*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

ලස්ස ගණන් ඩොලර් ලැබී …?

ඩොලර් එකට වෙන්න යන දේ ගැන දැන් තරමක් නිශ්චිත ලෙස කියන්න පුළුවන්. එයින් අදහස් කළේ ඩොලර් එක කීය දක්වා අඩු වෙයිද, ඊට පස්සේ නැවත වැඩිවෙයිද වගේ දේවල් හරියටම කියන්න පුළුවන් කියන එක නෙමෙයි. විණිමය අනුපාතය වෙනස් වීමේ දිශානතිය ගැන වඩා නිවැරදි පුරෝකථනයක් කළ හැකි බවයි.

උද්ධමනය පුරෝකථනය කරන තරම් පහසුවෙන් විණිමය අනුපාතය පුරෝකථනය කරන්න බැහැ. උද්ධමනය “හැදෙන්නේ” වසරකට පමණ පෙර සිටයි. මේක කිකිළියෙක් දමන බිත්තරයක් කාලයක් තිස්සේ බඩේ මෝරනවා වගේ වැඩක්. ඒ නිසා, කිකිළි බිත්තරේ දමන්න කලින් බිත්තරේ ගැන කියන්න පුළුවන්. බිත්තරේ එළියට ආවට පස්සේ හිතුවට වඩා ලොකු හෝ පොඩි බිත්තරයක් එන්න පුළුවන් වුනත් බිත්තරේ වෙලාවට එනවා.

විණිමය අනුපාතය ඒ විදිහට කලින් තීරණය වෙන්නේ නැහැ. එය තීරණය වෙන්නේ එදිනෙදා ඉල්ලුම හා සැපයුම අනුවයි.

හෙට (මාර්තු 08) වන විට මහ බැංකුව විසින් විණිමය අනුපාතය හා අදාළව වාණිජ බැංකු මත පනවා තිබුණු සීමාවන් ඉවත් වෙනවා. ඒ අනුව, වාණිජ බැංකු අතර ගනුදෙනු සිදුවන අන්තර්බැංකු වෙළඳපොළේ ඩොලරයක මිල ඕනෑම ගණනක් වෙන්න පුළුවන්. ඒ වගේම, වාණිජ බැංකු විසින් ඔවුන්ගේ පාරිභෝගිකයින්ගේ ඩොලර් මිල දී ගන්නා මිල සහ ඔවුන්ට ඩොලර් විකුණන මිල නිදහසේ තීරණය වීමට බාධාවක් නැහැ. අනෙක් පැත්තෙන්, වාණිජ බැංකු වලට ලැබෙන ඩොලර් වලින් කොටසක් මින් පසුව අනිවාර්යයෙන්ම මහ බැංකුවට විකිණීමට අවශ්‍ය නැහැ.

හැබැයි මතක තියා ගන්න මේ නිදහස ලැබෙන්නේ වාණිජ බැංකු වලට. එතැනින් එහාට සාමාන්‍ය පුද්ගලයින්ට තිබුණු සීමාවන් තවමත් තිබෙනවා. අපනයනකරුවන් තවදුරටත් තමන්ගේ ඩොලර් අනිවාර්යයෙන්ම රටට ගෙන ආ යුතුයි. ඒ වගේම අතිරික්ත ඩොලර් අනිවාර්යයෙන්ම රුපියල් කළ යුතුයි. දන්නා තරමින් එම නියමය තවමත් ඉවත් කර නැහැ. මේ වෙලාවේනම් නියමයක් නැතත් කොහොමටත් ඔය දෙකම සිදු වෙනවා. මොකද ඩොලර් අතේ තියාගෙන ඉන්න එක පාඩු නිසා.

