රුපියල් මිලියන 23,000ක ප්‍රතිපාදන සමඟ ව්‍යාපෘති 15,554ක් – ”ප්‍රජා ශක්ති” ප්‍රගති වාර්තාව මෙන්න!

කොළඹ LNW:වර්තමාන රජයේ ප්‍රමුඛ අරමුණක් වන දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම වෙනුවෙන්, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය සහ ප්‍රජා ශක්ති ලේකම් කාර්යාලය එක්ව ක්‍රියාත්මක කරන ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන සඳහා 2026 අයවැයෙන් රුපියල් මිලියන 25,000ක මුදලක් වෙන් කර තිබේ.

ඒ අනුව, දිවයිනේ ග්‍රාම නිලධාරී වසම් 14,007ම ආවරණය වන පරිදි පිහිටුවා ඇති ප්‍රජා සංවර්ධන සභා මගින් ප්‍රමුඛතා මත හඳුනාගෙන යෝජනා කර ඇති සංවර්ධන ව්‍යාපෘති මේ වන විට සෑම ගමකම ක්‍රියාත්මක වෙමින් පවතී.

2026 වර්ෂය තුළ වැඩසටහනේ සමස්ත ප්‍රගතිය පිළිබඳ සමාලෝචන සාකච්ඡාවක් පසුගියදා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, සෙත්සිරිපාය පරිශ්‍රයේ පිහිටි එම අමාත්‍යාංශයේදී පැවැත්විණි.

එහිදී අනාවරණය වූයේ මේ වන විට දිවයිනේ සියලුම පරිපාලන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි රුපියල් මිලියන 23,000ක පමණ ප්‍රතිපාදන යටතේ සංවර්ධන ව්‍යාපෘති 15,554ක් ක්‍රියාත්මක වන බවයි. එමගින් සෘජු ප්‍රතිලාභීන් 1,406,315කට ආසන්න පිරිසකට ප්‍රතිලාභ සැලසීමට නියමිතය.

එමෙන්ම, වැඩසටහනේ 2026 10.31 දින වන විට සමස්ත භෞතික ප්‍රගතිය 54.81%ක් වන අතර මූල්‍ය ප්‍රගතිය 7.48%ක් බවද ග්‍රාමීය සංවර්ධන කාර්යාංශයේ නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ.

සමස්ත ව්‍යාපෘති සංඛ්‍යාවෙන් 51%ක් එනම් ව්‍යාපෘති 7,880ක් යටිතල පහසුකම් සංවර්ධන ක්ෂේත්‍රයට අයත් වේ. ඒ සඳහා රුපියල් බිලියන 12.72ක ප්‍රතිපාදන වෙන් කර ඇති අතර එහි භෞතික ප්‍රගතිය 64.60%කි.

කර්මාන්ත ක්ෂේත්‍රයේ ව්‍යාපෘති 3,321ක් (21%ක්) ක්‍රියාත්මක වන අතර ඒ සඳහා රුපියල් බිලියන 4.01කට අධික මුදලක් වෙන් කර තිබේ. එහි භෞතික ප්‍රගතිය 43.36% කි.

කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ව්‍යාපෘති 2,436ක් (16%ක්) ක්‍රියාත්මක වන අතර ඒ සඳහා රුපියල් බිලියන 3.21කට අධික ප්‍රතිපාදන වෙන් කර ඇත. එහි භෞතික ප්‍රගතිය 46.40% කි.

සත්ව පාලන ක්ෂේත්‍රයේ ව්‍යාපෘති 1,120ක් (7%ක්) ක්‍රියාත්මක වන අතර ඒ සඳහා රුපියල් බිලියන 1.44ක මුදලක් වෙන් කර තිබේ. එහි මූල්‍ය ප්‍රගතිය 11.53% කි.

මීට අමතරව, සේවා අංශය යටතේ ව්‍යාපෘති 408ක් සඳහා රුපියල් මිලියන 831.4ක් ද, ධීවර ක්ෂේත්‍රය යටතේ ව්‍යාපෘති 385ක් සඳහා රුපියල් මිලියන 645.7ක් ද වශයෙන් ප්‍රතිපාදන වෙන් කර එම ව්‍යාපෘති ක්‍රියාත්මක වෙමින් පවතී.

වැඩිම ව්‍යාපෘති සංඛ්‍යාවක් ක්‍රියාත්මක වන දිස්ත්‍රික්කය කුරුණෑගල වන අතර එම සංඛ්‍යාව 1,628කි. මාතර දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 1,526ක් ද, මහනුවර දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 1,215ක් ද, ගම්පහ දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 1,016ක් ද ක්‍රියාත්මක වේ.

2026.10.31 දිනට වැඩිම ප්‍රතිපාදන අනුමත කර ඇති දිස්ත්‍රික්කය මහනුවර වන අතර එම මුදල රුපියල් බිලියන 1.768කි. කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා රුපියල් බිලියන 1.766ක් ද, ගම්පහ දිස්ත්‍රික්කය සඳහා රුපියල් බිලියන 1.427ක් ද වෙන් කර තිබේ.

