බෙංගාල බොක්කේ සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට වක්‍ර බලපෑම් – ප්‍රදේශ රැසකට තද වැසි සහ ගංවතුර අවදානම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW :

බෙංගාල බොක්කේ වර්ධනය වී ඇති සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඍජු බලපෑමක් අපේක්ෂා නොකෙරුණද, දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි, තද සුළං සහ ගංවතුර අවදානම් ඇති විය හැකි බව ආපදා කළමනාකරණ අංශ පවසයි.

මේ බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ. එල්. කේ. විජේමාන්න මහතා සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එල්. එස්. සූරියබණ්ඩාර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළහ.

ඒ අනුව, බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ, මධ්‍යම සහ උතුරු මැද පළාත්වලටත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයටත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100–150 දක්වා තද වැසි සහ පැයට කිලෝමීටර් 40–50ක පමණ තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය. සුළි කුණාටුව ඔක්තෝබර් 28 වැනිදා ඉන්දියාවේ ආන්ධ්‍ර ප්‍රදේශය ආසන්නයෙන් ගොඩබිමට ඇතුළු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ අතර, කළු ගඟේ රත්නපුර සහ පහළ ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් වර්ධනය වී ඇති අතර, කැලණි ගඟේ සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් ඉහළ යාම හේතුවෙන් පහත් බිම්වල ජනතාවට අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේය. දැදුරු ඔය, රාජාංගනය, තබ්බෝව සහ ඉංගිනිමිටිය ජලාසවලින් ද ජලය මුදාහරින බැවින් ඒ ආශ්‍රිත පහත් බිම්වල ජනතාව විමසිල්ලෙන් පසුවිය යුතුය.

ආපදා තත්ත්වයන්ට මුහුණදීම සඳහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සූදානම් කර ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මේ වන විට දිස්ත්‍රික්ක හයක පවුල් 72කට අයත් පුද්ගලයන් 277 දෙනකු ආරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.
බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙසත්, ගංවතුර අවදානම් සහිත ප්‍රදේශවල ජනතාව නිල අනතුරු ඇඟවීම් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසත් බලධාරීහු ඉල්ලා සිටිති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...

ස්වයං පිටුවහල් ජිවිතයකින් පසුව නොබෙල් ත්‍යාගලභී විපක්ෂ නායිකා මරියා කොරිනා මචාඩෝ යලි වෙනිසියුලාවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: වෙනිසියුලාවේ ප්‍රජාතන්ත්‍රවාදය,...

ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 පළමු මාස නවයේදී ඩො. බි. 13.6 ඉක්මවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : 2026 වසරේ මුල්...