අද (මාර්තු 7) අන්තර් බැංකු වෙළඳපොළේ ඩොලරයක මිල රුපියල් 337.67 දක්වා පහත වැටී තිබෙනවා. ඒ කියන්නේ පසුගිය සිකුරාදා පැවති රුපියල් 346.17 මට්ටමේ සිට රුපියල් 8.50කින් පහළ යාමක්. මහ බැංකුව විසින් මෙම මිල උපරිම වශයෙන් රුපියල් 10.00කින් පහත යාමට ඉඩ සලසා තිබුණා. හරියටම දන්නේ නැතත්, මහ බැංකුව විසින් ඩොලර් මිල දී ගනිමින් ඩොලරයක මිල පහත වැටීම පාලනය කරන්නට ඇතැයි මා සිතනවා. එසේ මිල දී ගත් ප්‍රමාණය කොපමණද කියා මා දන්නේ නැහැ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශය අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු ණය වාරිකය ලැබීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. ඒ හා සමඟම, තවත් බහුපාර්ශ්වීය හා ද්විපාර්ශ්වීය ණය යම් ප්‍රමාණයක් ලැබෙන්නට නියමිතයි. යම් ප්‍රමාණයක් කිවුවත්, පවතින තත්ත්වය තුළ සැලකිය යුතු ප්‍රමාණයක්. මෙම තොරතුරු දැනටමත් මූල්‍ය ආයතන වලට රහසක් නෙමෙයි. ඒ නිසා, මේ වෙද්දී සිදු විය හැකි වෙළඳපොළ කම්පනය සිදු වී හමාරයි. හෙට දිනයේ අමුතුවෙන් කම්පනයක් සිදු වන්නේ නැහැ.

පවතින රටාව අනුව, අන්තර් බැංකු වෙළඳපොළේ ඩොලරයක මිල හෙට දිනයේ තව දුරටත් පහත වැටීමට නියමිතයි. මෙම පහත වැටීම බොහෝ විට රුපියල් 5-10 පරාසය තුළ පහත වැටීමක් විය හැකියි. මේ පහත වැටීම කොපමණ කාලයක් මෙලෙස සිදු වෙයිද? කොපමණ දුරකට සිදු වෙයිද?

මේ ගැන මට නිශ්චිතව කියන්න බැහැ. එය තීරණය වෙන්නේ මේ වෙලාවේ ක්ෂණිකව රුපියල් වන ඩොලර් ප්‍රමාණය මතයි. එම ප්‍රමාණය ඩොලර් බිලියනයකට වඩා වැඩි විය හැකියි. එසේ වුවහොත්, අන්තර් බැංකු වෙළඳපොළේ ඩොලරයක මිල රුපියල් 300 පමණ දක්වා පහත වැටෙන්න පුළුවන්. එහෙත්, මෙසේ රුපියල් වන ඩොලර් ප්‍රමාණය මීට වඩා වැඩි වෙන්නත් පුළුවන්. ඒ වගේම අඩු වෙන්නත් පුළුවන්.

පසුගිය වසරේ මාර්තු මාසය දක්වා ඩොලරය රුපියල් 200 මට්ටමේ හිර කරගෙන සිටි කාලය ඔබට මතක ඇති. එම කාලයේ මගේ ඇස්තමේන්තුව වූයේ ඩොලරය නිදහස් කළහොත් එහි මිල රුපියල් 275 පමණ සීමාවක රැඳෙනු ඇති බවයි. ඩොලරය එවැනි සීමාවකට ගියේනම් බොහෝ විට රටේ ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා. මා මෙම උපකල්පනය කළේ මහ බැංකුව සතුව ඒ වන විට ඩොලර් බිලියන තුනක පමණ සංචිත තිබුණේය යන උපකල්පනය මතයි. එය එසේ නොවූ බව දැනගන්නට ලැබුණේ අධිපතිමාරුවෙන් පසුවයි.

ඩොලරයක මිල ඉහත මට්ටමෙන් උඩට යාමට තනිකරම වාගේ හේතු වූයේ සමපේක්ෂණ ඉල්ලුමයි. ඒ වන විට රටේ තිබුණු රුපියල් විශාල ප්‍රමාණයක් සමපේක්ෂණය මත ඩොලර් බවට පත් වුනා. මගේ ඇස්තමේන්තුව අනුව මෙම ප්‍රමාණය ඩොලර් බිලියන තුනක් පමණ විය හැකියි. පසුගිය සතිය තුළ නැවත රුපියල් වී තිබෙන්නේ එම ප්‍රමාණයෙන් 10%ක් පමණ ප්‍රමාණයක් පමණයි. මේ සතිය තුළ මහ බැංකුවට ඩොලර් මිලියන 500 පමණ දක්වා මුදලක් මිල දී ගැනීමේ හැකියාවක් ඇති බව මගේ අදහසයි.

