නොවැම්බර් 13, කොළඹ LNW:
මගේ පොත් කියවීමේ සංචාරය ඇතුළෙ මං කියවපු විශිෂ්ඨම පොතක් තමයි පේද් රෝ පරාමෝ කියන පොත. මං හිතන්නෙ ඒ පොත විතරක් නෙමෙයි ඒ පොත ලියපු හුවාන් රුල්ෆෝ කියන්නෙත් කාටවත් සම කරන්න බැරි අග්‍රගණ්‍යතම ලියන්නෙක්.
උල්ෆෝ ගෙ The Burning Plane කියන කෙටි කතා පොත දැවෙන තැන්න නමින් සිංහලයට පරිවර්තනය වෙලා තියෙනවා කියලා දැන ගත්ත වෙලාවෙ මට අප්‍රමාණ සතුටක් දැනුණා.
සත්‍යපාල ගල්කැටිය කියන පරිවර්තකයා මුලින්ම මගේ හදුනාගැනීමට එකතු වෙන්නෙ පොත් හෙර කියන පරිවර්තන නවකතාව හරහායි.
මුරකමිගේ The Elephant Vanishes කෘතියේ තෝරාගත් කතා දහයක්, අලියා අතුරුදන් නමින් පරිවර්තනය කිරීම හේතුවෙන්, 2021 දී හොදම පරිවර්තන කෘතියට හිමි සම්මානය දිනා ගත්ත සත්‍යපාල ගල්කැටිය කියන්නෙ පරිවර්තකයෙක් විතරක්ම නෙමෙයි.
දෙවොල් බිම දෙදරයි, වැවෙන් උපන් දිය කිදුරිය වැනි නවකතා හා කෙටි කතා පොත් ද ලාංකීයා සාහිත්‍ය කලාවට දායාද කළ ඔහුගේ සේවය සාහිත්‍ය විචාරය දක්වාම පැතිර යනවා.
ඔහුගේ සාහිත්‍ය භාවිතාව පිළිබදව ලංකා නිවුස් වෙබ් අඩවිය ඔහු සමග සිදු කළ සාකච්ඡාව සිදු වුණේ මෙන්න මේ විදියටයි.

ප්‍ර. හුවාන් රුල්ෆෝ කියන්නෙ එක නවකතාවක් සහ එක කෙටි කතා පොතක් පළ කරල ලෝක සාහිත්‍ය උඩු යටිකුරු කරපු පුද්ගලයෙක්. ඔහුගෙ මරණයෙන් පසුව තව කෙටි නවකතාවකුත් පළ වෙලා තියෙනවා. කොහොම නමුත් උල්ෆො වගේ දැවැන්තයෙක්ගෙ කෙටි කතා පොත, ඔබ 'දැවෙන තැන්න නමින්' පරිවර්තනය කරනවා. ඇත්තටම මගේ ප්රශ්නය තමයි ඔබ කොහොමද උල්ෆෝ වගේ කෙනෙක්ගෙ භාවිතාව අපේ දේශීය නිර්මාණකරුවන්ට, පාඨකයන්ට වැදගත් වෙන විදිය දකින්නෙ?
පි. හුවාන් රුල්ෆො කියන්නෙ ප්‍රමාණාත්මකව ඔහු විසින් ලියන ලද කෘතීන් ගණන සීමා වුණත්, ගුණාත්මක වශයෙන් විශ්ව සම්භාවනාවට පත් වුණ ලේඛකයෙක්. වෙසෙසින්ම මායා යථාර්ථවාදී රීතිය ගුරුකොට ගනිමින් රචනා වුණු ඔහුගේ පේද් රෝ පරාමෝ නම් නවකතාව කොලොම්බියානු ලේඛක ගාර්ෂියා මාකේස්ගේ පවා නොමද ගවුරයට පාත්‍ර වුණු නවකතාවක්.
මං දැවෙන තැන්න නමින් සිංහලට පරිවර්තනය කරපු ඔහුගේ The burning Plane කියන කෙටි කතා එකතුවෙහි එන කෙටිකතා මූලික වශයෙන් යථාර්ථවාදී රීතිය ගුරුකොට ගනිමින් ලියවුනත්, ඒක ඇතුළෙ ඉදගෙන නව ආඛ්‍යාන රීතීන් ගවේෂණය කරන්න ඔහු දරණ වෑයම මගේ පරිවර්තිත කෙටි කතා එකතුවෙන් එන “මිනිසා”,”හිරු උදා වෙද්දී” “මතක තියාගන්න” වැනි කෙටි කතා තුළින් මනාව ප්‍රකට වෙනවා.