ඉහළම භෞතික ප්‍රගතියක් වාර්තා කර ඇත්තේ මඩකලපුව දිස්ත්‍රික්කය වන අතර එම ප්‍රගතිය සියයට 78.48කි. මොනරාගල දිස්ත්‍රික්කයේ සියයට 76.25ක් ද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියයට 75.07ක් ද, මහනුවර දිස්ත්‍රික්කයේ සියයට 74.49ක් ද වශයෙන් භෞතික ප්‍රගතිය වාර්තා වී තිබේ.

ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහන්වලට අමතරව, විශේෂ ව්‍යාපෘති 150කට අධික සංඛ්‍යාවක් ද දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක වේ. මධ්‍ය පරිමාණයේ විශේෂ ව්‍යාපෘති සඳහා රුපියල් බිලියන 1.30කට අධික (රු. 1,303,180,000.00) ප්‍රතිපාදන වෙන් කර තිබේ.

ඒ අතර ප්‍රධාන ව්‍යාපෘති කිහිපයක් ලෙස,

ඩෙල්ෆ්ට් දූපතේ ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් බෝට්ටුවක් මිලදී ගැනීම – රුපියල් මිලියන 235.

කැකිරාව, මලව වැව නවීකරණය හා සංචාරක සේවා ප්‍රවර්ධනය – රුපියල් මිලියන 143.99.

කුරුණෑගල, රස්නායකපුර මිරිදිය මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය ඉදිකිරීම – රුපියල් මිලියන 100.

පොළොන්නරුව, ඇතුමල්පිටිය සංචාරක ගම්මානය සංවර්ධනය – රුපියල් මිලියන 100.

දඹුල්ල කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සේවා මධ්‍යස්ථානය – රුපියල් මිලියන 75.

කොස්ගම හා පාදුක්ක ගොවිජන සේවා මධ්‍යස්ථාන සඳහා ට්‍රැක්ටර්, අස්වනු නෙළන යන්ත්‍ර සහ එක්ස්කැවේටර් යන්ත්‍ර ලබාදීම – එක් ව්‍යාපෘතියක් සඳහා රුපියල් මිලියන 41.71 බැගින්.

වැනි සංවර්ධන ව්‍යාපෘති මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බවද මෙහිදී අනාවරණය විය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා සඳහන් කළේ, වර්ෂ අවසානයට පෙර සියලුම සංවර්ධන ව්‍යාපෘති අවසන් කර ජනතා අයිතියට පත් කිරීම සඳහා ඒවායේ ක්‍රියාත්මක වීමේ වේගය තවදුරටත් ඉහළ නංවන ලෙසයි.

එමෙන්ම, රාජ්‍ය මූල්‍ය විනය ආරක්ෂා කර ගනිමින්, ජනතාවට උපරිම ප්‍රතිලාභ සැලසෙන අයුරින් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මෙම අවස්ථාවට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රීනායක මහතා, අතිරේක ලේකම් (ග්‍රාමීය සංවර්ධන) සුමින්ද සිංගප්පුලි මහතා, ග්‍රාම සංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ තිලිනි කරස්නාගොඩ මහත්මිය, ග්‍රාමීය සංවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ නිලන්ත වික්‍රමනායක මහතා, අධ්‍යක්ෂ ප්‍රදීප් වික්‍රමගේ මහතා, අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් සමීර අල්විස් මහතා, සම්බන්ධීකරණ ලේකම් ජේ.වී. සුසිල් මහතා ඇතුළු කාර්යාංශයේ නිලධාරීහු සහභාගී වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපි දැන් බලන් ඉන්නෙ තුන්වෙනි අයවැයේදී ජනාධිපතිතුමා කොච්චර පච කියනවද කියලා ගණන් කරන්න – නාමල් රාජපක්ෂ

කොළඹ LNW:''ආවේ ජාතික හැඳුනුම්පතේ ඉඳන් ඩිජිටලයිස් කරනවා කියලා. හැබැයි...

TIN අංකය සම්බන්ධයෙන් විශේෂ දැනුවත් කිරීමක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:TIN අංකය සම්බන්ධයෙන් මේ වන විට ප්‍රචාරය...

රිදී විහාරය විදේශීය සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය වෙයි!

කොළඹ LNW:කුරුණෑගල ඓතිහාසික රිදී විහාරය විදේශීය සංචාරක ගමනාන්තයක් බවට...

ඉන්ධන සහනය සහ අස්වැසුම ප්‍රතිලාභීන් වෙත අතිරේක සහන දෙන්න බිලියන 47ක පරිපූරක ඇස්තමේන්තුවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉන්ධන මිල ඉහළ යාමෙන් ජනතාවට ඇතිවන බලපෑම...