*
Sunday, November 24, 2024
spot_img

Latest Posts

චින්න චින්න ආසෛ – 21: සංසාරයයි නිර්වාණයයි ළං කරපු දම්පාට සඳ එළිය..  

ස්කූල් බස් එකේ ගිය කෙල්ලන්ට ඇහෙන්නයි පේන්නයි හැතැප්ම නවයක සී ටී බී චාරිකාවෙ මුල සිට අගට ගැන්සි බැහැල සින්දු කියන කාලෙ, “සංගීතය නැත්නම් ජීවිතය අත්වැරදීමක් විය හැකියි” කියල ජර්මන් දාර්ශනික නීට්ෂේ කිව්ව බවක් අම්මප දැනගෙන හිටියෙ නැහැ. ඔය කියන කාලේ ; සුදු පාට ගවුමේ ඉන ගාව රවුමේ පොත් පේළි තියාගෙන ආව පිවිතුරු කෙල්ලෝ – අංජන මධු සුවඳ පැනින් නැහැවිලා රූ සිරි වත දොවාගෙන එනකොට – මල් පොකුරු පොකුරු ඈ එන මගට නැමුනද නැද්ද කියල දන්නැතත් හරියටම.. අපේ හිත් නම් වයසටත් වඩා ආලයෙන් බරවෙලා පැහිල ඉදිලා බිමට නැමිලා තිබ්බේ.

අතීතය මතක් කරන ලියුම්කරුට ඇත්තටම හිතෙනවා.. එදා එහෙම සිංදු නොකිව්වනම් “මොන අපරාදයක්ද දෙයියනේ” හෙවත් ජීවිතය එහැම පිටින්ම අත්වැරදීමක් වෙනවා නේද කියල. ඒ අත්වැරදීමෙන් ජීවිතය බේරුණේ සංගීතය හින්දා. සංගීතය ගැන මෙලෝ න්‍යායික දැනුමක් නැතත් රහ සින්දුවක් සියයට දාහක් විතර රස විඳින්නයි, ආස සින්දුවක් සියයට පනහක් විතර තාලෙට කියගන්නයි පුළුවන් වීම අතිශය වාසනාවක් කියල ලියුම්කරු විශ්වාස කරනවා. එහෙම ගයපු පාසල් බස් රථ ගී ලැයිස්තුවේ උඩින්ම තිබ්බ සින්දුවක් තමයි ‘පෙම් සිළිලාරේ තුන් සිත ඉතිරී…’.


පාසල් සමයේ අපි කිව්වේ ‘දයාරත්න – අමරා වර්ෂන් එක’. තවත් වර්ෂන් එකක් නීලාත් කියනව. දෙයාකාරයකින් එකම සින්දුව ඇහෙන්නෙ කොහොමද කියල අහන්න, ගීතය ලිව්ව කරුණාරත්න අබේසේකර සහ තනු නිර්මාණය කළ සරත් දසනායක යන විස්මකර්මවරුන්ගේ පුතුන් දෙදෙනා සම්බන්ධ කරගැනීමට ලියුම්කරු ගත් උත්සාහය සාර්ථක වුණේ නැහැ. ඒ වර්ෂන් දෙක අතරින් ලියුම්කරු වඩාත් කැමති ‘දයාරත්න – අමරා’ ආරට වුවත්…… නීලා..! ඈ ලියුම්කරු හද බැඳගත් ගායිකාව. ඈ සිටියදීමත් ලියුම්කරු ලියා කියා තිබෙනවා ඒ ගැන විවිධ තැන්වල. කෙසේ වුව දැන් ඈ භෞතිකව නෑ.

තුන් හිතකින්වත් නොසිතූ විලසින් රඟ ශාලාවක මුණගැහිලා ආදරණීය නෙරන්ජනාවක් වගේ මුදු මඳහස් රැළි මාලාවකින් හදවත වෙලාගත්ත අතීත පෙම්වතියක්, ප්‍රේමයට තිත තියන්න මාස කීපයකට කලින් අනූව දශකයේ දවසක, නගර දෙකක් අතර දුර මැකෙන්න සින්දු හතරක් පහක් රෙකෝඩ් කරපු කැසට් එකක් ලියුම්කරුට දුන්නා. එහි තිබූ එක ගීයක් තමයි නීලාව ගයන `ඔබගෙ සෙවණේ  රැඳෙන සහනේ වේවා සදා වාසනාවන්..` ඉතින් එහෙම කිව්ව පෙම්වතිය මාස කීපයක් ඇතුළත වෙන පෙම්වතෙක් හොයාගත්තත් නීලාගේ හඬ සදා වාසනාවක් වගේ හදේ තැන්පත් වුණා. ස්තූතියි දම්මි.