ඩොලරයක මිල පහත වැටී, මෙම සතිය අවසාන වෙද්දී හෝ බොහෝ විට ලබන සතිය තුළ, ස්ථාවර විය යුතුයි. එසේ ස්ථාවර වන්නේ කවර මට්ටමේද යන්න තීරණය වන්නේ කොපමණ අතිරික්ත ද්‍රවශීලතාවයක් බැංකු පද්ධතිය තුළට එනවාද යන්න මතයි. මෙම ප්‍රමාණය ඩොලර් බිලියනයකට නොවැඩිනම් ඩොලරයක මිල රුපියල් 300 සීමාවෙන් පහළට යන එකක් නැහැ. මහ බැංකුව විසින් දැනටමත් අතිරික්ත ද්‍රවශීලතාවය අවශෝෂණය කරගෙන අවසන්නම් ඊටත් ඉහළින්, දැන් පවතින මට්ටමට තරමක් පහළින්, මෙය නවතියි. එහෙත්, මිල ඊටත් වඩා පහත වැටෙන එක වුවත් සිදු නොවිය හැක්කක් නෙමෙයි. කෙසේ වුවත්, රුපියල් 300 සීමාවේ මානසික අවස්ථිතිය නිසා, එම සීමාවෙන් පහළට යාමේදී අනිවාර්ය ප්‍රතිරෝධයක් ඇති වෙනවා.

මේ සතිය හෝ ඉදිරි සතිය තුළ ලිහී යාමට නියමිත මල්ල ඔබා බලන එකේ තේරුමක් නැති නිසා මේ සීමාව කොපමණද යන්න අපි නිරීක්ෂණය කිරීමෙන්ම හඳුනා ගනිමු. වඩා වැදගත් ප්‍රශ්නය එසේ පහත වැටී යම් මට්ටමක ස්ථාවර වන ඩොලරය එම මට්ටමේ රැඳී තිබෙනු ඇත්ද යන්නයි.

මගේ පිළිතුර එසේ රැඳී තිබෙනු ඇති බවයි. ඒ ඇයි?

ඩොලරය හිර කරගෙන සිටි කාලයේදී එසේ නොකර ඩොලරයක මිල රුපියල් 275 පමණ මට්ටමකට යන්න ඉඩ දුන්නානම් බොහෝ විට රටට එන ඩොලර් සහ රටේ ඩොලර් අවශ්‍යතාවය තුලනය වෙනවා. මෙහිදී රටේ ඩොලර් අවශ්‍යතාවය කියා කිවුවේ ණය ආපසු ගෙවීම් හා පොලී ගෙවීම් ඇත ඇරලා. ණය ගෙවන එක නිදහසින් පසු කවදාවත් නොකළ දෙයක්නේ. දැන් මේ තත්ත්වය වෙනස් වෙලා තියෙන්නේ කොහොමද?

ඒ වෙද්දී තිබුණු තත්ත්වයට සාපේක්ෂව මේ වෙද්දී බදු වැඩි කිරීම්, පොලී වැඩි කිරීම්, ඉන්ධන හා විදුලි ගාස්තු ඉහළ දැමීම් ආදිය නිසා ආනයන ඉල්ලුම අඩු වෙලා මිසක් වැඩි වෙලා නැහැ. ඒ නිසා, දැන් සියලුම ආනයන සීමා ඉවත් කළත්, රුපියල් 275ට වඩා අඩු මට්ටමකදී වුනත් රටට එන ඩොලර් වලින් ආනයන ඉල්ලුම තුලනය කර ගන්න පුළුවන්. ඒ නිසා, ඩොලරයක මිල රුපියල් 250 මට්ටමට වැටුණත්, ටිකෙන් ටික මිසක් නැවත ක්ෂණිකව මිල ඉහළ යාමක් වෙන්නේ නැහැ. එයින් අදහස් කළේ ඩොලරයක මිල රුපියල් 250 මට්ටමට වැටෙයි කියන එක නෙමෙයි. එය තීරණය වෙන්නේ ක්ෂණිකව රුපියල් වන ඩොලර් ප්‍රමාණය මත කියලා කලින් කිවුවනේ.