රුල්ෆෝ උපන් අවදියේදී , ඒ කියන්නෙ 1919- 1986 කාලය ඇතුලෙ මෙක්සිකෝවේ පැවති ජන දරිද්‍රතාවය , සිවිල් යුද්ධ , ආගමික මිත්‍යාව සහ සමාජ විප්ලව පිළිබද කටුක අත්දැකීම් දැවෙන තැන්න පොතේ එන කතා වලට පාදක වෙනවා. ඉතිං මේ සමාජ පරිසරය අද අපේ රටේ තියෙන සමාජ පරිසරයට ගොඩක් සමීපයි.
ඒ නිසා ඔහුගේ කතා පරිවර්තනය කිරීමේදී ලාංකීය සමාජ පරිසරය හා ගැළපෙන විදියට එය නිර්මාණය කිරීම මට එතරම් අපහසු කාර්යයක් වුණේ නෑ . එනිසා රුල්ෆෝගේ කෙටි කතා පරිශීලනය තුළින් අප රටේ නිර්මාණ කරුවන්ටත් ඒවායින් ඉගෙන ගන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනව.
ප්‍ර. උම්බර්තෝ එකෝ පරිවර්තන කාර්ය සංස්කෘතියන් දෙකක් අතර අන්තර් ක්‍රියාවක් විදියට දකිනවා. ඔබ කැල්විනෝව සිංහලට පරිවර්තනය කරපු පරිවර්තකයෙක් නිසා මං කැමතියි මේ ගැන ඔබේ අදහස දැනගන්න
පි. “පරිවර්තනය යනු භාෂා දෙකක් අතර සැසදීමක් හා සම්බන්ධ ක්‍රියාවලියක් නොව, පාඨ දෙකක් වෙනස් සංස්කෘතීන් දෙකක් අතර අර්ථ විවරණය කිරීම හා සම්බන්ධ ක්‍රියාවලියකි. “
මේක ඉතාලියානු ලේඛක මහාචාර්ය උම්බර්තෝ එකෝ ගෙ කියමනක්. මං මේක මගේ ‘දුෂ්කර පෙම් බැදුම්’ කියන පරිවර්තන කෙටි කතා සංග්‍රහයේ පසු පිටේ සදහන් කළා. මොකද ඒ පොතේ එන මුල් කතා නිර්මාණය කළ ඉතාලියානෝ කැල්විනෝගේ කෙටි කතා පරිවර්තනයේදී මං මුහුණ දුන්න දුෂ්කරතා හා අත්දැකීම් පදනම් කරගෙන තමයි මං ඒ උපුටනය දැම්මෙ.
උම්බර්තේ එකෝ ගේ මේ කියමනෙන් කිසිසේත්ම පරිවර්තනය දේශීය කරණය කිරීම කියන පටු සන්කල්පය ගම්‍ය වෙන්නෙ නැහැ. මේකෙන් ගම්‍ය වෙන අරුත ඉන් ඔබ්බට ගිය ඉතාම ප්‍රබල දෙයක්.
ඉතිං මේ කෙටි කතා පරිවර්තනයේදී මෙකී ප්රකාශනයෙන් ගම්‍යමාන සැබෑ අරුතෙන් ප්රක්ෂේපනය වුණු දෑ මට ඉමහත් රුකුලක් හා පිටිවහළක් වුණා.

ප්‍ර. යුදෙව් කුරුල්ලා කියන ඔබේ කෙටිකතා පරිවර්තනයක් වෙන පොතේ සිංහලට පරිවර්තනය නොවුණු ලේඛකයන් කීප දෙනෙක්ම ඔබ සිංහලට පරිවර්තනය කරනවා. එම ලේඛකයන් හදුන්වා දෙන්න විශේෂයි කියලා ඔබ හිතුවෙ ඇයි?
පි. පරිවර්තන කාර්ය කියන ක්‍රියාවලියේදී අපේ පරිවර්තන සාහිත්‍ය කරුවන් අන්ත දෙකක ඉන්නවා කියලයි මට හිතෙන්නෙ.
