රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ LNW:
කොළඹ වරාය පරිශ්‍රයේ පිහිටි JCT තෙල් ටැකියකින් සිදුවූ තෙල් කාන්දුවක් හේතුවෙන් නාගරික ජලාපවහන ඇළ මාර්ගය සහ මුතුවැල්ල වෙරළ තීරය දූෂණයට ලක්වීම සම්බන්ධයෙන්.
කොළඹ වරාය පරිශ්‍රයේ පිහිටි JCT අංක 108 දරන තෙල් ටැංකියෙන් සිදුවූ තෙල් කාන්දුවක් හේතුවෙන් නාගරික ජලාපවහන පද්ධතියට තෙල් එක්වී, එම තෙල් මුතුවැල්ල වෙරළ තීරය ඔස්සේ මුහුදට එක්වීමෙන් වෙරළබඩ පරිසරය දූෂණයට ලක්විය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) මැදිහත්වී අවශ්‍ය ප්‍රතිචාර හා පිරිසිදු කිරීමේ මෙහෙයුම් සම්බන්ධීකරණය කරමින් සිටී.

JCT අංක 108 දරන තෙල් ටැංකියේ ගබඩා ධාරිතාව ටොන් 1000ක් පමණ වන අතර, සිද්ධිය සිදුවන අවස්ථාවේදී එය සම්පූර්ණ ධාරිතාවයෙන් පුරවා තිබූ බව වාර්තා වී ඇත.
එම ටැංකියේ ගබඩා කර තිබූ සමුද්‍රීය ගෑස් තෙල් (Marine Gas Oil – MGO) කාන්දුවීම සිදුවී ඇත්තේ හානි වූ හෝ සිදුරක් ඇති වූ ජල බැහැර කිරීමේ කපාටයක් (Drain Valve) හරහා බව වාර්තා වේ.

2026 නොවැම්බර් 21 වන දින පෙරවරුවේ මෙම කාන්දුව ආරම්භ වී ඇති බවට වාර්තා වී ඇත.
මෙම සිද්ධිය පිළිබඳව එදින පෙ.ව. 9.30ට පමණ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය දැනුවත් කරන ලදී.
ඒ අනුව, අධිකාරියේ නිලධාරීන් කඩිනමින් අදාළ ස්ථානයට පැමිණ තත්ත්වය නිරීක්ෂණය කරමින්, අදාළ ආයතන සමඟ සම්බන්ධීකරණය කර අවශ්‍ය ප්‍රතිචාර ක්‍රියාමාර්ග සඳහා තාක්ෂණික මඟපෙන්වීම් ලබා දීමට කටයුතු කරන ලදී.

2026 නොවැම්බර් 21 වන දින පෙ.ව. 10.30 පමණ වන විට ශ්‍රී ලංකා වරාය අධිකාරිය (SLPA) විසින් තෙල් කාන්දුව නතර කිරීමට කටයුතු කරන ලදී.
කෙසේ වෙතත්, ඒ වන විට කාන්දු වූ තෙල්වලින් යම් ප්‍රමාණයක් නාගරික ජලාපවහන ඇළ මාර්ගයට එක්වී, එම මාර්ගය ඔස්සේ මුතුවැල්ල වෙරළ තීරයෙන් මුහුදට එක්වී තිබුණි.
එහි ප්‍රතිඵලයක් ලෙස බ ගේට්ටු නැංගුරම්ලා තැබීමේ ස්ථානය ද ඇතුළුව කිලෝමීටර් තුනකට අධික වෙරළ තීරයක් තෙල් දූෂණයට ලක්විය.

මෙම සිද්ධියෙන් අනතුරුව, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ තාක්ෂණික මඟපෙන්වීම සහ සම්බන්ධීකරණය යටතේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් තෙල් පැතිරීම පාලනය කිරීමේ සහ පිරිසිදු කිරීමේ මෙහෙයුම් ආරම්භ කරන ලදී. තවදුරටත් තෙල් පැතිරීම වැළැක්වීම සඳහා තෙල් පාලන බාධක (Oil Containment Booms) යොදවා ඇති අතර, කාන්දු වූ තෙල් එක්රැස් කිරීම හා ඉවත් කිරීමේ කටයුතු ද ආරම්භ කර ඇත.
2026 නොවැම්බර් 22 වන දින වන විටත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සක්‍රීය දායකත්වය ඇතිව තෙල් පාලනය කිරීම, එක්රැස් කිරීම සහ පිරිසිදු කිරීමේ මෙහෙයුම් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ මඟපෙන්වීම යටතේ අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
කාන්දු වූ තෙල් පාලනය කිරීම හා ඉවත් කිරීම, පරිසරයට සිදුවිය හැකි හානිය අවම කිරීම සහ බලපෑමට ලක්වූ වෙරළබඩ පරිසරය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය සුදුසු ක්‍රියාමාර්ග ගනු ලබන බව සහතික කිරීම පිණිස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් අදාළ ආයතන සමඟ සම්බන්ධීකරණ කටයුතු සිදු කරයි.


