වර්තමානය යනු අතීතයෙන් සංක්‍රමනයවූ තත්වයකි, ඒ අනුව ලාංකීය නූතන සමාජ ආර්ථික අර්බූදය යනුද ඉතිහාසය හා යාව ජීව හා පූර්වයෙන් අධිනිශ්ච්චය වූ තත්වයක් ලෙසද අපට විග්‍රහ කරගත හැක. දැන් අපි ඒ පිළිඹඳ කෙටි විශ්ලේෂණයක් දෙසට හැරෙමු.
මිනිසුන්ව පොරෝ පාරවල් ගසා දෙපළු කරන, මුඛයට ගිනියම්වූ ලෝදිය වත්කරන ගමේ පන්සලේ අපාය යනු දඬුවම ශ්‍රේෂ්ඨත්වයට පත්කල සිතුවමක් ලෙස අප එය දුටුවා විනා මිනිස් සබ්‍යත්වයට එහි ඇති ම්ලේච්ඡ නොපෑහීම අප දුටුවේ නැත. නූතන ලෝකයේ බිහිසුනු දර්ශන මිනිසුන්ගේ ඇසට නොපෙනෙන සේ මාධ්‍ය විසින් පවා වාරණය කෙරේ. නමුත් එය මිනිසුන් දෙකට පලන පන්සලේ ඇති අපායේ සිතුවමට අදාල නොවන්නේ කෙසේද ?
ඇත්තෙන්ම මේ අපාය යනුද එවකට රජු විසින් මිනිසුන්ට ලබා දුන් දෙතිස් මහා වද බන්දනවලම ප්‍රතිබිම්බයක් මිස අන් කවරක්වත් නොවේ. මෙහිදී මේ දඬුවම් ලබාදුන්නේ රජු විසිනි, ප්‍රබන්ද අපායේදී නම් මේ ඳඬුවම් පමුණුවන්නේ යම රජු විසිනි. මේ ඉපැරැණි සබ්‍යත්වයට අනුව වැරදි කරුවන්ට මෙසේ ම්ලේච්ඡ දඬුවම් පැමිනවීම අධිපතීන්ගේ තේජස හා ශ්‍රේෂ්ඨත්වය තව තව ඉහලට ඔසවන්නකි. මෙහිදී ඝාතනය කෙරෙන චූදිතයාව නින්දාවට හා අවමානට ලක්කිරීම හරහාද පාලකයාගේ තෙදබල හා බල පරාක්‍රමය තවතවත් පැතිරේ.
ප්‍රතිවාදියාට ම්ලේච්ඡ දඬුවම් පැමිණවීම, ඔවුන් නින්දාවට පත් කිරීම ශ්‍රේෂ්ඨ ජාතියක ලක්ෂනයක් ලෙස වර්තමානයේ පවා ක්‍රියාවට නැගෙන්නේ පරණ රජ දවස පරවේණියට අනුව නොවේයැයි කාට නම් කිව හැකිද ?
එක්දාස් නමසීය හැත්තෑ එකේදී මනම්පේරි නම් තරුණිය කෘර ලෙස මරාදැමීමට පෙර ඇඳුම් ගලවා නිරුවතින් වීදි දිගේ ඇවිද්දවා ඇත. රජ දවස හිස ගසා දැමීමට නියම වූවන්ද වදක බෙර ගසමින් වීදි දිගේ ඇවිද්දවූ බවද ඉතිහාසයේ සඳහන් වෙයි. අසූ තුනෙදී කුට්ටමණී ඇතුළු සිරකරුවන් බන්ධනාගාරය තුලදී ඝාතනය කිරීමට ප්‍රථම ඔවුන්ව නිරුවත් කර දනගස්සවා ඝාතකයන්ට වන්දවා ගත්බව මම එක් ලේඛනයක සඳහන්ව තිබෙනු දුටුවෙමි. එසේම උතුරේ යුද්ධය තුලදී ඉසිප්‍රියා නම් චූදිත තරුණිය දූෂනය කොට මරාදැමීමට ප්‍රථම ඝාතකයන් විසින් ඇයව ප්‍රසිද්දියේ නිරුවත් කර ලබාගත් චායා රූප අන්තර්ජාලය තුලින් දැකබලා ගත හැකිය.
මෙහිදී මේ ඝාතකයන් විසින් මරාදැමීමට පෙර ගැහැණුන්ව නිරුවත් කරන්නේ යම් අශ්ලීල ආශාවක් නිසා යැයි අප සිතුවහොත් ඔවුන් පිරිමින්ව ඝාතනය කිරීමට පෙර නිරුවත් කරන්නේ මන්ද..? ඇත්තෙන්ම එහි සැබෑ අරමුණ සතුරාව ඝාතනය කිරීමෙන් නොනැනවතී ඔහුගේ ආත්මයද විනාශකර දැමීමේ ම්ලේච්ඡ අබිලාෂයයි. ඇත්තෙන්ම මෙවන් සාහසික කම් අපට දැකබලා ගත හැක්කේ ඉතිහාසය මිනීකන ගෝත්‍ර වෙතින් පමණි.
අතීතය සුන්දර පැන්ටසියකට නගන්නන් විසින් අප ඉදිරියේ ගෙන හැර දක්වන ගැමියාද ඔවුන් කියන තරම් අවිහිංසක නැත. වරදේ ප්‍රතිවිපාක නැරඹීම නැමති මතුපිට සිල්වත් ආවරනයකින් වැසී තිබුනද ඇත්තෙන්ම අපේ පැරන්නන් අපායට ආශා කලේ තමා තුල සැඟව ඇති සාහසික චෛතිසිකය පිනවා ගැනීමටය. දේවාලවල්ට ගොස් ගම්මිරිස් ගලේ අඹරා ගම්මිරිස් ඇඹරෙන්නාක් මෙන් ස්වකීය ප්‍රතිවාදියා ඇඹරීයාමට පලිගැසූ ගැමියා තුල පවා තිබුනේ නූගත් ම්ලේච්ඡත්වයමය.
