ශ්‍රී ලංකාව වැනි රටවල දිගුකාලීන ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමට නම්, විසඳුම් ලැබෙන්නේ සමාජවාදය මත පදනම් වූ ආර්ථික ප්‍රතිපත්තීන් තුළින් පමණක් බව ජාතික ජන බලවේගයේ නායකයකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා අවධාරණය කරයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඩේලිමිරර් පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
ජාතික ජන බලවේගයේ හරයේ පවතින පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ, සමාජවාදය සිය ආර්ථික ප්‍රතිපත්තිය ලෙස අධිවාචනය කරනු ලබනවා. ඔබ ඒ පිළිබඳව තවමත් විශ්වාස කරනවාද, නැතිනම් සමාජ වෙළඳපොළ ආර්ථික ප්‍රතිසංස්කරණ කෙරේ විශ්වාසය තබනවා ද?
“අප මුහුණ දෙමින් සිටින්නේ සුවිශේෂී ආර්ථික අර්බුදයකට. වර්තමානයේ තිබෙන ප්‍රපාතයෙන් රට ගොඩ ගැනීමට සහ අවම වශයෙන් 2019 ට පෙර පැවති මට්ටමට ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට අප අපගේ සැලසුම් වැඩිදියුණු කරනු ලැබුවා. වත්මන් අර්බුදයට ලබාදිය යුතු ඉක්මන් ප්‍රතිචාර අප විසින් හඳුනාගෙන තිබෙනවා. දිගුකාලීනව රට ගොඩනැඟීමට සමාජවාදී ආර්ථික මොඩලය කෙරේ අවධානය යොමුකරනු වෙනුවට, කෙටි කාලීනව ප්‍රතිඵල ලබා දෙන වැඩසටහනක් අප විසින් ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා.
අප වැනි රටවල දිගුකාලීනව සමාජ-ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමට නම්, විසඳුම් ලැබෙන්නේ සමාජවාදය මත පදනම් වූ ආර්ථික ප්‍රතිපත්තීන් තුළින් පමණයි. ඔබ අනෙකුත් රටවල් යටත් විජිත බවට පත්කළ රටවල් අතහැර දැමුවොත්, සංවර්ධිත ලෝකයට පැමිණ තිබෙන්නේ අතළොස්සක් පමණයි. උදාහරණයක් විදියට, ඉන්දියාව යනු අවශ්‍ය සියලු සම්පත්වලින් සපිරි රටක්. නමුත්, එය තවමත් සංවර්ධිත ලෝකයේ කොටසක් නෙමෙයි. පකිස්ථානය සහ බොහෝ අප්‍රිකානු කලාපයේ රටවල් පවා එහෙමයි. ඉන්දියාවට බ්‍රිතාන්‍යය දියුණු වූ අන්දමට දියුණු වන්නට බැහැ. භූගෝලීය වශයෙන් බ්‍රිතාන්‍යයට වඩා බොහෝ විශාල වූවත්, බ්‍රිතාන්‍යය විසින් ඉන්දියාව කොල්ලකනු ලැබුවා. මෙයින් පැහැදිලිවන්නේ, ඉන්දියාව තමාටම ආවේණික ආර්ථික වැඩසටහනක් බිහිකළ යුතුය යන්නයි. ශ්‍රී ලංකාව ගතහොත්, සමාජවාදය මත පදනම් වූ අපටම ආවේණික ආර්ථික ප්‍රතිපත්තියක් අප විසින් ඇතිකළ යුතුව තිබෙනවා. ඒ කාර්මීකරණය සහ කෘෂිකර්මාන්තය ඉහළ නැංවීමටයි. ඊළඟට, සාධාරණ ලෙස ආර්ථික ධනය බෙදීයාම තහවුරු කළ යුතුව තිබෙනවා. මෙය ආර්ථික සංවර්ධනයක් පමණක් නොවිය යුතුයි. එය සමාජීය සහ ආර්ථික යන දෙආකාරයෙන්ම සංවර්ධනය විය යුතුයි.”
ඉන්දියාව විසින් බොහෝ වෙළඳපොල ප්‍රතිසංස්කරණයන් හඳුන්වා දෙමින් තිබෙනවා. වෙළඳපොල බලවේගවල අවදිවීම සිදුවන්නේ සමාජ වෙළඳපොල ආර්ථිකයක් තුළ. ඔබ සඳහන් කරන ආර්ථික මොඩලය තුළ වෙළඳපොල බලවේගවලට ක්‍රියා කිරීමට හැකිවන්නේ කොහොමද?
“සමාජ වෙළඳපොල ආර්ථික මොඩලය ලොව සෑම තැනකම අනුගමනය කරනු ලබනවා. එය අලුත් දෙයක් නෙවෙයි. සමාජ වෙළඳපොල ආර්ථික න්‍යාය, එවකට ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසින් ප්‍රචාරණය කරන ලද්දක් පමණයි. එය සමාජවාදී ප්‍රතිපත්තිවලට මුවාවෙන් ධනවාදය ස්ථාපිත කිරීම සඳහා හඳුන්වා දෙන ලද්දක්. එසේ නොවන්නට, සෑම ආර්ථිකයක්ම සමාජීය මොඩලයක්. වෙළඳපොලකින් තොර ආර්ථිකයක් ඇත්තේ නැහැ.
ඉන්දියාවේ ධනවත්ම සියයට එක එරට ධනයෙන් සියයට 40ක් භුක්ති විඳිනවා. එවන් අසමානතා ද සමඟ අපට ආර්ථිකයක් ළඟා කර ගන්නට හැකිවන්නේ නැහැ. මෙවන් විකෘති ආර්ථිකයක් අප ලබාගෙන තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ වැනි නායකයන්ගෙන්. අපගේ මොඩලය තුළ, පෞද්ගලික අංශය අනිවාර්යයෙන්ම අත්‍යාවශ්‍ය කරුණක් වී තිබෙනවා. වියට්නාමය යනු සමාජ, දේශපාලනික සහ ආර්ථික ක්ෂේත්‍රවල සීඝ්‍රයෙන් දියුණුවීමක් දක්නට ලැබෙන රටක්. ආර්ථිකයේ තීරණාත්මක අංශ සඳහා රාජ්‍ය අංශය දැඩි මැදිහත්වීමක් එරට සිදුකර තිබෙනවා.”
සමාජ වෙළඳපොල ආර්ථික මොඩලය ගැන කතා කිරීමේදී ජර්මනිය විසින් ප්‍රසිද්ධ නිදසුනක් තබා තිබෙනවා. රජයේ භූමිකාව පාපන්දු තරඟයක විනිසුරුවරයාගේ භූමිකාවට සමකර තිබෙනවා. ඔබගේ පක්ෂය අධිවාචනය කරන ආර්ථික මොඩලය තුළ රජය දක්වන්නේ කුමන අන්දමේ භූමිකාවක් ද?
“මෙම නිදසුන ක්‍රියාවට නංවන්න බැහැ. මෙය රටකට ආදේශකළ හැකි නිදසුනක් නෙමෙයි. භූගෝලීය ප්‍රමාණය අතින් අපගේ රට වගේම රටක් තමයි වියට්නාමය කියන්නේ. ඔවුන් ඔවුන්ගේ දේශපාලනික, ආර්ථික, සමාජීය සහ පාරිසරික කටයුතු කලමනාකරණය කරන අන්දම දෙස බලන්න. එය අපට දැකිය හැකි ළඟම නිදසුනයි. අපට චීන ආර්ථික මොඩලය දෙස බැලීමට හැකියාවක් නැහැ. රජයක් විසින් ප්‍රතිපත්ති සම්පාදනය කිරීම පමණක් නොව බැංකුකරණය, බලශක්තිය සහ රක්ෂණය වැනි ප්‍රධාන ක්ෂේත්‍රවලට මැදිහත් වීමක් ද සිදුකළ යුතුව තිබෙනවා. රජයන් තෝරාපත් කර ගනු ලබන්නේ ජනතාව විසින්. එසේ නම්, රජයක් කොහොමද කියන්නේ තමාට ආර්ථිකය පිළිබඳ අයිතියක් නැහැ කියා? ආර්ථිකය, අධ්‍යාපනය, ආරක්ෂාව, සෞඛ්‍යය සහ අනෙකුත් ක්ෂේත්‍ර මෙහෙයවීමේ වගකීම රජයක් විසින් දරනු ඇති බවට ජනතාව විශ්වාසය තබා තිබෙනවා. අද වන විට ව්‍යාපාර ක්ෂේත්‍රයේ පාර්ශවයන් අතළොස්සක් විසින් රජය පාලනය කරමින් තිබෙනවා.
අර්බුද අවස්ථාවලදී මෙකී සියලු රටවල් විසින් බැංකු ජනසතු කරනු ලැබුවා. 2008 දී ජර්මනියේ බැංකු කඩා වැටුණු මොහොතේ, රජය විසින් ඒවා මුදවා ගනු ලැබුවා. බදු මුදල් යොදාගනිමින් බීඑම්ඩබ්ලිව් (BMW) සමාගම ද ඊට සමාන අන්දමකින් මුදවා ගනු ලැබුවා. මෙයින් පැහැදිලිවන්නේ, දේශපාලනික, ආර්ථික සහ සමාජීය ක්ෂේත්‍රවල වගකීම රජය විසින් දරන බවයි. පාපන්දු තරඟයකදී විනිසුරුවරයාට අයත් භූමිකාවක් තිබෙනවා. නමුත් නරඹන්නන් එකිනෙකා හැලහැප්පෙන්න ගත්තොත් කළ හැක්කේ කුමක්ද? රජයකට විනිසුරුවරයකුට වඩා විශාල කාර්යභාරයක් පැවරෙන්නේ මේ නිසා.”
~ RN – MIAP