එක් කණඩායමක් තවමත් සාම්ප්‍රදායික යල් පැන ගිය සාහිත්‍ය කෘතීන්ම තම පරිවර්තනයන් සදහා තෝර ගන්නවා. තවත් කණ්ඩායමක් වඩාත් ප්‍රසිද්ධ මාකේස් , කොයියෝ වැනි ලේඛකයන්ගේ කෘතිම තෝර ගන්නවා.
ඒත්, පැරණි සාහිත්‍යයේ මෙන්ම නූතන සාහිත්‍ය තුළද වඩාත් ප්‍රකට නොවූ ලේඛකයින් පිළිබදව අධ්‍යනය කරලා ඔවුන්ගේ නිර්මාණ අපේ සාහිත්‍යයට හදුන්වාදීම සදහා ඒ අය දක්වන උනන්දුව බොහොම අඩුයි කියලයි මට හිතෙන්නෙ. එම අඩුව පිරවීම සදහා මෙතෙක් සිංහලට පරිවර්තනය නොවූ , ලියොනාරා කැරින්ටන්, බර්නාඩ් මැලමුඩ්, ඉල්ස අයිචින්ගර්, වැනි ලේඛක ලේඛිකාවන්ගේ විශිෂ්ඨ නිර්මාණයන් මගේ යුදෙව් කුරුල්ලා පරිවර්තන කෘතියට ඇතුළත් කළා. මේ අනුව මෙම විශ්ව කීර්තියට පත් ලේඛක ලේඛිකාවන්ගේ නිර්මාණ සිංහලට පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් කාගෙත් මීට වඩා වැඩි අවධානයක් යොමු වෙන්න ඕන කියලයි මං හිතන්නෙ.
ප්‍ර. පශ්චාත් නූතනවාදී අදහස්. එම දාර්ශනික් තත්වය ගැන ඔබේ කියවීම කොයි වගේද?
පි. පශ්චාත් නූතනවාදය කියන්නෙ සාහිත්‍යයට පමණක් සීමා වුණ දර්ශනයක් නෙමෙයි. ඒක ලෝකය පුරාම ආර්ථිකය ,දේශපාලනය , සංස්කෘතිය වැනි විවිධ විෂය පථයන් ඔස්සේ විහිදී යන දර්ශනයක්. සාමාන්‍ය පිළිගැනීම අනුව මේක ගොඩක්ම ව්‍යාප්ත වුණේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සෙ කියල තමයි කියන්නෙ.
ඒක එහෙම වුණත් සාහිත්‍ය හා චිත්‍ර කලාව වැනි සෙසු කලා මාධ්‍යයන් තුළ මේ සන්කල්පයේ භාවිතයන් ඊට පෙර ඉදලම පැවතුණු බවක් පේනවා. ෆ්රාන්ස් රෝ වැනි චිත්‍ර කලාව පිළිබද විචාරකයින් පශ්චාත් නූතනවාදී කලාවක් පිළිබද අදහස් පළ කලේ 1924 දි විතර.
ඒ වගේම හෙන්රි ජේම්ස්, දොස්තයෙව්ස්කි වැනි ලේඛකයින්ගේ කෘතීන් තුළ පවා යම් යම් පශ්චාත් නූතනවාදී (මායා යථාර්ථවාදී ) ලක්ෂණ දකින්න පුළුවන්.
(හෙන්රි ජේම්ස් ගේ The turning of the screw නම් කෙටි නවකතාව දොස්තයෙව්ස්කි ගේ කැරමසෝ සහෝදරයෝ නවකතාවේ එන ජේසුස් වහන්සේ වෙස් වලාගෙන මොලොවට පැමිණෙන පරිච්ඡේදය හා සම්බන්ධ සිද්ධිය.)
කොහොම වුණත් අද දිනයේදී පශ්චාත් නූතන වාදය විවේචනය කරන පශ්චාත්- පශ්චාත් නූතනවාදී (Post-Post Modernism ) විචාරකයින් හා නිර්මාණ කරුවන් සාහිත්‍ය හා සෙසු කලා මාධ්‍ය වලට සම්බන්ධ වී සිටිනවා. වික්ටර් ග්රූවර් , David Foster Walles (ඇමරිකා)වැනි ලේඛකයින් මේකට උදාහරණ විදියට ගන්න පුළුවන්.
ප්‍ර. දේශීය නිර්මාණ ක්‍රියාවලියේ සම්මාන ඇගයුම් ක්‍රමවේදය සහ සාහිත්‍ය කල්ලිවාදයන් ගැන ඔබේම විවේචනයක් පවතින බව ඔබේ ස්වතන්ත්‍ර නිර්මාණ කියවීමෙන් මට දැනුණ දෙයක්. මේ ගැනත් අපි ටිකක් කතා කරමු නේද?
පි. ඇත්තෙන්ම විශ්ව සාහිත්‍යමය සන්දර්භයක් තුළදි අපිට දකින්න පුළුවන් ලොව ප්‍රකට ලේඛකයින් විශ්ව සම්භාවනාවට පාත්‍ර වුණේ නොබෙල් ත්‍යාගය , පුලිට්සර් ත්‍යාගය වැනි ත්‍යාගලාභීන් විදියට කියලා. ඒකෙන් මං අදහස් කරන් නෑ ලෝකේ සම්භාවනාවට පාත්‍ර වුණ හැම ලේඛකයෙක්ම සම්මාන නිසා සම්භාවනාවට පාත්‍ර වුණා කියලා.
මං මේකෙන් අදහස් කළේ සාහිත්‍ය කරුවන් දිරිමත් කිරීමෙහි ලා සම්මාන යම් වැදගත් කාර්ය භාරයක් කරනවා කියන එකයි. ඒත් මේකේ අයහපත් පැත්තකුත් තියෙනවා.
ඇගයීම් මණ්ඩල වලදී නිසි කෘතිය වෙනුවට වැරදි කෘතියක් තෝරාගෙන ඒකට සම්මාන ප්‍රදානයක් කළොත් එතනදි සැබෑ කුසලතාවන් සහිත ලේඛකයාට අගතියක් වෙනවා. ඒ වැරැද්ද නිසා සිදුවන දේ ශ්‍රී ලාංකීය සන්දර්භයක් තුළදී බොහෝ අවස්ථා වලදී පෙනිලා තියෙනවා.
වර්තමානයේදී මේ තත්වය පැහැදිළිවම දකින්න පුළුවන් දෙයක්. අද අපේ රටේ ප්‍රමාණාත්මක වශයෙන් සම්මාන ප්‍රදානෝත්සව වල වර්ධනයක් තිබුණත් ගුණාත්මක වශයෙන් මේවායේ වර්ධනයක් තියෙනවද කියන එක ප්‍රශ්නයක්.
විනිසුරුවන්ගේ අදාළ විෂය පිළිබද දැනුම් ඌනතාවය, නෑදෑ හිත මිතුරන්ට සැළකීම, මාධ්‍ය හා වෙනත් අලෙවි උපක්‍රම ඔස්සේ පොත් ප්‍රකාශකයින් සහ විවිධ බලවේග විසින් දියත් කරනු ලබන ප්‍රචාර ඔස්සේ සමහර ලේඛකයින්ගේ නිර්මාණ ඉහළට එසවෙන නිසා එමගින් සම්මාන මණ්ඩල වල විනිසුරුවන් නොමග යෑම, දේශපාලනීකරණය වීම වැනි සාධක නිසා අද සාහිත්‍ය සම්මාන ලැබෙන්නෙ සැබැවින්ම දක්ෂ ලේඛකයන්ටද කියන එක නම් ඇත්තටම ප්‍රශ්නාර්ථයක්.
ප්‍ර. ඔබ සමග කරන මේ සාකච්ඡාව ඇතුළෙ හර්මන් හෙස ගැන කතා නොකලොත් අනිවාර්යයෙන්ම ඒක ලොකු අඩුවක් වෙනවා. ඇත්තටම ඔබ ඇයි හෙසට ඒ තරමටම කැමති...
පි. හර්මන් හෙස කියන්නෙ පෙරදිග හා අපරදිග දර්ශන පිළිබද පුළුල් අධ්‍යනයක් කළ ලේඛකයෙක්.
ඔහු ඉන්දියාව ලංකාව වැනි පෙරදිග රටවල මෙන්ම අපරදිග රටවල ද සංචාරය කරමින් විශ්ව දැනුම උකහා ගත් කෙනෙක්. ඔහුගේ කෘතීන් වලිනුත් මේ දාර්ශනික වපසරිය මනාව පිළිබිඹු වෙනවා.
ඔහුගේ සිද්ධාර්ථ නම් නවකතාව රචනයේදී ඔහු නීට්ෂේගේ උත්තර මිනිසා නම් සන්කල්පයෙන්ද බුදු දහමේ එන කාලාම සූත්‍රයේ එන ඉගැන්වීම් වලින්ද ලොකු ආභාසයක් ලබා ගෙන තියෙන බවක් පේනවා.
එමෙන්ම ඔහුගේ කතා අකෘතීන් තුළ විවිධ නව ආකෘතිමය අත්හදා බැලීම් දකින්න පුළුවන් වෙනවා.
ඔහුගේ Steppenwolf, The Glass, Bead Game, වැනි නවකතාවල මේක පැහදිළිවම දකින්න පුළුවන්. ඒ වගේම ඔහුගේ බස් වහර හරිම සුන්දරයි.
හර්මන් හෙස යනු රෝමෑන්ටික්වාදය හා සාන්දෘශ්ටිකවාදය අතර වූ පරතරය යා කළ ලේඛකයෙක්. මේ වගේ කාරණා නිසා තමයි මං හෙසට ගොඩක් කැමති.
ප්‍ර. AI සහ අනෙකුත් නව මාධ්‍ය ඇතුළෙ ඇත්තටම තවදුරටත් අපිට සාහිත්‍ය අවශ්‍යය වෙන්නෙ ඇයි?
පි. AI තාක්ෂණයෙන් ඇත්තටම විශ්ව කර්ම වැඩ කරන්න පුළුවන් කියලා කියනවා. ඒ වුණාට සාහිත්‍ය කියන කාරණාවෙදි ඒකට ඔය හිතන තරම්ම වැඩ කරන්න බැහැ. මොන දේ කළත් සාහිත්‍ය කියන විෂයේදී AI එකේ මං දකින දුර්වලතා කීපයක් තියෙනවා.
එකක් තමයි AI ලේඛකයන් අනුමාන කරන්නෙ පෙළෙහි ඇති වචන ගැන විතරයි. ඔවුන්ට සතුට වේදනාව , අහිමි වීම වගේ දේවල් දැනෙන්නෙ නෑ.
ඒත් මානව කතා විශේෂ වෙන්නෙ ඒවා සැබෑ නිසයි. යන්ත්‍ර හෝ කෘතිම බුද්ධිය කියන දේට මූලිකව යම් කාරයයක් ඉටු කරන්න පුළුවන්. නමුත් සාහිත්‍ය හා කලාව අයිති මනුෂ්යයයාටයි.

ඉතිං AI නෙමෙයි මොන තාක්ෂණය ආවත් සැබෑ සාහිත්‍ය කලාව කිසිම දවසක මැරෙන්නෙ නෑ.
ප්‍ර. අවසානයට, ඔබේ ආදරණීය පාඨකයන්ට මොකක්ද ඔබට කියන්න තියෙන්නෙ
පි. අද ලංකාවේ පුස්තකාල පද්ධතිය පොදු සැලැස්මක් හා වැඩපිළිවලක් ඇතුළට ගෙනත් සංවර්ධනය කරන්න ඕන කියලා මං හිතනවා.
ඒ වගේම ශාස්ත්‍ර පීඨ වල විශ්ව විද්‍යාල ඇදුරන් මීට වඩා ස්වාධීනව හා පුද්ගලවාදී නැඹුරුවකින් තොරව සාහිත්‍ය හා සෙසු කලාවන් වෙනුවෙන් මීට වඩා සක්‍රීයව මැදිහත් වෙන්න ඕන කියලා මං විස්වාස කරනවා.
ඒ වගේම මීට වඩා ප්රබුද්ධ හා නිර්මාණශීලී විචාර කලාවක් ස්ථාපිත විය යුතුයි.
ඒ වගේම පොත් ප්‍රකාශකයන් සම්බන්ධයෙන් යමක් කියනවා නම් බාල කෘතීන් වෙනුවට සාහිත්‍යමය වටිනාකමින් වැඩි කෘතීන් ප්රකාශනය සදහා යොමු වුණොත් හොදයි කියලා මං හිතනවා. මගේ සදාදරණීය පාඨකයන්ට මට කියන්න තියෙන්නෙ මේ කරුණු ගැන සංවාදශීලී වෙන්න කියලයි.
සාකච්ඡාව හා සටහනබාසුරු ජයවර්ධන