හැබැයි ණය ගෙවීමේ ප්‍රශ්නය තව දුරටත් ඉතිරි වෙනවා. වාණිජ ණය හා ද්විපාර්ශ්වික ණය ගෙවන එක කල් දමාගත්තත් බහුපාර්ශ්වීය ණය දිගටම ගෙවාගෙන යන්න වෙනවා. ඒ නිසා, ලැබෙනවා කියා කියන ණය ඒ වෙනුවෙන් යොදවන්න වෙනවා. අරමුදල සමඟ එකඟ වී තිබෙන වැඩ පිළිවෙළ අනුව, ඊට අමතරව, ණය ගෙවන්න සල්ලි ඉතිරි කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. උපයන ඩොලර් ආනයන ආදිය සඳහා වියදම් කරන්න පුළුවන්. (මෙය කළ යුතු හොඳම දෙයද නැද්ද කියන එක වෙනම කතාවක්. අරමුදල සමඟ තිබෙන එකඟතාවය මේකයි.)

පහළින් තියෙන්නේ, මීට පෙරද විස්තර කර තිබෙන, ජංගම ගිණුම් ශේෂ ඉලක්ක.
2023 – (-2.0)%
2024 – (-1.2)%
2025 – (-1.2)%
2026 – (-1.2)%
2027 – (-1.2)%

රටේ ආර්ථිකය ඩොලර් බිලියන 60ක් ලෙස සැලකුවොත්, එයින් 1.2%ක් කියා කියන්නේ ඩොලර් මිලියන 720ක් පමණ. රටේ විදේශ ආයෝජන වල ලාබ ලෙස ලැබෙන ඊට කිට්ටු මුදලක් හැම වසරකදීම වගේ නැවත රට තුළ ආයෝජනය වෙනවා. ඒ නිසා, 1.2%ක ජංගම ගිණුම් ශේෂ හිඟයක් කියන්නේ ආසන්න වශයෙන් උපයන ඩොලර් හා වැය කරන ඩොලර් ප්‍රමාණ තුලනය වන තත්ත්වයක්. විදේශ ණය ගන්නේ පරණ ණය හා පොලී ගෙවන්න පමණයි. යහපාලන ආණ්ඩුව කාලයේ වුනා වගේ.

ඇත්තටම කිවුවොත් ඊටත් වඩා දැඩි මූල්‍ය විනයක් පවත්වා ගැනීමක්. මොකද පරණ ණය වල පොලී හා ප්‍රතිලාභ ලෙස පසුගිය කාලයේ වසරකට රටින් ගිය ප්‍රමාණය ඩොලර් බිලියන දෙකක් පමණ වෙනවා. යහපාලන කාලයේ ණය අරගෙන වියදම් නොකළත්, පරණ ණය වල පොලී ගෙවුවේ අලුතෙන් ණය අරගෙන. අරමුදලේ වැඩ පිළිවෙළ යටතේ එම පොලී වලින්ද යම් කොටසක් ගෙවන්න වෙන්නේ උපයන ඩොලර් වලින්. මේ කොටස කොපමණද කියන එක තීරණය වෙන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදුවෙන පිළිවෙළ අනුව.

මේ අවුරුද්දේ ඉලක්කය ටිකක් වෙනස්. මොකද එක පාරටම ජංගම ගිණුම් හිඟය අඩු කර ගන්න බැහැනේ. ඩොලර් බිලියන 60කින් 2%ක් කියන්නේ ඩොලර් බිලියන 1.2ක් පමණ. ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව මේ වසර තුළ ගෙවිය යුතු විදේශ මුදලින් පොලී ප්‍රමාණය ඔය ප්‍රමාණය ඉක්මවන එකක් නැහැ. බොහෝ විට ආසන්නව සමාන වෙයි. ඒ කියන්නේ, අරමුදල සමඟ එකඟ වී තිබෙන වැඩ පිළිවෙළ අනුව, මේ වසර තුළ විදේශ ණය හා පොලී ආපසු ගෙවන්නේ අළුතෙන් ගන්න ණය වලින්. රටේ ඩොලර් අවශ්‍යතා ටික සම්පූර්ණ වෙන්නේ උපයා ගන්නා ඩොලර් ටිකෙන්.