තවත් ගොඩක් ගායිකාවන් සිටිද්දී මේ තරම් හද බැඳගන්න තරම් නීලාගේ කටහඬේ විශේෂත්වය මොකක්ද කියල ලියුම්කරු කල්පනා කරනවා. නීලාගේ කටහඬ ගමේදී නාගරිකයි. නගරයේදී ගැමියි. ඒ නිසාම අසිරිමත් මැද මාවතක ඒ හඬ රාව ප්‍රතිරාව දෙනවා. සේන සමරසිංහ නිර්මාණය කරපු චංචල රේඛා හි ‘කීන දම් මිටක්’.. ‘මී අඹ අත්තේ’ වගේ ගීවල ගමෙන් ඇසෙන මුත් නාගරික නිදහස් ආරක් නීලා ප්‍රක්ෂේපණය කරනවා. `දවසක්දා රෑ වසන්ත සැණකෙළියේ` වගේ ගීතයක නගරයෙන් ඇසෙන මුත් ගැමි නිවීමක් ඈ අපට දෙනවා. ඒ තමයි නීලා.

අගනුවර ප්‍රසිද්ධ ක්‍රිස්තියානි බාලිකා විද්‍යාලයක සරල උත්සවයකට මීට අවුරුදු විස්සකට විතර කලින් නීලා ආවා. ඒ පොඩි උත්සවය වීඩියෝ කළ කැමරාකරුවාගේ සහායකයා තමයි එවකට මේ ලියුම්කරු. නීලා ඇවිත් තිබුණේ ගයන්න නෙමෙයි කතා කරන්න. නීලාගේ කතාවෙන් පසු සභාවෙන් සුපුරුදු ඉල්ලීම නැගුණා ගීතයක් ගයන්න කියා. ආවේ ගයන්න නොවන නිසාත්, සංගීත වෘන්දයක් හෝ ගැයුමට අවැසි ශබ්ද තාක්ෂණයන් එහි සංවිධාන වී නොතිබූ නිසාත් “මම ගීයක කොටසක් ගයන්නම්” නීලා නිහතමානීව පැවසුවා.

බෝධියේ විහාරයේ ස්ථායි කොටස නීලා දෙවරක් ගැයුවා. “බාලිකා ලොව මැලවුණු දා මුළු ලොවටම රෑ වෙනවා” ගයනකොට අගනාගරික බාලිකාවන් ඉද්ද ගැහුවා සේ නිශ්ශබ්දව බලා සිටියා. අසා සිටියා. අසාගෙන බලා සිටියා. ඒ දෑස්වල අග නලියන කඳුළු;  හුදු දුකට හෝ සතුටට නොව ජීවන සංවේදනාව වෙනුවෙන් උනන කඳුළු; වේදිකාවේ අඳුරු කෙළවරක සිටි තරුණ ආලෝකකරණ ශිල්පියා පවා දුටුවා. ඉඳිකටු තුඩක් බිම වැටුණත් ඇහෙන තරම් නිහඬතාවක් යන උපමාව ඇත්තක් බව ලියුම්කරු වටහා ගත්තා. 

 නීලාගේ කටහඬ ඇතුළේ සන්තාපය වගේම ශෘංගාරය තියෙනවා.  ඒ නිසාම සංසාරය වගේම නිර්වාණයත් ඒ හඬේ ගැබ්වෙලා තියෙනවා. ඇගේ කටහඬ දම්පාට සඳ එළියක් වගේ. ඇගේ ගී අහන ඕනෑම හදවතක් ඇගේ හඬින් තෙමෙනවා. ඇගේ හඬේ වර්ණය අපේ හද මත නැගෙන සිතුවිලි මත වැටුණාම සිතුවිලිත් දම් පාට වෙනවා. සන්තාපය සහ ශෘංගාරය අතර උපේක්ෂා සහගත මන්දස්මිතයක් ඈ අප වෙත හෙළනවා. ජීවිතය ඒ වගේ නේදැයි අහනවා. රහසේ හඬනා අප හැඟුම් ගැන කිත්සිරි නිමල්ශාන්ත ලියූ පද, ක්ලැරන්ස් හඬ සමග මුසුවී නීලා ගයනවිට අපට ඇසෙන්නේ දුක සැප අතර ඒ ජීවන මුසුවම නේදැයි ඔබ මට කියන්න.
ආදරයේ රස මියුරු වේදනා…..


– විමල් කැටිපෙආරච්චි 

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan