කොළඹ LNW:වත්මන් රජයේ සංවර්ධන වැඩසටහන් ප්‍රධාන අරමුණු තුනක් යටතේ ක්‍රියාත්මක වන අතර, ඒවා නම් දිළිඳුකම තුරන් කිරීම, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සහ ඩිජිටල් ආර්ථිකය ගොඩනැඟීමයි. ඒ අනුව, දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන ලෙස ‘ප්‍රජා ශක්ති’ වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.
දිවයිනේ ග්‍රාම නිලධාරී වසම් 14,007 තුළම පිහිටුවා ඇති ප්‍රජා සංවර්ධන සභා මඟින් ප්‍රමුඛතා අනුව හඳුනාගත් සංවර්ධන වැඩසටහන් මේ වන විට සියලුම ගම්මානවල ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ සඳහා 2026 වර්ෂයේ අයවැයෙන් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 25,000කි.
මෙලෙස ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහන් ප්‍රධාන වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ සැලසුම් කර ඇත. එනම්, ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් සහ යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන් ලෙසයි. මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති සංවර්ධන ව්‍යාපෘති සංඛ්‍යාව 15,711කි. ඉන් ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් 7,830ක් වන අතර, යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සංඛ්‍යාව 7,881කි.
කොළඹ දිස්ත්‍රික්කය සඳහා ‘ප්‍රජා ශක්ති’ වැඩසටහන යටතේ රුපියල් මිලියන 1,107ක් වෙන් කර ඇති අතර, ඉන් මේ වන විට සංවර්ධන වැඩසටහන් 751ක් ක්‍රියාත්මක කර තිබේ. ඒ මඟින් සෘජු ප්‍රතිලාභීන් 122,908 දෙනෙකුට ප්රතිලාභ සැලසීමට අපේක්ෂා කෙරේ.
ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් දිරිගැන්වීමේ සමාරම්භක උත්සවය ඊයේ (08) ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම වැඩසටහන මඟින් කෘෂිකර්මාන්තය, ඇඟලුම් කර්මාන්තය, ආහාර නිෂ්පාදනය සහ විසිතුරු මත්ස්‍ය කර්මාන්තය යන ක්ෂේත්රවල ස්වයං රැකියාවල නිරත ප්‍රතිලාභීන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට අපේක්ෂා කෙරේ.
එහිදී සභාව ඇමතූ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා සඳහන් කළේ ගමේ සංවර්ධන ප්‍රමුඛතා තීරණය කළ යුත්තේ සාම්ප්‍රදායික ලෙස දේශපාලනඥයන් හෝ රාජ්‍ය නිලධාරීන් නොව, ගමේ ජනතාව විසින්ම බවයි.
එමෙන්ම, ප්‍රජා සංවර්ධන සභාවලට ඍජු මූල්‍ය බලයක් නොමැති වුවද, මහජන මුදල් වංචාවෙන්, දූෂණයෙන් හා නාස්තියෙන් තොරව නිවැරදිව භාවිත වන්නේද යන්න අධීක්ෂණය කිරීම සඳහා ‘සමාජ විගණනයක්’ සිදු කිරීමේ නිල බලය එම සභාවලට ලබා දී ඇති බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
රටේ ආර්ථිකය ස්ථාවර කර ඇති අතර, එහි ප්රතිලාභ ජනතාවට ලබා දීමේ එක් පියවරක් ලෙස රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට රජය පියවර ගෙන තිබේ. ඒ අනුව, වසර තුනක් ඇතුළත අවම වශයෙන් සියයට 68ක වැටුප් වැඩිවීමක් ලබා දී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එබැවින්, සුළු දීමනා පිළිබඳ ගැටලු කෙරෙහි පමණක් අවධානය යොමු නොකර, ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ පුළුල් වගකීම ඉටු කිරීම සඳහා කැපවී කටයුතු කරන ලෙස අමාත්‍ය උපාලි පන්නිල මහතා නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘ප්‍රජා ශක්ති’ වැඩසටහන සඳහා වෙන් කරන මුදල් පමණක් නොව, පළාත් සභා ප්‍රතිපාදන, රේඛීය අමාත්‍යාංශවල ප්‍රතිපාදන, විමධ්‍යගත මන්ත්‍රී ප්‍රතිපාදන, පෞද්ගලික අංශයේ දායකත්වය සහ රාජ්‍ය නොවන සංවිධානවල ආධාර ද ප්‍රජා සංවර්ධන සභා හරහා සකස් කරන තනි ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන සැලැස්මකට අනුව යෙදවිය යුතු බව පැමිණ සිටි ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයන් හමුවේ අවධාරණය කළේය.
මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා හෝමාගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති අරුණ පනාගොඩ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතා, හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් රත්නායක මහතා, ප්‍රාදේශීය ලේකම් ඩී. චින්තක මහතා, ප්‍රාදේශීය ජනතා නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රතිලාභීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.


