තවමත් ලොව වැඩිපුරම භාවිත වන්නේ පෙට්ට්‍රල් හා ඩීසල් වලින් ධාවනය වන වාහනය. Hedges & Company මගින් පසුගිය මැයි මස නිකුත් කළ වාර්තාවට අනුව මේ වනවිට ලොව පුරා මාර්ග වල දෛනිකව ධාවනයට එක්ව තිබෙන වාහන සංඛ්‍යාව බිලියන 1.7 කි. මෙම වාහන ධාවනයේදී දහනය වන පොසිල ඉන්ධන මගින් නිකුත් වන වායුන් නිසා පරිසරයට සිදුවන අයහපත් බලපෑම සම්බන්ධ කතාව ආරම්භ වන්නේ මෙයට දශක ගණනාවකට පෙරය.
මේ නිසා වාහන නිෂ්පාදන සමාගම් පොසිල ඉන්ධන වෙනුවට විකල්ප සෙව්වේය. ඉන්ධන හා ආරෝපිත බැටරියක් මගින් ධාවනය කෙරෙන හයිබ්‍රිඩ් වාහන කරළියට පැමිණෙන්නේ මෙහි ප්‍රතිපලයක් ලෙසය. ඉන් පසු විදුලියෙන් පමණක් ධාවනය වන වාහන හඳුන්වා දීමට මෝටර් රථ නිෂ්පාදන සමාගම් පියවර ගත්තේය. දේශගුණික විපර්යාස අවම කිරීම, වායු දූෂණය පාලනය කිරීම සහ ඉන්ධන ආනයනය සඳහා වැයවන විදේශ විනිමය ඉතිරිකර ගැනීමේ අරමුණින් ලෝකයේ බොහෝ රටවල් තම රට තුළ මේ වනවිට විදුලි වාහන ප්‍රවර්ධනය කරමින් සිටින්නේය. ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ (IEA) Global EV Outlook 2026 වාර්තාවට අනුව 2025 වසරේදී ලොව පුරා අළෙවි වී තිබෙන විදුලි මෝටර් රථ සංඛ්‍යාව මිලියන 20 කි. එය 2024 වසරට සාපේක්ෂව 20 % ක පමණ වර්ධනයකි. ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය වැඩිදුරටත් පුරෝකතනය කරන්නේ මෙම වසරේදී විදුලි මෝටර් රථ අළෙවිය මිලියන 23 ක් දක්වා ඉහළ යාහැකි බවය.
විදුලි වාහන භාවිතය ඉහළට
ශ්‍රී ලංකාවේද විදුලි වාහන අළෙවිය ක්‍රමානුකූලව ඉහළ යමින් තිබෙන අතර 2020 දී 340 ක් වූ විදුලි වාහන ලියාපදිංචිය 2024 වනවිට 12519 ක් දක්වා ඉහළ ගියේය. සියලුම වාහන කාණ්ඩ එකතුවෙන් විදුලි වාහන 35268 ක් 2025 නොවැම්බර් 30 වන විට ලියාපදිංචි කර තිබුණු අතර ඉන් 80 % ක් පමණම යතුරු පැදි වීම විශේෂත්වයකි. මෙම අගයන් වාර්තා වන්නේ ආර්ථික අර්බුදය හේතුවෙන් වාහන ආනයනය සීමාකර තිබුණු පසුබිමය.
ජාතික විගණන කාර්යාලය 2026 සැප්තැම්බර් 22 දින නිකුත් කළ විදුලි වාහන භාවිතය, භාවිතයෙන් පසු කළමනාකරණය සහ පාරිසරික බලපෑම් පිළිබඳ විශේෂ කාර්යසාධන විගණන වාර්තාවට අනුව 2026 ජූනි මාසය වනවිට ශ්‍රී ලංකාවේ ලියාපදිංචි විදුලි වාහන සංඛ්‍යාව 100000 ඉක්මවා තිබේ. මෙම වාහන වල බැටරි පරිසර හිතකාමී ලෙස බැහැර කිරීම හා ප්‍රතිචක්‍රීකරණය කිරීම අත්‍යවශ්‍යය කාරණයකි. එහෙත් ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් මෙතෙක් මෙරට තුළ ක්‍රියාත්මක නොවන බව විගණන වාර්තාවේ පැහැදිලිව සඳහන් කර තිබේ.
බැටරිය ප්‍රතිචක්‍රීකරණය කිරීම වැදගත්…
මේ සම්බන්ධව ඵලදායී සංවාදයක් ගොඩනගා ගැනීම සඳහා අප සම්බන්ධ වන්නේ සුනිත්‍ය බල අධිකාරියේ සභාපති මහාචාර්ය විජේන්ද්‍ර බණ්ඩාර, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විද්‍යා පීඨයේ ආචාර්ය කෝකිලා රණසිංහ සහ මධ්‍යම පරිසර අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් කපිල රාජපක්ෂ යන විද්වතුන්ය.

මෙහි ඇති වැදගත්කම සම්බන්ධව නාවල ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ස්වභාවික විද්‍යා පීඨයේ රසායන විද්‍යා දෙපාර්තමේන්තුවේ ආචාර්ය කෝකිලා රණසිංහ දක්වන්නේ මෙවැනි අදහසකි…
විදුලි මෝටර් රථවල භාවිත වන ලිතියම්-අයන බැටරි සාමාන්‍ය කසළ සමඟ හෝ එළිමහනේ බැහැර කිරීමෙන් ප්‍රධාන හානි හතරක් සිදුවිය හැකියි. හානියේ ප්‍රමාණය බැටරියේ රසායනික සංයුතිය, එහි අඩංගු ද්‍රව්‍ය ප්‍රමාණය සහ ඉතිරිව ඇති විද්‍යුත් ශක්තිය අනුව වෙනස් වෙනවා. බැටරියේ ආවරණය කැඩී හෝ කාලයත් සමඟ දිරා යෑමෙන් එහි ඇති ලිතියම් ලවණ, විද්‍යුත් විච්ඡේද්‍ය ද්‍රාවණය සහ ඇතැම් බැටරි වල ඇති නිකල් හා කොබෝල්ට් සංයෝග පසට එක් විය හැකියි. වැසි ජලය සමඟ මේ ද්‍රව්‍ය ඇළදොළ ගංගා වලට ගලා යාමට හෝ පස හරහා භූගත ජලයට කාන්දු වීමට පුළුවන්. බැටරියෙන් මුදා හැරෙන ද්‍රව්‍ය ජලයේ ප්‍රමාණවත් සාන්ද්‍රණයකින් පැවතුණහොත් කුඩා ජලජ ජීවීන්ට විෂ විය හැකියි. ඒ වගේම භාවිතයෙන් ඉවත් කළ බැටරියක පවා විද්‍යුත් ආරෝපණය ඉතිරිව තිබිය හැකියි. කසළ ප්‍රවාහනයේදී එය තැළුණහොත් අභ්‍යන්තර කෙටි පරිපථයක් ඇති වී ගිනි ගැනීමේ හැකියාවක් පවතිනවා… එවිට නිකුත් වන දුම සහ විෂ වායු අපට අහිතකරයි. ඉවත දැමූ බැටරියකින් තඹ (Cu), ලිතියම් (Li) සහ වෙනත් වටිනා ද්‍රව්‍ය නැවත ලබා ගැනීමේ අවස්ථාවක් මේ නිසා අහිමි වෙනවා. ඒවා ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් නව අමුද්‍රව්‍ය තැනීමේ හැකියාව තිබෙන අතරම ඒ තුළින් පාරිසරික හානිද අඩු කරගත හැකියි. විශේෂයෙන්ම විදුලි මෝටර් රථයක ලිතියම්-අයන බැටරි පද්ධතිය කෝෂ රැසකින් සමන්විත නිසා එක් කෝෂයක හටගන්නා ගින්නක් අනෙක් කෝෂවලට පැතිරී වඩාත් දරුණු තත්ත්වය පත්වීමේ වැඩි අවධානමක් තිබෙනවා. මෙරටට හයිබ්‍රීඩ් වාහන ආනයනය ආරම්භ කර මේ වනවිට වසර 15 කට වැඩියි. ඉලෙක්ට්‍රීක් වාහන අළෙවියද මේ වනවිට ඉහළ ගිහින්..බැටරි සම්බන්ධයෙන් නීති හඳුන්වාදීම තවත් ප්‍රමාද කළ යුතු නැහැ.
බැහැර නොකළ යුතු යුරෝපා සංගමයේ නියමයන්…
යුරෝපා සංගමයේ 2023/1542 අංක දරන බැටරි නියාමනය මගින් බැටරියක නිෂ්පාදනයේ සිට අවසාන බැහැර කිරීම දක්වා සමස්ත ජීවන චක්‍රය ආවරණය වන නීතිමය රාමුවක් හඳුන්වා දී ඇත. නිෂ්පාදකයින්ගේ වගකීම් සම්බන්ධව මෙන්ම බැටරි එකතු කිරීම, ප්‍රතිචක්‍රීකරණය සහ ලිතියම් ඇතුළු වටිනා අමුද්‍රව්‍ය නැවත ලබා ගැනීම සඳහා එමගින් ඉලක්ක නියම කර තිබේ. ලොව විදුලි වාහන නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන චීනයද බැටරිය නිෂ්පාදනය කරන අවස්ථාවේ සිට භාවිතයෙන් ඉවත් කිරීම දක්වා එහි ගමන්මඟ නිරීක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරයි. එමගින් බැටරි අපද්‍රව්‍ය අවිධිමත් ලෙස බැහැර කිරීම පාලනය කිරීමටත්, නැවත භාවිත කළ හැකි සම්පත් ආර්ථිකයට එක්කර ගැනීමටත් අවස්ථාව සලසා ගනිත්දී ශ්‍රී ලංකාවද තවමත් එවැනි කටයුත්තක් වෙනුවෙන් නිසි අවධානය යොමුකර නොමැති බව විශේෂ කාර්යසාධන විගණන වාර්තාව පෙන්වා දෙයි. එම වාර්තාවට අනුව පෙනී යන්නේ 2020 සිට 2025 දක්වා කාලය තුළ භාවිතයෙන් ඉවත් කරන බැටරි එකතු කිරීම, ගබඩා කිරීම, ප්‍රවාහනය සහ අවසන් බැහැර කිරීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් ජාතික යාන්ත්‍රණයක් රටේ ක්‍රියාත්මක වී නොමැති බවය. බැටරියක් ආනයනය කළ අවස්ථාවේ සිට එය භාවිතයෙන් ඉවත් කර අවසන් වශයෙන් බැහැර කරන තෙක් නිරීක්ෂණය කළ හැකි ජාතික පද්ධතියක් නොමැති වීමත් බැටරි මාරු කිරීම සහ ඒවා බැහැර කිරීම පිළිබඳ තොරතුරු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාර්තාවල ප්‍රමාණවත් ලෙස සටහන් නොවීමත් ප්‍රධාන ගැටලුවක් ලෙස විගණනය හඳුනාගෙන තිබේ.
බැටරි සඳහා නෛතික රෙගුලාසි ළඟදීම…
කෙසේ වුවද 2026 ජූලි 21 වැනිදා සහතික කරන ලද අංක 15 දරන ජාතික පාරිසරික (සංශෝධන) පනත මගින් නිෂ්පාදකයාගේ පුළුල් වගකීම (Extended Producer Responsibility – EPR) ක්‍රියාත්මක කිරීමට නව නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දී තිබේ.
මේ සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් කපිල රාජපක්ෂ මෙවැනි පැහැදිලි කිරීමක් කළේය.
විදුලි වාහන වල බැටරි නිෂ්පාදනය කරන හෝ ආනයනය කරන කෙනා අළෙවියෙන් පසු ඒවා නැවත පරිසර හිතකාමි ලෙස බැහැර කිරීමේ වගකීම ගත යුතුයි. ඒ සඳහා වන නෛතික ප්‍රතිපාදන පනතට ඇතුළත් කරලා රෙගුලාසි ටිකත් මේ වනවිට හදලා අවසානයි. නීතිමය කෙටුම්පත් සඳහා මේ වනවිට එය යොමුකර තිබෙනවා. දැන් මේක තියෙන්නේ අවසන් අදියරේ. ප්ලාස්ටික්, විදුලි උපකරණ හා බැටරි ලංකාවට ගෙන්වන ව්‍යාපාරික ආයතන නැවත මේවා අවිධිමත් ලෙස පරිසරයට මුදා හැරීම වැලැක්වීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග මොනවාද කියන එක මධ්‍යම පරිසර අධිකාරියට දැනුම් දිය යුතුයි. ප්ලාස්ටික් වගේ දේවල් නිෂ්පාදනය කරන ආයතන වලට ඔවුන්ගේ වාර්ෂික නිෂ්පාදනයෙන් 40-60 % ක වගේ ප්‍රමාණයක් නැවත එකතු කර ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා අපි ඉලක්කයක් ලබා දෙනවා. ඒක ඔවුන් දත්ත වලින් අපට තහවුරු කළ යුතුයි. ඒක නොකළොත් ඔවුන්ට දඩයකට යටත් වීමට සිදු වෙනවා. EPR පනත ක්‍රියාත්මක වනවිට අපිට මේක කළමනාකරණය කර ගන්න පුළුවන්. සංශෝධිත EPR පනත සම්බන්ධව වාහන බැටරි ලංකාවට ආනයනය කරන ප්‍රධාන සමාගම් හා වාහන ආනයනය කරුවන් දැනුවත් කිරීම සඳහා වැඩසටහනක් අපි සූදානම් කර තිබෙනවා. බැටරියේ තත්ත්වය පිළිබඳ පිළිගත් පරීක්ෂණාගාරයක වාර්තාවක් ලබාදීම, භාවිත කළ බැටරිය ලබා ගන්නා නැවත භාවිත කරන්නා හෝ ප්‍රතිචක්‍රීකරණ ආයතනය සමඟ ගිවිසුමක් ඉදිරිපත් කිරීම, නව බැටරිය සවිකිරීමෙන් පසු ඉවත් කළ පැරණි බැටරිය අනුමත ආයතනයකට භාරදීම, බැටරිය භාරදුන් බවට සහතිකයක් මධ්‍යම පරිසර අධිකාරියට ඉදිරිපත් කිරීම, නැවත භාවිතයට ගත නොහැකි බැටරි ප්‍රතිචක්‍රීකරණය හෝ සම්පත් ප්‍රතිසාධනය සඳහා විදේශයකට යැවීම වැනි මාර්ගෝපදේශ පනතේ තිබෙනවා. මේ වසර අවසන් වීමට පෙර අපිට පනත ක්‍රියාත්මක කිරීම හා සම්බන්ධ කරුණු සම්බන්ධයෙන් අවසන් එකඟතාවට පැමිණිය හැකියි.

බැටරි ප්‍රතිපත්තිය අත ළඟ…
මෙරට බලශක්ති ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා කමිටු තුනක් පත්කර තිබෙන අතර බැටරි සම්බන්ධ ප්‍රතිපත්ති කමිටුවේ සභාපති ධුරය හොබන්නේ සුනිත්‍ය බල අධිකාරියේද සභාපතීත්වය හොබවන මහාචාර්ය විජේන්ද්‍ර බණ්ඩාර මේ පිළිබඳව දක්වන්නේ මෙවැනි අදහසකි.
විදුලිබල ප්‍රතිපත්තිය හදලා අමාත්‍ය මණ්ඩල අනුමැතිය දීලා ගැසට් කරලා ඉවරයි. ග්‍රීන් හයිඩ්රජන් ප්රතිප්තතිය දැන් හදලා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිලා දැන් ගැසට් කරන්න තිබෙන්නේ. බැටරි ප්‍රතිපත්තිය කෙටුම්පත් කරලා අමාත්‍යාංශයට බාරදීලා තියෙන්නේ. ප්‍රතිපත්තියක් හදනකොට යන්න ඔ්න ක්‍රමවේදයක් තිබෙනවා. මේ ක්‍රියාවලිය හා සම්බන්ධ සියලු පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කරලා ඔවුන්ගේ අදහස් ලබා ගන්න ඔ්න. මහජන අදහස් වලට විවෘත කරන්න ඔ්න. දැන් බැටරි ප්‍රතිපත්තිය මහජන අදහස් සඳහා යොමු කරන්න නියමිතයි. ලබන මාසේ 11 වැනිදා මේ සම්බන්ධව අපි පාර්ශවකරුවන් හා සාකච්ඡාවක් පවත්වලා අදහස් හා යෝජනා ලබා ගන්නවා. ඊට පසු කෙටුම්පත නැවත සමාලෝචනය කරලා තමයි අවසන් කෙටුම්පත සකස් කරන්නේ. ඒක කැබිනට් අනුමැතියට දාලා පාර්ලිමේන්තුවෙන් අනුමත කළාට පස්සේ තමයි ගැසට් කරන්නේ. බැටරි ප්‍රතිපත්තිය තුළ සෑම බැටරියකටම අපි HS Code- (Harmonized System Code) එකක් තිබිය යුතු බවට අනිවාර්ය කර තිබෙනවා. අවශ්ය්ය ඔ්නෑම අවස්ථාවක බැටරිය හා සම්බන්ධ සියලු තොරතුරු බලා ගැනීමේ හැකියාව තිබිය යුතුයි. ඒක කොතනකදීවත් අතුරුදන් වෙන්න බැහැ. විදුලි වාහන භාවිතය ඉහළ යෑමත් සමඟ ලෝකයේ අනෙකුත් රටවල් පවා මේ ගැන වැඩි උන්නදුවක් දක්වන්න පටන් ගෙන තිබෙන්නේ දැනුයි. තාමත් මේ බැටරි ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා නිසි වැඩපිළිවෙළක් ලෝකයේ නැහැ. අනාගතයේදී ඒ සඳහා ක්‍රම සකස්වෙයි. මේවා ගැන සැලිකිලිමත් වෙමින් අපි නීති සකස්කර ගත යුතුයි. ලංකාව ගත්තම විදුලි අවශ්‍යතාවෙන් 60%-70% ක පමණ ප්‍රමාණයක් තමයි පුණර්ජනනීය බලශක්තිය මගින් උපදවා ගන්නේ. ඉතිරි 30-40 % ප්‍රමාණය අපි තාමත් ආවරණය කර ගන්නේ පොසිල ඉන්ධන මගින්. විදුලි වාහන භාවිතය ඉහළ යනකොට අපි ඊට ගැලපෙන ලෙස පුණර්ජනනීය බලශක්ති උත්පාදනය ඉහළ නන්වා ගත යුතුයි. අපි වාහනයට ඩීසල් ගහන්නේ නැතුව බලාගාරයට ඩීසල් ගහලා ඒකෙන් කාර් එක චාර්ජ් කර ගන්නවා නම් අපේ අරමුණ ඉටු වෙන්නේ නැහැ.

අසේල කුරුළුවංශ LSN NEWS

