ලංකාවට ඇත්තටම ආයෝජන එනවද ?

Date:

බදු වැඩි කිරීමේ අයහපත් ප්‍රතිඵල ගැන කතා කරන අය කියන දෙයක් තමයි මේ වැඩෙන් රටට එන විදේශ ආයෝජන නැති විය හැකියි කියන එක. මේ කතාව ටිකක් දුරට ඩොලරයේ මිල ඉහළ යද්දී රජයේ ණය ඉහළ යනවා කියන කතාවට සමානයි.

කලින් නැවත නැවත පැහැදිලි කර දී තිබෙන දෙවන කතාව තවත් වරක් කෙටියෙන් මතක් කරන්නම්. ඩොලර් ණයට අරගෙන, ඒ ණය ආපසු ගෙවද්දී ඩොලරයක මිල වැඩි වෙලානම් ඒ හේතුව නිසා රජයට රුපියල් වලින් වැඩි වියදමක් යනවා. කතාව ඇත්ත.

ඉහත තර්කයේ ප්‍රශ්නය තියෙන්නේ තර්කය ඇතුළේ නෙමෙයි. තර්කයට පිටින්. කතාව ඇත්ත වුනත් රජයට ඔය පාඩුව වෙන්නේ ගත්ත විදේශ ණය ආපහු ගෙවද්දී. නමුත් ලංකාවේ රජය ශුද්ධ වශයෙන් විදේශ ණය ආපහු ගෙවලාම නැහැ. ගෙවන්නෙත් නැහැ. හැමදාම වගේ කළේ ගෙවන ණයට වඩා අලුතෙන් විදේශ ණය ගන්න එක. ඔහොම විදේශ ණය අරගෙන රුපියල් කරද්දී ඩොලරයේ මිල ඉහළින් තියෙන තරමට රජයට වාසියි. පාඩු වෙන්නේ ඩොලරයේ මිල අඩු වෙද්දී.

විදේශ ආයෝජන ගැන කතාවත් ඔය වගේම එකක්. වැඩියෙන් බදු ගෙවද්දී රටට එන ආයෝජන අඩු වෙන්න පුළුවන්. නමුත් එහෙම වෙන්නේ රටට ආයෝජන එනවානම්. මෑතකාලීනව දිගින් දිගටම වෙලා තියෙන්නේ ආයෝජකයින් විසින් රජය ණයට ගන්න සල්ලිත් රටින් ගෙනියන එක.

විදේශ ණය අරගෙන රටට වෙලා තියෙන අවුල ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. දැන් ඒ ගැන කවුරුත් වගේ දන්නවා. ණය විදිහට රටට එන විදේශ ප්‍රාග්ධනය ගැන බයෙන් සැකෙන් බලන ගොඩක් අය කොටස් හිමිකම් විදිහට රටට එන සෘජු විදේශ ආයෝජන වගේ දේවල් වල කිසිම අවුලක් දකින්නේ නැහැ. නමුත් ඇත්තටම ණය හෝ කොටස් භේදයක් නැතිව ලංකාව විදේශ ප්‍රාග්ධනය ආකර්ශනය කර ගන්න ආකෘතියේම අවුලක් තියෙනවා.

රටකට විදේශ ආයෝජන එන එකේ වාසි ගණනාවක් තියෙනවා. ඒකේ කතා දෙකක් නැහැ. නමුත් ඒ වාසි අමතක කරලා, කරන්නන් වාලේ ආයෝජකයෝ ගෙන්න ගනිද්දී වෙන්නේ අතින් කාලා හරක් බලනවා වගේ වැඩක්.

ලංකාව කාලයක් තිස්සෙම කරලා තියෙන්නේ බදු සහන දීලා ආයෝජකයින් ආකර්ශනය කර ගන්න එක. ආයෝජකයින් රටට එන එකෙන් රජයට වාසියක් ගන්න පුළුවන් වෙන්නේ ලැබෙන බදු ආදායම වැඩි කර ගැනීම මගිනුයි. බදු ආදායම වැඩි වෙන්නේ නැත්නම්, කොහොම හරි ආයෝජකයෝ ගෙන්න ගත්තා කියලා ඒ ගෙන්න ගත්ත එකෙන් වැඩක් නැහැ.

රටේ ආයෝජනයට හිතකර පරිසරයක් හැදෙනවානම් බදු සහන නැතත් ආයෝජකයෝ එනවා. ඒ එන්නේ දිගුකාලීන වාසි බලාගෙන. එහෙම එන ආයෝජකයෝ තමන්ගේ ලාබ නැවත නැවත රට ඇතුළේම ආයෝජනය කරනවා මිසක් රටෙන් අරන් යන්න හදිසි වෙන්නේ නැහැ.

රටේ ඒ ආකාරයේ ආයෝජනයට හිතකර පරිසරයක් හැදීම සඳහා කළ යුතු මූලික දේවල් සිදු නොකර බදු සහන දීලා ආයෝජකයෝ ගෙන්නුවහම රටට එන්නේ පුළුවන් තරම් ඉක්මනින් රටට ගෙනාපු මුදල වගේ කිහිප ගුණයක් රටින් අරන් යන්න බලාගෙන එන ආයෝජකයෝ. අන්තිමට වෙන්නේ රටට ගේන ඩොලර් ටික වගේ කිහිප ගුණයක් රටින් එළියට යන එක. අන්තිමට රජයට බදුත් නැහැ. රටට විදේශ විණිමයත් නැහැ.

පහත සංඛ්‍යාලේඛණ දිහා බැලුවහම මේ කරුණ පැහැදිලි වෙයි.

වර්ෂය- 2016
සෘජු විදේශ ආයෝජන වල ලාභය – ඩොලර් මිලියන 949
ලාභාංශ ලෙස ලබාගත් මුදල – ඩොලර් මිලියන 500
නැවත ආයෝජනය කළ මුදල – ඩොලර් මිලියන 450
අලුතෙන් රටට ආ ණය නොවන සෘජු ආයෝජන – ඩොලර් මිලියන 260
ආයෝජකයින් විසින් රටින් ගෙන ගිය මුදල – ඩොලර් මිලියන 240

වර්ෂය- 2017
සෘජු විදේශ ආයෝජන වල ලාභය – ඩොලර් මිලියන 934
ලාභාංශ ලෙස ලබාගත් මුදල – ඩොලර් මිලියන 431
නැවත ආයෝජනය කළ මුදල – ඩොලර් මිලියන 503
අලුතෙන් රටට ආ ණය නොවන සෘජු ආයෝජන – ඩොලර් මිලියන 32
ආයෝජකයින් විසින් රටින් ගෙන ගිය මුදල – ඩොලර් මිලියන 399

වර්ෂය- 2018
සෘජු විදේශ ආයෝජන වල ලාභය – ඩොලර් මිලියන 783
ලාභාංශ ලෙස ලබාගත් මුදල – ඩොලර් මිලියන 558
නැවත ආයෝජනය කළ මුදල – ඩොලර් මිලියන 225
අලුතෙන් රටට ආ ණය නොවන සෘජු ආයෝජන – ඩොලර් මිලියන 238
ආයෝජකයින් විසින් රටින් ගෙන ගිය මුදල – ඩොලර් මිලියන 320

වර්ෂය- 2019
සෘජු විදේශ ආයෝජන වල ලාභය – ඩොලර් මිලියන 863
ලාභාංශ ලෙස ලබාගත් මුදල – ඩොලර් මිලියන 599
නැවත ආයෝජනය කළ මුදල – ඩොලර් මිලියන 264
අලුතෙන් රටට ආ ණය නොවන සෘජු ආයෝජන – ඩොලර් මිලියන 120
ආයෝජකයින් විසින් රටින් ගෙන ගිය මුදල – ඩොලර් මිලියන 474

වර්ෂය- 2020
සෘජු විදේශ ආයෝජන වල ලාභය – ඩොලර් මිලියන 636
ලාභාංශ ලෙස ලබාගත් මුදල – ඩොලර් මිලියන 445
නැවත ආයෝජනය කළ මුදල – ඩොලර් මිලියන 191
අලුතෙන් රටට ආ ණය නොවන සෘජු ආයෝජන – ඩොලර් මිලියන 211
ආයෝජකයින් විසින් රටින් ගෙන ගිය මුදල – ඩොලර් මිලියන 234

වර්ෂය- 2021
සෘජු විදේශ ආයෝජන වල ලාභය – ඩොලර් මිලියන 647
ලාභාංශ ලෙස ලබාගත් මුදල – ඩොලර් මිලියන 357
නැවත ආයෝජනය කළ මුදල – ඩොලර් මිලියන 290
අලුතෙන් රටට ආ ණය නොවන සෘජු ආයෝජන – ඩොලර් මිලියන 317
ආයෝජකයින් විසින් රටින් ගෙන ගිය මුදල – ඩොලර් මිලියන 40

~ ඉකොනොමැට්ටා

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...

නැවත ඉරානයට බෝම්බ හෙලීමට දෙවරක් නොසිතන බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයට යුරේනියම් සැලකිය...

නොකියනු මැන හැකර කතා !

උපාලි කොළඹගේ කොළඹ LNW:කට හැකරකම මෝඩයන්ට මිස විදග්ධ හෝ පරිණත...

ධවල මන්දිරයේ නවතම තීරණය: ශ්‍රී ලංකාවටත් බලපායි!

රෂිකා හෙන්නායක ජූනි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වැඩසටහන් 24කට...