1. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට තවත් වසරක් පමණ ගතවනු ඇති බව Vérité Research හි විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන් ද මෙල් ප්‍රකාශ කරයි – ක්‍රියාවලිය ඉතා මන්දගාමී බවට පෙන්වා දෙයි – එහි ප්‍රතිඵලයක් ලෙස ආර්ථිකය නැවත පණ ගැන්වීමේ හැකියාව දුර්වල වනු ඇතැයි ද පවසයි – වත්මන් ආර්ථික අර්බුදය සමඟ කටයුතු කිරීමට යොදා ඇති ආර්ථික කළමනාකරණ කණ්ඩායමේ නිපුණතාවය පිළිබඳව ප්‍රශ්න කරයි.
2. මහ බැංකුවේ “මුදල් මුද්‍රණය” (මහබැංකුවේ තබා ගන්නා භාණ්ඩාගාර බිල්පත්) දෙසැම්බර් 16 න් අවසන් වන සතිය තුළ දිනකට රු. බිලියන 12.8 තරම් අතිවිශාල ප්‍රමාණයකින් ඉහළ යයි – මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ යටතේ, විදේශ විනිමය ණය නොගෙවූ පසුබිමක පවා “මුදල් මුද්‍රණය” මාස 8 හමාරක් තුළ රු. බිලියන 873 තරම් වූ අතිවිශාල ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත – එය මසකට සාමාන්‍යයෙන් රු. බිලියන 100ක් පමණ වේ – මෙය නන්දලාල් ට පෙර සිටි අධිපතිවරුන් වූ කබ්රාල් සහ ලක්ෂ්මන් යන අයගේ ධුර කාලවල පැවති මුදල් මුද්‍රණයට සාපේක්ෂව සියයට 50 ක පමණ ඉහළ අගයක් ගනී.
3. හිටපු පා.ම. දුමින්ද සිල්වාට ලබාදුන් ජනාධිපති සමාවේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 3ක් 2023 පෙබරවාරි 7 වැනි දින විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරයි – මීට පෙර මෙම පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂද ඇතුළත්ව තිබුණි.
4. ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් ත්‍රිවිධ හමුදාවට නොපැමිණි අයට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ හමුදා සාමාජිකයන් 15,000 කට අධික පිරිසක් තම සේවාවලින් ඉල්ලා අස්වීමට ඉදිරිපත් වී ඇතැයි බ්‍රිගේඩියර් රවී හේරත් පවසයි.
5. පළාත් පාලන මැතිවරණයට තමන් සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ප්‍රධානීන් කිහිප දෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහට දන්වා සිටිති – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් ද ඔවුන් සමඟ මෙම රැස්වීමට එක්ව සිටියේ ය.
6. මුද්‍රිත මාධ්‍ය ආයතන බොහොමයක සාමාජික ආයතනවලට, තම ස්ථිර කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවීමට නොහැකි බවත්, ආර්ථික අර්බුදය නිසා පුවත්පත් මුද්‍රණය 60-70% කින් අඩු වී ඇති බවත් එම ආයතන ආර්ථික ස්ථායීකරණ කමිටුවට දැනුම් දෙයි – වෙළඳ දැන්වීම් සඳහා වෙන් කරන මුදල ද 70% කින් පමණ අඩු වී ඇති බවට මැසිවිලි නඟයි.
7. ඉන්දියානු රුපියල් වෙළඳ පියවීමේ යාන්ත්‍රණයක් (trade settlement mechanism) හරහා ශ්‍රී ලංකාව සමඟ ඉන්දියානු වෙළඳාම සඳහා ‘Vostro’ ගිණුම් විවෘත කිරීමට එරට මහ බැංකුව ශ්‍රී ලංකා බැංකු 5කට අනුමැතිය ලබා දෙයි – ශ්‍රී ලංකාව ණය පැහැර හැරීමෙන් පසු ආසියානු නිෂ්කාශන සංගමය විසින් සහභාගී වන රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීම හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුව ඇත.
8. ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් කරන ලද මූලික විමර්ශනයේදී ඔහු හිටපු ක්‍රිකට් නිවේදක බ්‍රයන් තෝමස් හමුවීමට සැලසුම් කර තිබූ බවට අනාවරණය වෙයි – පොලිස් විමර්ශන දිගටම ක්‍රියාත්මකයි.
9. පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් බිත්තර සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල නියෝගය අභියාචනාධිකරණය විසින් අත්හිටුවීමෙන් පසු බිත්තර සඳහා වූ වෙළෙඳපොළ මිල ඉහළ යයි – සුදු බිත්තරයක් රුපියල් 43 කට සහ දුඹුරු බිත්තරයක් රුපියල් 45 කට විකුණන බව පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් මීට ඉහත නිවේදනය කර තිබිණි.
10. ද්විත්ව පුරවැසියන්ට ක්‍රීඩා ආයතනයක කුමන හෝ තනතුරක් සඳහා තරඟ කිරීම තහනම් කිරීමට ක්‍රීඩා පනත සංශෝධනය වෙයි – තනතුරක් දැරීමට උපරිම වයස් සීමාව 70 ලෙස ද නියම කර ඇත.