දැන් සිදුවන “නිවැරදි වීම” සිදු වුනාට පස්සේ ඩොලරයක මිල නැවත වැඩි වෙයිද නැත්නම් අඩු වෙයිද කියන එක තීරණය වෙන්නේ ඔන්න ඔය සාධකය මතයි. අපනයන ආදායම්, සංචාරක ඉපැයීම් ඇතුළු සේවා ආදායම් හා ශ්‍රමික ප්‍රේෂණ ලෙස ලැබෙන ඩොලර් ප්‍රමාණය ආනයන හා පිටතට කරන ප්‍රේෂණ සඳහා අවශ්‍ය ඩොලර් ඉල්ලුම සැපිරීමට ප්‍රමාණවත්නම් ඩොලරයක මිල ඉහළ යන එකක් නැහැ. සැපයුමට වඩා ඉල්ලුම වැඩිනම් මිල ඉහළ යයි.

මේ විදිහට ඩොලරයක මිල ඉහළ ගියොත් මහ බැංකුවට එයට ඉඩ දෙන්න වෙනවා. හැබැයි එහෙම මිල ඉහළ යද්දී ඩොලර් ඉල්ලුම අඩු වෙන නිසා දිගින් දිගටම මිල ඉහළ යන්නේ නැහැ. සැලසුමේ පිළිවෙළට කටයුතු සිදු වුනොත්, මැදිකාලීනව වසරකට 3%කින් පමණ බැගින් ඩොලරයක මිල ඉහළ යයි. ඒ මිසක්, පාලනයක් නැතිව, කඩාගෙන බිඳගෙන මිල ඉහළ යන්නේ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ස්ථායීකරන වැඩපිළිවෙළක් හදන්නේ එහෙම නොවෙන විදිහට.

ඉහත කී පරිදි ණය හා පොලී ගෙවන්න අවශ්‍ය ප්‍රමාණයට වඩා විශාල ඩොලර් ප්‍රමාණයක් රටට ගලාගෙන ආවොත් මොකද වෙන්නේ? ආණ්ඩුව කියන තරමට රජයට ණය ලැබුනොත් එහෙම වෙන්න පුළුවන්. හදිසියේ කෙටිකාලීන ආයෝජන විදිහට නැවත ඩොලර් ගලාගෙන ආවොත් වෙන්නෙත් ඒකයි. මේ වගේ තත්ත්වයක් යටතේ වුවත්, ජංගම ගිණුම් හිඟය 2% සීමාවේ තියාගන්න වෙනවා. ඒ කියන්නේ ණයට ඩොලර් ගන්න පුළුවන් වුනත් ඒ විදිහට ණයට ගන්න ඩොලර් ආනයන සඳහා වියදම් කරන්න බැහැ. අමතර ඩොලර් මහ බැංකුවට මිල දී ගෙන සංචිත වලට එකතු කර ගන්න වෙනවා. ඒ නිසා, දැන් ඩොලරයක මිලේ සිදුවන පහත යාම යම් මට්ටමකදී නැවතුනාට පස්සේ එය හෙමින් හෙමින් ඉහළ යනවා මිසක් දිගින් දිගටම පහළ යන්නේ නැහැ. හෙමින් හෙමින් මිසක් වේගයෙන් ඉහළ යන්නෙත් නැහැ.

සංචාරක පැමිණීම්, ශ්‍රමික ප්‍රේෂණ වගේ දේවල් අඩු වැඩි වෙන විදිහට ඔය තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේ ක්‍රම වලින් රටට ලැබෙන ඩොලර් ප්‍රමාණය ඉහළ ගියොත් ඩොලරයේ මිල අඩු වෙයි. ආනයන වෙනුවෙන් ඩොලර් වැය කිරීමේ හැකියාව ඉහළ යයි. මහ බැංකුව විසින් එය නවත්වන එකක් නැහැ. ඒ වගේම, සංචාරක පැමිණීම් ආදිය අඩු වුවහොත් ඩොලරයක මිල ඉහළ ගිහින් ආනයන සීමා වෙයි. මේ වගේ දේවල් නිසා කලින් කියපු වසරකට 3% විචලනය විය හැකි නමුත් දිගුකාලීනව සාමාන්‍ය අගයක් විදිහට ඩොලරයක මිල ඉහළ යනු ඇත්තේ ආසන්නව වසරකට 3%කින්.

ඊළඟ ප්‍රශ්නය පොලී අනුපාතික වලට කුමක් වෙයිද කියන එක. හෙට වෙන්දේසියේදී පොඩි අඩුවක් වෙන්න පුළුවන්. හැබැයි එහෙම වුනොත් එය වෙන්නේ සමපේක්ෂණය මත පදනම්ව. අරමුදලේ සල්ලි ලැබුණා කියලත් සමපේක්ෂණය හේතුවෙන් මිසක් පොලී අනුපාතික අඩු වෙන්නේ නැහැ. නමුත් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන වලින් රජයට ණය ලැබුණොත් පොලී අනුපාතික සැලකිය යුතු ලෙස අඩු වෙනවා.

අරමුදලේ කොන්දේසි අනුව 2024 වසරේ සිට රජයට වියදම් කළ හැක්කේ ආදායමට වඩා අඩුවෙන්. මේ වසරේ පමණක් සුළු මුදලක් වැඩියෙන් වියදම් කරන්න පුළුවන්. ඒ නිසා, ණය ගන්න වෙන්නේ පරණ ණය සහ පොලී ගෙවන්න. දැන් මේ ණය තනිකරම ගන්නේ දේශීය වෙළඳපොළෙන්. ඒ විදිහට ගන්න ණය සහ පොලිය ආපහු ගෙවන හැම විටකම වගේ එසේ ගෙවන මුළු මුදලම නැවත ණය විදිහට ආපහු ගන්නවා. ඒ නිසා, ඇත්තම වෙළඳපොළේ රුපියල් සැපයුමේ වෙනසක් වෙන්නේ නැහැ. ගිණුම් ශේෂ එහාමෙහා වෙනවා පමණයි.

ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන වලින් රජයට ණය ලැබුණු වහාම මේ තත්ත්වය වෙනස් වෙනවා. රජයට එම ඩොලර් මහ බැංකුවට විකුණලා රුපියල් ලබා ගන්න පුළුවන්. ඒ රුපියල් වලින් නැවත මහ බැංකුවේ ණයම ගෙවයි කියා මම විශ්වාස කරනවා. එසේ නොකළොත් වෙන්නේ නැවත මුදල් සැපයුම වැඩි වෙන එකයි. හැබැයි ඩොලරයක මිල පහළ බහිද්දී උද්ධමනය ඇති නොකර යම් මට්ටමකින් සල්ලි අච්චු ගැසීමේ අවකාශයකුත් ඇති වෙනවා. කොහොම වුනත්, විදේශ ණය ලැබෙද්දී දේශීය ණය ගන්න අවශ්‍ය වෙන්නේ අඩුවෙන් නිසා පොලී අනුපාතික පහළ යනවා. ඒ අතරේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අවිනිශ්චිතතා දුරුවී යන්න පුළුවන්.

මට හිතෙන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත නොකර වැඩේ ගොඩ දාගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි ඒක තීරණය වෙන්නේ චීනය කැමැති වී තිබෙන කොන්දේසි අනුවයි. මේ හැම දෙයක්ම සති කිහිපයක් ඇතුළත දැනගන්න ලැබෙයි.

මේ ලිපිය කියවූ විට ඇතැම් අයෙකුට ඉතාම සුබදායී අනාගතයක් පේන්න පුළුවන්. හැබැයි ඔය සුබදායී අනාගතය තනිකරම රැඳී තියෙන්නේ රජය ආදායම ඉක්මවා වියදම් නොකිරීම මත. හරියටම කිවුවොත් ප්‍රාථමික අයවැය ශේෂ ඉලක්ක ඉටුකර ගැනීම තුළ. ඒ ඉලක්ක වලට යන්නනම් කළ යුතු ප්‍රතිසංස්කරණ කළ යුතු පිළිවෙළට කරන්න වෙනවා. එසේ නොකළොත්, ඕනෑම වෙලාවක හැම දෙයක්ම නැවත අවුල් වෙන්න පුළුවන්.

~ ඉකොනොමැට්ටා

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan