කුමාර යුගය කෙටි කතා පොතේ අනුර කුමාර ඉන්න තැන…

හැම දෙයක්ම මිනිමලිස්ට් වෙලා තියෙන තරම කොයි තරම්ද කියලා කියනවා නම් මිනිමලිස්ට් ගතිය නැති දෙයක් දැන් හොයා ගන්නවත් බැරි තරම්.

ඇත්තටම මොකක්ද මේ මිනිමලිසම් කියලා කියන්නෙ?

සිංහලෙන් අපිට මේකේ අන්තර්ගතය අනුව අවමවාදී කියන වචනය යොදා ගන්න පුළුවන්. නමුත් මේ ලිපිය ඇතුළෙදි මං මිනිමලිසම් කියලම ලියන්නම්.

ඇත්තටම මොකක්ද මේ මිනිමලිසම් කියලා කියන දේ තේරුම. ?

මිනිමලිසම් කියන දේ ඒක යොදා ගන්න විෂය අනුව පුළුල් අර්කථන වපසරියක් අනාවරණය කරන්න පුළුවන් නිසා අපි මේ ලිපිය ඇතුළෙ කතා කරන්න හදන විෂයට සාපේක්ෂව මිනිමලිසම් කියන දේ කියවගන්න උත්සාහ කරමු.

ඇත්තටම අපේ මේ ලිපියෙ අභිලාෂය සාහිත්‍ය කෘතියක් ගැන කතා කිරීම නිසා එම විෂය පථයට සාපේක්ෂව මිනිමලිසම් කියන දේ අපිට මේ විදියට කියවගන්න පුළුවන්.

ඒ කියන්නෙ නිර්මාණයක අනවශ්‍ය විස්තර ඉවත් කරලා සංඛ්‍යාත්මකවම අවම වචන ප්‍රමාණයක් භාවිත කරලා උපරිම හැගීමක් ජනනය කරන්න පුළුවන් කලාත්මක ප්‍රවේශයකට තමයි මිනිමලිසම් කියලා කියන්නෙ.

දැන් මේ ප්‍රවේෂය ගැන වැඩිදුර කාරණා ගැන කතා බහට පෙරාතුව මේ ලිපියට මුල් වුණ කෘතිය ගැන ඔබව මුලින්ම දැනුවත් කරලා ඉන්න එක හොදයි කියලා අපි හිතනවා.

ඉසුරු චාමර සෝමවීරගෙ තුන් වෙනි කෙටි කතා එකතුව වුණු 'කුමාර යුගය' කියන කෙටි කතා පොත ගැන විචාරාත්මක කියවීමක නිරත වෙන එක තමයි ඇත්තටම අපේ මේ ලිපියේ ප්‍රධානම අරමුණ.

මේ කෙටි කතා පොත ගැන අපිට ප්‍රධාන තේමා කීපයක් ඔස්සේම කතා කරන්න පුළුවන්. ප්‍රධාන කරුණු වශයෙන් ඒවා මේ විදියට පෙළගස්සවන්න අපි කැමතියි.

  1. මිනිමලිස්ට්වාදී ලිවීම
  2. පශ්චාත් නූතනවාදී කෙටිකතාමය ප්‍රවණතාව
  3. එකම කතා තේමාවක් ඩෙරීඩියානු විසංයෝජනයකට, එහෙමත් නැතිනම් ප්‍රතිපක්ෂ යුගල සහිත කතා යුගල්වලට ගොඩ නගා තිබීම.

අපි මේ සංගෘහිත කර ගත්ත කාරණා කීපය ඔස්සේ තරමක් දුර විශ්ලේෂණයකට යන්න උත්සාහ කරලා බලමු.

  1. මිනිමලිස්ට්වාදී ලිවීම

ඇත්තටම ඉසුරු මේ හැම කතාවකදිම පාවිච්චි කරන්නෙ හරිම අඩුම වචන සංඛ්‍යාවක්. ඒ වගේම බොහොමයක් තැන් වලදි ඔහු චරිතවල හැගීම් විදාරණය කරලා පෙන්වනවා වෙනුවට කෙටි අවස්ථානුකූලව සිදුවීම් පමණක් රූපක භාවිත කරලා පාඨකයා ඉදිරියෙන් තියලා තියෙනවා.

පළවෙනි කතාවේ සහ දෙවනි කතාවේ එන සර්පයා සම්බන්ධ රූපිකය, එම කතා යුගලයේම එන චරිතවල අභ්‍යන්තරයට ලේඛකයා කිදා බහිනවා වෙනුවට පාඨකයාට කිදා බැහැලා බලන්න ආරාධනා කරන කාන්දම් වගෙයි කියන එක තමා අපේ කියවීම.

මේක අර චරිතවල ගැඹුරු මනෝ භාවයන් විවරණය කරනවට වඩා මිනිමලිස්ට් විදියට කතාව ගොඩ නගන්න ගත්ත අපූරු වෑයමක්. ඇත්තටම මේක දැන් ලෝකය පුරාම පැතිරිලා ගිය හරිම අපූරු ලේඛන උපක්‍රමයක්.

දැන් මේකට ජාත්‍යන්තර වශයෙන් දෙන්න පුළුවන් හොදම උදාහරණ තමයි 2025 වසරෙදි බුකර් සම්මානයෙන් පිදුම් ලබපු David Zsaley ගෙ Flesh කියන නවකතාව. ඒ වගේම නොබෙල් සම්මානලාභී Jon Fosse ගෙ නිර්මාණ වලත් මේ මිනිමලිසම් කියන දේ ඉතා බහුල වශයෙන් යොදාගෙන තියෙනවා. ඒ විතරක් නෙමෙයි Frieda Mcfadden ගෙ ලේඛනය ඇතුළෙත් මේ මිනිමලිසම් ගතිය සෑහෙන්න ඉස්මතු වෙලා තියෙන දෙයක්.

අපේ කියවීම ඇතුළෙ ඉසුරුගෙ කෘතිය අපිට ඒකත් එක්ක Engaged වෙලා ඉන්න තියෙන වෙලාව Text එකෙන් අඩු කරලා තිබුණත්, Content එකෙන් නම්, ඒ කියන්නෙ අන්තර්ගතයෙන් නම් කිසිම අඩුවක් කරලා නැහැ.

වර්තමානයේ අපි කව්රුත් Screen එකට ඇබ්බැහි වෙලා තියෙන නිසා මේ මිනිමලිස්ට් ගතිය තියෙන දේවල් අවංකවම සෑහෙන්න ජනප්‍රිය වෙන්න ගන්නවා. ඉසුරුට මේ ගැන තියෙන අවබෝධය නිසාත් විශ්ව සාහිත්‍ය ගැන ඉසුරුට තියෙන දැක්ම නිසාත් මේ කෘතිය මිනිමලිසම් විදියට පාඨකයාට අරන් ගියොත් කෙටිකතා කලාවෙන් ඈත් වෙන පාඨකයාව යළි ඒ වෙතට රැගෙන එන්න පුළුවන් කියන චේතනාවෙන්ම ඉසුරු මේ භාවිතාවට නැඹුරු වුණාද???

කොහොම වුණත් ඒක ඉතාම හොද කාලෝචිත නැඹුරුවක් විදියට අපිට හදුන්වන්න පුළුවන්.

දැන් අපි දෙවෙනි කාරණාව ඔස්සේත් ගිහින් බලමු.

2.පශ්චාත් නූතනවාදී කෙටිකතාමය ප්‍රවණතාවය

පශ්චාත් නූතන කතා කලාව ඇතුළෙ ඇත්තටම ලේඛකයා පාඨකයාට පට්ටම ලණුවක් දෙනවා.

ඒ තමයි…ලේඛකයා පාඨකයට කියනවා.

‘මං මේ ඔයාට කියන්නෙ කතාවක්.’

සමහර වෙලාවට මේ ලණුව තවත් සුපිරියටම ගිල්වනවා මෙන්න මෙහෙමත් කියලා.

‘මේ කතාවෙ ඉන්නෙ සහ මේ කතාව වුණේ මට(ලේඛකයට) මගේ (ලේඛකයගෙ) රුචි අරුචිකම් මාව දන්න ඔයාලා දන්නවනෙ.’

මෙන්න මේ වගේ ලණු දෙන එකට කියන ඇකඩමික් වචනෙ තමයි Metafiction කියන එක. අපි දකින විදියට හරිම පාඨකයා කරන්න ඕන මේ ලණුව කන් නැතුව ඉන්න එකම නෙමෙයි. මේ ලණුව කාලා රෝලන්ඩ් බාත් ගෙ Death of the Author කියන සංකල්පයත් මතක් කරගන්න එකයි.

දැන් මේ පොතට නම දාපු කුමාර යුගය කියන කතාව උදාහරණයක් කරගෙන අපි මේ කතාව තව ටිකක් Reframe කරගන්න බලමු.

බැලූ බැල්මටම මේ කතාව සම සරාගී ගතියක් ගන්නවා වගේ පෙනුනට, මේ කතාව සමාජ ක්‍රියාධරයෙක් විදියට ඉසුරු ලිංගිකත්වය ගැන දක්වන අදහස් ඔස්සේ කියවගන්න ගියොත්…, ඒ කියන්නෙ මං අර උඩ කියලා තියෙන විදියට මේ කතාව කියන්නෙ ඉසුරු මේක වුණේ ඉසුරුට කියලා හිතුවොත් පාඨකයා ඉසුරු දෙන ලණුව කෑවා වෙනවා.

ඒ නිසා ඉසුරු දෙන ලණුව නොකා අපි මේ දිහා බලමු.

ඒ වගේම රෝල්න්ඩ් බාත් කියපු Limited Plurality එහෙමත් නැතිනම් සීමිත බහුත්ව රූපණය ගැනත් අපි ඔබව කෙටියෙන් දැනුවත් කරලා ඉන්නම්.

බාත් සීමිත බහුත්ව රූපණය කියන දෙයින් කියන්නෙ කිසියම් හෝ නිර්මාණයක් කියවන්න ඒ නිර්මාණය ඇතුළෙන්ම මිනුම් දඩු හොයාගන්න ඕන කියන එකයි.

දැන් කුමාර යුගය කතාවෙ අනුර කුමාර දිසානායක ගැන සෘජුවම සදහන් කරලා තියෙනවා. මේ සදහන තමයි මේ කතාවේ කොදුනාරටිය. දීප්ති සහ සර්පයා ගැන සදහන් කරලා තිබුණත් දීප්ති සහ සර්පයා කියන්නෙ මේ කතාවේ ප්‍රභලත්වය මිනිමලිස්ට් විදියට පාඨකයාට දන්වන්න ඉසුරු ගත්ත උත්සාහයක් විදියටයි අපි දකින්නෙ. මොකද ඒ නම් දෙකෙන්ම Subjectivity සහ Spirituality කියන දෙකම කතාවෙ Text එක ඇතුළට ගේන්න ඉසුරු උත්සාහ කරලා තියෙනව.

කොටින්ම කියනවා නම් කුමාර යුගය කියන්නෙ Grand Narrators හොයන් ගිය කාලයෙත්, ස්වර්ණමය යුගයක සාහිත්‍යයමය රූපිකයක්. මේ රූපිකය ඇතුළෙ පරම්පරා තුනක කොක්ටේල් එක සහ ඒ පරම්පරා තුනේ අනන්‍යතා අර්බුදයත් නිරූපණය කරන්න ඉසුරු උත්සාහ කරලා තියෙනවා.

එතකොට මේ කතාවෙ එන මතුගම සමන් කුමාරගෙ සිදුවීම මේ කතාවට එල්ලපු තොරොම්බල් ආභරණයක් විතරද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්.

නැහැ.

ඇත්තටම ඒක එහෙම නෙමෙයි. මතුගම සමන් කුමාර සිද්දිය ඉසුරු එයාගෙ Text එක ඇතුළෙ යොදාගෙන තියෙන්නෙ එයාගෙ කතාවට සාපේක්ෂව යුගයක Grand Narrators වල අභාවය? පෙන්වන්න කියලයි අපිට හිතෙන්නෙ. මොකද ලියෝතාද් පශ්චාත් නූතනවාදයේ ආරම්භක ලක්ෂණය විදියට දකින්නෙ සංහාරයක්. ඒකට ලියෝතාද් පෙන්වන උදාහරණය තමයි හිට්ලර්ගෙ යුදෙව් සංහාරය.

සමන් කුමාර ඝාතනය සංහාරයක් නෙමෙයි තමයි. හබැයි මේ කතාව ඇතුළෙ ඒ ඝාතනය තමයි කුමාර යුගයේ දෙදරීම එහෙමත් නැතිනම් ඉරි තැලීම පෙන්වන දාර්ශනික රූපිකය.

ඒ විතරක් නෙමෙයි දැන් බිදුණු අතක් එක්ක ගෙදර එන තාත්තා බිදුණු වම් අතේ දේශපාලනය ද? පෙන්වන්නෙ කියන කාරණය එහෙම හරිම සංවාදශීලීයි කියලයි අපිට හිතෙන්නෙ.

අන්තිමට කොහොමහරි තරංග කුමාරව හොයා ගන්න කථකයට බැරි වෙනවා. Internet , Facebook වගේ මොන දේකින්වත් එයාට තරංග කුමාරව හොයා ගන්න ලැබෙන් නැහැ.

ඇත්තටම ඇයි එහෙම වෙන්නෙ?

අපිට හිතෙන විදියට එහෙම වෙන්නෙ මෙන්න මේ නිසයි. අපි කලින් සදහන් කලා මේ කතාව පරම්පරා තුනක කොක්ටේල් එකක් කියලා. ඒ තුනෙන් මැද පරම්පරාවට තමයි Narrator අයිති වෙන්නෙ. දැන් Narrator ජීවත් වෙන්නෙ Gen Z පරම්පරාව එක්ක. හැබැයි අර හැට ගණන්වල වාමාංශික ආත්මය (මානුෂීය බව )මැද පරම්පරාවෙ Narrator , Gen Z එකේ ඉදන් Search කරනවා.

හැබැයි එයාට ඒක හම්බ වෙන්නෙ නෑ.

නමුත් එයා දන්නවා ඒක තියෙනවා කියලා. මොකද එයා ජීවත් වෙන්නෙත් නැති වෙලා ගියා කියලා හිතෙන කුමාර යුගය නියෝජනය කළ පාලකයෙක් රටේ ජනාධිපති වෙලා ඉන්න යුග මොහොතකයි. ඉතිං මේ අනන්‍යතා අර්බුදය ඇතුළෙ එයාට කොහොම නම් තරංග කුමාරව මුණ ගැහෙන්නද….??? එහෙම මුණ ගැහෙන්න විදියක් නැහැනෙ නේද?

මේ කතාව පාඨකයා ඉදිරියේ ඉසුරු විකාශනය කරන අන්දම අනුව සම සරාගිකත්වය සම්බන්ධයෙන් ඉසුරු සමාජය තුළ නිරත වෙලා ඉන්න කතා බහ එක්ක කෙනෙක් මේ කතාව කියවගන්න හැදුවොත් ඇත්තටම ඒ පාඨකයා අතරමං වෙන්න පුළුවන්.

Rabbit Hole එකක වැටෙන්න පුළුවන්.

ඒ නිසා මේ කතාව ඔබ දැනටමත් කියවලා නැති නම් මං ඔබට යෝජනා කරන්නෙ මේ කතාව ලියනකොට ඉසුරු ගෙ පශ්චාත් නූතනවාදී ලේඛන විලාසයට රැවටිලා මේක කියවගන්න එපා කියලයි.

දැන් අපි අංකනය කරගත්ත පිළිවෙළට තුන්වෙනි කොටසටත් ගිහින් බලමු.

  1. එකම කතා තේමාවක් ඩෙරීඩියානු විසංයෝජනයකට, එහෙමත් නැතිනම් ප්‍රතිපක්ෂ යුගල සහිත කතා යුගල්වලට ගොඩ නගා තිබීම

මෙතන අපි කියන එකම කතා තේමාව කියන අදහස, එහෙමත් නැතිනම් සිතුවිල්ල එහෙම නෙමෙයි කියලා කෙනෙක්ට තර්ක කරන්න හිතෙන්න පුළුවන්.

ඒ කියන්නෙ ඒ ඒ කතාව එක කතා තේමාවකට නෙමෙයි තේමාවන් දෙකකට ස්වාධීනව යනවා කියලා කෙනෙක් කියන්න පුළුවන්.

ඔව් ඔබේ ඒ අදහසට අපි බොහොම ලිබරල් විදියට ගරු කරනවා. හැබැයි අපේ කියවීම ඇතුළෙ අපි අස්තිත්වය කරන්න හදන දේ, ඒ කියන්නෙ විද්‍යාමාන කරලා පෙන්වන්න හදන දේ ගැනත් පොඩ්ඩක් අවධානය යොමු කරලා බලන්න.

අනිත් එක මේකෙන් අපි අදහස් කරන් නෑ ඉසුරු එකම කතාව විවිධ කෝණ වලින් ලිව්වා කියනවා වගේ පටු අදහසක් නම්.

හරි…

දැන් ඒ අතුරු කතා ඇඩ් එක ඉවරයි.

අපි කෙලින්ම කාරණාවට එමුකො.

ඩෙරීඩාගේ විසංයෝජනය බොහොම සරලව මෙන්න මෙහෙම කියන්න පුළුවන් කියලා අපි විස්වාස කරනවා.

“කිසියම් හෝ ටෙක්ස්ට් එකක් තමන්ගේම අර්ථය අස්ථාවර කරගන්නා ආකාරයකින් යුක්තයි.”

ඩෙරීඩා Binary Couples වලට දේවල් කඩලා පෙන්වන්නෙ ඒකයි. උදාහරණ විදියට මේ වගේ එකක් දෙකක් කියන්නම්කො.

ධණ රිණ, හොද නරක

දැන් ඉසුරුගෙ පොතේ එන නයි, සහ කැලේ කියන කතා දෙකම ලිංගිකත්වය සාරය කරගත්ත කතා දෙකක් විදියටයි අපි දකින්නෙ. හැබැයි නයි කතාව විකාශනය වෙන්නෙ Spiritual සන්දර්භයක. ඒ වෙනුවට කැලේ කතාව විකාශනය? වෙන්නෙ Subjectivity පසුබිමක.

දැන් High Heels කතාව සහ හිරොෂිමා කියන කතා දෙකේ සාරය Identity කියලා ගත්තොත් ඒ කතා දෙක විකාශනය? වෙන්නෙ ආරෝපිත සහ උත්තරාරෝපිත සන්දර්භයන් තුළයි.

මෙන්න මේ නිසයි අපිට මේක එකම කතා තේමාවන් ඩෙරීඩියනු විසංයෝජනයකට ලක් කිරීමක් විදියට දැනුනෙ.

දැන් මේකේ පළවෙනි කතාව වෙන නයි කතාව කියෙව්වම අපිට මතකයට ආවේ දැන් පොඩ්කාස්ට් කරන් යන දෙන්නෙක්ගෙ මෙන්න මේ වගේ අර්ථයක් අරන් එන අදහසක්.

“Sex තමා නිවන කියන්නෙ…Sex තමා පරමානන්දය කියන්නෙ…”

Sex තමා පරමානන්දය කියන කතාව ඉසුරුගෙ නයි කතාවෙන් ප්‍රශ්න කරනවා කියලයි අපිට හිතුණෙ.

මොකද මෙන්න මෙහෙම වචනයක් තියෙනවා.

Sapiosexual (සේපියෝසෙක්ෂුවල්)

ඒ කියන්නේ පුද්ගලයකුගේ බාහිර පෙනුමට වඩා එහෙම අය කැමති වෙන්නෙ බුද්ධිය, දැනුම, චින්තන හැකියාව සහ බුද්ධිමය සංවාද කෙරෙහියි.

මේ නයි කතාවේ එන හාමුදුරුවෝ නයි දෙන්නෙක්(සර්පයො කියලා ලියන්න තිබ්බා නම් නියමයි). සංසර්ගයේ යෙදෙනවා දැකලා උන් දෙන්නට ඉදලෙන් පහර දීලා පොත් ගුලට ගිහින් පොත් රාක්කෙට හේත්තු වෙනවා.

ඒ විතරක් නෙමෙයි ඒ හාමුදුරුවෝ තමන්ගෙ උපාදාන කරගත්ත ලිංගිකාශාවක් ආගමික සාහිත්‍ය හරහා යම් ආකාරයකට කියවගන්න උත්සාහ කරනවා.

මේ සිදුවීම් දාමය දැක්කම මට මතක් වුණේ අර Sapiosexual කියන වචනයයි. රමණය තමයි පරමානන්දය කියලා කියන අය ඇත්තටම ඒ වචනය ගැන දැනුවත් නැතිනම් අඩු ගානේ ඉසුරුගෙ මේ කෙටි කතාව හරි කියවන්න කියලා මං ඒ අයට යෝජනා කරනවා.

එහෙනම් දැන් අවසාන සමාලෝචනයකට එමු.

මේ කතා අහුරෙ අවංකවම ඇස්වලට කදුළු එන තැන් අපිට මුණ ගැහුණා. ‘මහතුන්’ කියන්නෙ ඒ වගේ කතාවක්. හැබැයි රීටා ෆෙල්ස්කි වගේ කෙනෙක්ගෙ කෝණයෙන් බැලුවොත් මහතුන් කියන කතාව ඇතුළෙ සමාජය ඇතුළෙ බල අරගලය කොයි වගේ මුහුණුවරකින් යුක්තද කියන කාරණාව ගැන යළි සළකා බැලීමක් කරන්න පුළුවන්.

ඒ වගේම මන්දා කියන කතාව දැන් පවතින යුග මොහොත ඇතුළෙ ලියවුණ ‘අලුත් සුද්දිලාගේ’ කතාව විදියටයි අපි දැක්කෙ. මොකද මේ යුගය තුළ ඇවිත් තියෙන අනන්‍යතාවය පිළිබඳ අර්බුදය කොයි තරම් විශාලද කියලා කියනවා නම් ඒක ලිංගිකත්වය ඇතුළටත් කාන්දු වෙලා ඉවරයි. ඒ නිසා සමාජය තුළ බල අරගලය වගේම පුද්ගල ලිංගික දිශානතියේ ගමන් මග පිළිබඳවත් ඇති වෙලා තියෙන අර්බුදය කොයි වගේද කියලා ඇහුවොත් උත්තරය ‘මන්දා’ තමයි.

කොහොම නමුත් කෙටි කතාව සම්බන්ධයෙන් අර චෙකොෆ්ගෙ ප්‍රසිද්ධ කියමන ආපහු අපිට මතක් කරලා දෙන ගමන්, ඒ කියන්නෙ කෙටි කතාව කියන්නෙ ජීවිතෙන් පෙත්තක් කියන චෙකොෆ්ගෙ ඒ කියමන මිනිමලිස්ට් විදියට Reframe කරපු පොතක් විදියට ඉසුරුගෙ කුමාර යුගය කෙටි කතා පොත අපිට හදුන්වන්න පුළුවන්.

ඉතිං ඔබත් කුමාර යුගයෙ අනුර කුමාර ඉන්නෙ කොහෙද කියලා හොයලා බලන්න.

ලිව්වෙ
බාසුරු ජයවර්ධන

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරාය තෙල් කාන්දුව සහ පරිසර දූෂණය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ LNW: කොළඹ වරාය පරිශ්‍රයේ පිහිටි...

අවිෂ් සිල්වා නැවතත් ජයග්‍රාහී වේදිකාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ LNW: අවිෂ් සිල්වා නැවතත් ජයග්‍රාහී...

මාර්ග සංවර්ධන අධිකාරියෙන් මහජනතාවට නිවේදනයක්!

කොළඹ LNW:නව කැළණි පාලම සහ වරාය පිවිසුම් ගුවන් අධිවේගී...

STF ජීප් රථයක් දුම්රියක ගැටීමෙන් නිලධාරීන් 4ක් රෝහලට!

කොළඹ LNW:වැලිගම, මිදිගම ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී පොලිස් විශේෂ...