව, 2026 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ ශ්රී ලංකාවේ භාණ්ඩ අපනයන ආදායම 5.35%කින් වර්ධනය වී ඇත. එය ඇමෙරිකානු ඩොලර් බිලියන 10.76කි. 2025 වසරේ මෙම කාලසීමාව තුළ වාර්තා වූ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 10.22ක් වූ අතර, ඒ අනුව මෙම වසරේ මුල් මාස නවය තුළ භාණ්ඩ අපනයන ආදායමේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරයි.
2025 වසරේ මෙම කාලසීමාව තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.74ක් ලෙස වාර්තා වූ සේවා අපනයන ආදායම, 2026 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ 3.88%කින් වර්ධනය වී ඇත. එය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.85කි.
මෙම සාධනීය වර්ධනය 2026 සැප්තැම්බර් මාසයේ කාර්යසාධනය තුළ ද පිළිඹිබු වූ අතර, එහිදී සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.69 ක් දක්වා ළඟා වූ අතර, එය 2025 සැප්තැම්බර් මාසයේ පැවති ඇමරිකානු ඩොලර් බිලියන 1.44 හා සසඳන විට 17.23% ක වාර්ෂික වැඩිවීමකි.
මෙම මාසික අපනයන වර්ධනය සඳහා ප්රධාන වශයෙන් දායක වී ඇත්තේ භාණ්ඩ අපනයන අංශයයි. එය 2025 සැප්තැම්බර් මාසයේ ඇමරිකානු ඩොලර් බිලියන 1.14 ට සාපේක්ෂව 21.66% කින් එනම්, ඇමරිකානු ඩොලර් බිලියන 1.39 ක් දක්වා ඉහළ ගොස් ඇත. සේවා අපනයන අංශය ද ධනාත්මක කාර්යසාධනයක් පෙන්නුම් කරමින් 2025 වසරේ සැප්තැම්බර් මාසයේදී වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 304.14ක ආදායමට සාපේක්ෂව 2026 සැප්තැම්බර් මාසයේදී 0.67%කින් වර්ධනය වී ඇමෙරිකානු ඩොලර් මිලියන 306.17ක් දක්වා ඉහළ ගොස් ඇත.
වසරේ මුල් මාස නවය තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 13 සීමාව පසුකිරීම, ශ්රී ලංකාවේ අපනයන පදනම පුළුල් කිරීම හා විවිධාංගීකරණය කිරීම, ජාත්යන්තර වෙළඳපොළ තුළ පැවැත්ම ශක්තිමත් කිරීම සහ ජාතික ආර්ථිකයට අපනයන ක්ෂේත්රයේ දායකත්වය ඉහළ නැංවීමට ගන්නා උත්සාහයන් හි සුවිශේෂී ඉදිරි පියවරකි.
2030 වසර වන විට වාර්ෂික අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 36ක් දක්වා ඉහළ නැංවීමේ ඉලක්කය සහිත 2026–2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP), ශ්රී ලංකාවේ අපනයන ක්ෂේත්රයේ වර්ධනය වේගවත් කිරීම සඳහා උපායමාර්ගික රාමුවක් සපයයි.
2026 අගෝස්තු මාසයේ අපනයන කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වමින් ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා ප්රකාශ කළේ, 2026 පළමු මාස නවය තුළ සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 13 පසුකිරීම ශ්රී ලංකා අපනයන ක්ෂේත්රයේ සුවිශේෂී කඩඉමක් වන අතර එය අපනයන ප්රජාවේ ශක්තිමත්භාවය, නම්යශීලී බව සහ අඛණ්ඩ උත්සාහය පෙන්නුම් කරන බවයි. භාණ්ඩ හා සේවා අපනයන අංශ දෙකෙහිම වාර්තා වූ ධනාත්මක වර්ධනය මෙන්ම සැප්තැම්බර් මාසයේදී සේවා අපනයන අංශයේ දක්නට ලැබුණු ප්රබල කාර්යසාධනය මඟින් ශ්රී ලංකාවේ අපනයන පදනමේ වර්ධනය වන විවිධත්වය සහ ශක්තිය මනාව පෙන්නුම් කරන බව ද හෙතෙම පැවසීය.
මෙම ප්රවේගය මත පදනම්ව කටයුතු කිරීමේදී, දැනට පවතින අපනයන අංශවල තරඟකාරිත්වය ශක්තිමත් කරන අතරම නව නිෂ්පාදන, සේවාවන් සහ වෙළඳපොළවල් සංවර්ධනය කිරීම වේගවත් කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේය. ඉහළ අගය එකතු කිරීම්, නවෝත්පාදනයන්, තාක්ෂණය වැළඳ ගැනීම, වෙළඳපොළ විවිධාංගීකරණය සහ ගෝලීය අගය දාමයන් වෙත වඩාත් ගැඹුරින් සම්බන්ධ වීම අපනයන වර්ධනය පවත්වා ගැනීමටත් ජාතික ආර්ථිකයට වැඩි වටිනාකමක් එකතු කිරීමටත් තීරණාත්මක වනු ඇත.
ඉදිරි අභියෝගයන්ට මුහුණ දීමට, ජාත්යන්තර වෙළඳාම සඳහා සුදුසු පරිසරය වැඩිදියුණු කිරීමට සහ ව්යාපාරවල ගෝලීය ව්යාප්තියට සහාය වීමට අපනයනකරුවන්, කර්මාන්ත සංගම් සහ රාජ්ය පාර්ශවකරුවන් සමඟ අපනයන සංවර්ධන මණ්ඩලය අඛණ්ඩව සමීපව කටයුතු කරන බව හෙතෙම සඳහන් කළේය. අඛණ්ඩ සහයෝගීතාවය මෙන්ම තරඟකාරිත්වය සහ විවිධාංගීකරණය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් ශ්රී ලංකාව එහි දිගුකාලීන අපනයන අභිලාෂයන් කරා ගෙන යාමටත්, වඩාත් ශක්තිමත්, තරඟකාරී සහ අපනයන මුලික ආර්ථිකයක් ගොඩනැගීමටත් කැපවන බව ද ඔහු පැවසීය.
2026–2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම ඵලදායී ලෙස ක්රියාත්මක කිරීම සහ සියලු පාර්ශ්වකරුවන් අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම තුළින්, මේ වන විට අත්කරගෙන ඇති ධනාත්මක ප්රතිඵල තවදුරටත් ඉදිරියට ගෙන යාම, තිරසාර අපනයන වර්ධනයක් ළඟා කර ගැනීම සහ 2030 වසර වන විට වාර්ෂික අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 36ක් දක්වා ඉහළ නැංවීමේ ශ්රී ලංකාවේ දිගුකාලීන අරමුණ සාක්ෂාත් කර ගැනීමත් අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.




මූලාශ්ර: ශ්රී ලංකා මහ බැංකුව , ශ්රී ලංකා රේගුව
2026 සැප්තැම්බර් මස සඳහා අපනයන සේවා, මැණික් හා ස්වර්ණාභරණ, සහ පෙට්රෝලියම් නිෂ්පාදනවල අපනයන සංඛ්යාලේඛන අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් ඇස්තමේන්තු කරන ලදී.