එකල බහුලව පැවති, ඇතැම් පැතිවල තාමත් පවතින කොඩිවින, හදිහූනියම් වැනි දේවල් වලින් පවා ප්‍රකට වූයේ පැරණි ගැමි චෛතිසිකයේ පැවති ගුප්ත නරුමත්වයයි. බොහෝ විට ඔවුන් මේ හදිහුනියම් කරන්නේද ඔවුන්ගේම ඥාතීන්ටමය. මෙහිදී පාලක, පූජක දෙපාර්ශවයවයේ ප්‍රබල ද්‍රෂ්ඨිවාදි අස්තානයක් හමුවේ ජනතාවද ඊට ගැලපෙන නරුම අස්තානයක ඇදවැටීම සාමාන්‍ය තත්වයකි.
මා මෙසේ උදාහරණ ගෙනහැර පෑම හරහා ශාක්ෂාත් කිරීමට උත්සාහ කරන්නේ වර්තමාන බොහෝ යුධ ගැටුම් හා ප්‍රචන්ඩ කළකොලාහල වලට හේතුවූ ඉතිහාසය වෙතින් සංක්‍රමනයවූ අන්සිවිලයිස් සංකෘතික බලපෑම විස්තර කිරීමටය. මන්ද, බොහෝ ස්වෝත්තම ජනපියවාදයන්ට අනුව ලංකාවේ පැරණි අවිහිංසක සිංහල බෞද්ධ චින්තනය දූෂණය කලේ පිටතින් පැමිණි යැංකි ද්‍රෂ්ඨිවාද විසිනි. නමුත් ඇත්ත තත්වය නම් ඉහත සඳහන් කල අතීත ගෝත්‍ර පිටකටුවේ පැවති තදබව නිසාම පිටතින් පැමිණි බොහෝ සාදනීය දෑ අපට උකහා ගැනීමට නොහැකිවීමය.
ඉතිහාසයේ සඳහන්වන පරිදි දුටුගැමුණු රජුගේ එක් යෝධයෙක් සොලීන් දෙපයින් අල්ලා දෙකට ඉරා තිසා වැවට විසිකර දැමූ වීර කතාන්තරයක් ගැන කියවේ. මේ ඉතිහාස පුරානෝක්ති වලට අනුව සතුරාට එරෙහි ම්ලේච්ඡ ප්‍රචන්ඩත්වය අත්‍යාවශ්‍ය සාධකයක් වී ඇත. මෙහිදී පාරිශුද්ධ නිකසල ධර්මයක් සැරසිල්ලක් ලෙස මතු පිටින් උලා තිබුනද එය සමාජ අධ්‍යාත්මය තුල තිබූබවක් පෙනෙන්නට නැත.
මහාවංසය ලියූ යති ලේඛකයා මහා මිනිස් සංහාරයක යෙදුන දුටුගැමුණු ඒ පාපයෙන් නිදොස්කොට නිදහස්කර ඇත. මේ ඉතිහාසය ලේඛනයට අනුව දුටුගැමුණු අතින් සිදුව ඇත්තේ ප්‍රානඝාත අකුසල එකහමාරක් පමණි. එක් අයෙක් බෞද්දයෙක් වන අතර අනෙක් තැනැත්තා තිසරණය ගැන පැහැදුන අයෙකි. මෙහිදී මේ ඉතිහාසය වේදයට අනුව බෞද්ධයන් හැර අන් මිනිසුන් ඝාතනය කිරීම අකුසළයක් වන්නේ නැත. මේ ඝාතන රට, ජාතිය, ආගම බේරාගැනීම සඳහා කෙරුන කුසල කර්ම බවට පරිවර්තනය වී ඇත.
ඒ අනුව මේ ඓතිහාසික ලේඛන වර්තමාන වාර්ගික ගැටුම් වලට කර ඇති අහිතකර බලපෑම හා උඩගෙඩි දීම සුළුපටු නොවේ. මේ ලේඛණ වල ඇති අතීතකාමී නූගත් ජාති ආලය අවුළුවන අනුරාගයන් නූතන වාර්ගික ගැටුම්ව්ලට පදනම දැමීම සඳහා විශාල දායකත්වයක් දරා ඇත. මෙහිදී මේ මහාවංස ලේඛණය වීරකාව්‍යයක් බවට පත්කර ඇත්තේ දකුණු ඉන්දියානු අනෙකා මහා දුෂ්ඨයෙකු කිරීමෙන් සහ එකී වාර්ගික සතුරා විනාශකරන රාජ්‍ය ප්‍රචන්ඩත්වය ජාතිය ප්‍රබෝධමත් කරවන අනුරාගී උත්කර්ශයකට ඔසවා තැබීමෙන්ය.
ඇත්තෙන්ම රාජපක්ෂවාදය වැනි වාර්ගික නූතන ප්‍රභූ බල ව්‍යාපෘතීන් රට තුල පැලපදියම් වීමටද අවශ්‍ය පාදම සැකසුනේද මේ ඉතිහාසවේදයන් හරහාය. මෙහිදී මේ මහාවංසය හා එබඳු තත්කාලීන ලේඛණ යනු ජාතිමාමක වාර්ගික සංකල්ප අවුළුවන ඉතිහාසයේ පටන් එන පූජක දෘෂඨිවාදයක් ලෙස අර්ථගන්වා ගත්තද එහි වරදක් නැතැයි පැවසිය හැක.
~ ප්‍රියශාන්ත රාජපක්ෂ