හැත්තෑව දශකයට පෙර ලෝකයේ ප්‍රචලිතව තිබුණේ රන් සම්මතය මත පදනම් වූ ස්ථිර විණිමය අනුපාත ක්‍රමයයි. එහෙන් මේ වන විට ලෝකයේ බොහෝ රටවල තිබෙන්නේ පාවෙන විණිමය අනුපාත ක්‍රමයක්.
පාවෙන විණිමය අනුපාත ක්‍රමය ලොව පුරා තහවුරු වන්නේ 1971-1976 කාලය තුළ ලෝක මුදල් ක්‍රමයෙහි සිදුවන වෙනස්කම් එක්කයි. මෙම ක්‍රමයේ ආරම්භය 1944 බ්‍රෙටන් වුඩ් සම්මුතියයි. 1971දී ඇමරිකාව රන් සම්මතයෙන් ඉවත් වීමෙන් පසුව බ්‍රෙටන් වුඩ් සම්මුතිය තව දුරටත් පවත්වා ගත නොහැකි වෙනවා. ඉන් පසුව, 1976 ජැමෙයිකා සම්මුතියෙන් රන් සම්මතය හා ස්ථිර විණිමය අනුපාත ක්‍රමය වෙනුවට පාවෙන විණිමය අනුපාත ක්‍රමය යෝජනා වෙනවා.
ජැමෙයිකා සම්මුතියේ ප්‍රකාශිත ඉලක්කයක් වන්නේම ජාත්‍යන්තර මුදල් ක්‍රමයෙන් තිරසාර ලෙසම රත්තරන් ඉවත් කිරීමයි. ඒ මගින්, එතෙක් ජාතික මුදල් ඒකක සහ රත්තරන් අතර පැවති සම්බන්ධය අහෝසි වෙනවා. රත්තරන් මිල වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම මත තීරණය වන මිලක් බවට පත් වෙනවා. රත්තරන් තවත් පාරිභෝගික භාණ්ඩයක් බවට පත් වෙනවා. සියවස් ගණනක් පුරා රත්තරන් වලට මුදල් ලෙස තිබුණු පිළිගැනීම සැලසුම් සහගත ලෙස නැති කර දමනු ලබනවා.
ජැමෙයිකා සම්මුතියේ එකඟතා අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අරමුදල සතු වූ රත්තරන් විශාල තොගයක් විකුණා දමනවා. සම්මුතිය අනුව, ලෝකයේ ප්‍රධාන මහ බැංකු වලටද රත්තරන් තොග විකිණීමට සහ නැවත මිල දී නොගැනීමට යෝජනා කෙරෙනවා. ඒ වන විටද ලෝකයේ බොහෝ රටවල නොනිල ලෙස ක්‍රියාත්මක වෙමින් තිබුණු පාවෙන විණිමය අනුපාත ක්‍රමය විධිමත් හා නීත්‍යානුකූල ක්‍රමයක් බවට පත් කෙරෙනවා.
දශකයකට ආසන්න කාලයක් ලංකාවේ නොනිල ලෙස ක්‍රියාත්මක වෙමින් තිබුණු පාවෙන විණිමය අනුපාත ක්‍රමය 1977දී නිල ක්‍රමය බවට පත් වෙන්නේ මේ පසුබිම තුළයි. එහෙම නැතුව 1977දී සිදු වුනු ආණ්ඩු මාරුව නිසාම නෙමෙයි.
ලංකාව දැවැන්ත ගෙවුම් ශේෂ අර්බුදයකින් පීඩා විඳි 1967 වසරේ සිටම ලංකාවේ තිබුණේ ද්විත්ව විණිමය අනුපාත ක්‍රමයක්. තේ, රබර්, පොල් අපනයනය කළ අය රජය විසින් නියම කළ අඩු මිලකට තමන් ඉපැයූ විදේශ විණිමය අනිවාර්යයෙන්ම රජයට විකිණිය යුතු වුනා. අනෙක් අපනයනකරුවන්ට පමණක් 65%ක් පමණ වැඩි වෙළඳපොළ මිලට තමන්ගේ විදේශ විණිමය විකිණිය හැකි වුනා.
රජය විසින් තෝරාගත් ආනයනකරුවන්ට පමණක් නිල විණිමය අනුපාතයට විදේශ විණිමය මිල දී ගත හැකි වුවත්, අනෙකුත් අයට රජය විසින්ම විදේශ විණිමය විකිණුවේ විශාල ලාබයක් තියාගෙන 65%ක පමණ වැඩි මිලකටයි. සැබෑ විණිමය අනුපාතය ලෙස සැලකිය හැකි වූයේ ඉල්ලුම හා සැපයුම සමතුලිත වූ මිලට ආසන්න වූ එම මිල වුවත්, නිල විණිමය අනුපාතය ලෙස සටහන් වුනේ කෘතිම මිලක්. 1977දී මෙම ද්විත්ව විණිමය අනුපාත ක්‍රමය අහෝසි කර එකම විණිමය අනුපාතයක් හඳුන්වා දෙනු ලැබුවා. එමෙන්ම, විණිමය අනුපාතය පා නොකළත්, දිනපතා විචලනය වීමට ඉඩ සලස්වනු ලැබුවා.
ලංකාව නිල වශයෙන් විණිමය අනුපාතය පා කළේ 2001දී. කෙසේ වුවත්, ඒ පා කිරීමත් නමට පමණක් කළ පා කිරීමක්.
ජැමෙයිකා සම්මුතියෙන් පසුව ලෝකයේ බොහෝ රටවල් ස්ථිර විණිමය අනුපාත ක්‍රමය අත හැරියත් හැම රටක්ම එසේ කළේ නැහැ. මෙහිදී මැදපෙරදිග කලාපය කැපී පෙනෙනවා. මැදපෙරදිග රටවල් බොහොමයක් විසින්ම තමන්ගේ මුදල් ඒකක රත්තරන් හා ගැට ගසා තබනු වෙනුවට ඇමරිකන් ඩොලරය සමඟ ගැසුවා. මේ සම්බන්ධය බොහොමයක් මැදපෙරදිග රටවල් විසින් මේ දක්වාම පවත්වා ගෙන යනවා.
සවුදි අරාබිය- 1975 වසරේ සිට සවුදි රියාලය නිල වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ SDR මුදල් ඒකකයට ගැට ගසා ඇතත්, ප්‍රායෝගිකව රියාලය ඇමරිකන් ඩොලරයට ගැට ගසනු ලැබ තිබෙනවා. ඇමරිකන් ඩොලරයක් සවුදි රියාල් 3.75කට සමානයි. (SDR මුදල් ඒකකයක වටිනාකම තීරණය වන්නේ ඇමරිකන් ඩොලර්, යුරෝ, යෙන්, බ්‍රිතාන්‍ය පවුම් සහ යුවාන් වල වටිනාකම මතයි.)
එක්සත් අරාබි එමීර් රාජ්‍යය – 1978 සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩිරාමයද නිල වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ SDR මුදල් ඒකකයට ගැට ගසා ඇතත්, ප්‍රායෝගිකව ඩිරාමයද ඇමරිකන් ඩොලරයට ගැට ගසනු ලැබ තිබෙනවා. ඇමරිකන් ඩොලරයක් ඩිරාම් 3.6725කට සමානයි.
කුවේටය – කුවේට් ඩිනාරය 1975 සිට ඇමරිකන් ඩොලරය ඇතුළු ජාත්‍යන්තර මුදල් ඒකක කිහිපයක් අඩංගු දර්ශකයකට ගැට ගසා තිබෙනවා. 2002-2007 කාලය තුළ කුවේට් ඩිනාරය සෘජුවම ඇමරිකන් ඩොලරය හා ගැට ගසා තිබුණා.
ඕමානය – 1973 වසරේ සිට ඕමාන් රියාලය ඇමරිකන් ඩොලරයට ගැට ගසා තිබෙනවා. 1986 සිට ඕමාන් රියාලයක වටිනාකම ඇමරිකන් ඩොලර් 2.6008 ලෙස නොවෙනස්ව තිබෙනවා.
බහරේන් – බහරේන් ඩිනාරයද 1980 සිට නිල වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ SDR මුදල් ඒකකයටත්, ප්‍රායෝගිකව ඇමරිකන් ඩොලරයටත් ගැට ගසා තිබෙනවා. ඇමරිකන් ඩොලරයක් බහරේන් ඩිනාර් 0.376ක් වෙනවා.
කටාර් – කටාර් රියාලය 1975 සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ SDR මුදල් ඒකකයට ගැට ගසා තිබී, 2001දී නීතියක් මගින්ම ඇමරිකන් ඩොලරයට ගැට ගසනු ලැබුවා. කටාර් රියාලයක් ඇමරිකන් ඩොලර් 3.64ක්.
ගල්ෆ් සහයෝගීතා කවුන්සලයට අයත් ඉහත රටවල් සියල්ල එකතු වී 2010 වසර වන විට පොදු මුදල් ඒකකයක් භාවිතා කිරීමේ ඉලක්කයක් 2001 වසරේදී ඇති කරගත් නමුත්, තවමත් මෙම රටවලට ඒ සඳහා එකඟතාවයකට පැමිණීමට හැකි වී නැහැ. බහරේන්, කුවේට්, කටාර් හා සවුදි අරාබිය යන රටවල් තවමත් මෙම ඉලක්කය තුළ ක්‍රියාකාරීව සිටිනවා. ගල්ෆ් සහයෝගීතා කවුන්සලයට අයත් රටවල් හයෙන් එකක්වත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් නෙමෙයි.
ඇමරිකන් ඩොලරය හා ගැට ගසා ඇති මුදල් ඒකකයක වටිනාකම තීරණය වන්නේ ඇමරිකන් ඩොලරයක වටිනාකම මතයි. ඒ නිසාම, එවැනි මුදල් ඒකකයක් ඇති රටක උද්ධමනය වන්නේද ආසන්න වශයෙන් ඇමරිකාවේ පවතින උද්ධමනයයි.
මැදපෙරදිග රටවල් ගණනාවක් විසින්ම තමන්ගේ ජාතික මුදල් ඒකකය ඇමරිකන් ඩොලරය හා ගැට ගසා තිබීම අහම්බයක් නෙමෙයි. මේ රටවල් වල ප්‍රධාන ආදායම් මාර්ගය ඉන්ධන අපනයනයයි. කාලයක් තිස්සේම ඉන්ධන මිල දී ගත් ප්‍රධානම ගැනුම්කරු ඇමරිකාවයි. අනෙක් අතට ඉන්ධන අපනයනය කර ලැබෙන මුදල් ආයෝජනය කළ හැකිව තිබුණු සුරක්ෂිතම මුදල් ඒකකය ඇමරිකන් ඩොලරයයි.
ඇමරිකාවට ඉන්ධන ආනයනය කර උපයන ඇමරිකන් ඩොලර් පහසුවෙන්ම වෙනත් රටවලදී ගනුදෙනු සඳහා භාවිතා කළ හැකි වූවාක් මෙන්ම ආයෝජනය කිරීමටද හැකි වුනා. තමන්ගේ මුදල් ඒකක ඇමරිකන් ඩොලරය හා ගැට ගැසීමෙන් මැදපෙරදිග රටවලට තමන්ගේ මුදල් වලටද ඇමරිකන් ඩොලරයේ සුරක්ෂිතතාව ආදේශ කර ගත හැකි වුනා. ඒ නිසා මේ රටවල් වෙනත් රටවලට තෙල් අපනයනය කරද්දීද ඇමරිකන් ඩොලර් වලින්ම මිල කර ඇමරිකන් ඩොලර් එකතු කර ගැනීමට පෙළඹුණා. ඉන්ධන මිල ඇමරිකන් ඩොලර් වලින් තීරණය වීම නිසා ඇති වන මිල ස්ථායීතාවය ඇමරිකාවටද වාසියක් වුනා. ඒ නිසා, මේ ක්‍රමය කාලයක් පැවතුණා.
කොහොම වුනත් දැන් මේ සමීකරණය වෙනස් වෙලා. ඇමරිකාව තවදුරටත් ඉන්ධන ආනයනකරුවෙක් නෙමෙයි. දැන් ලෝකයේ ලොකුම ඉන්ධන ආනයනකරු චීනයයි. ඒ නිසාම, ඉන්ධන මිල ස්ථායීව තබා ගැනීමේ උවමනාව වැඩිපුරම තියෙන්නේ චීනයටයි. නැවතත් ඉන්ධන වලින් ස්වයංපෝෂිතව සිටින ඇමරිකාවට තවදුරටත් මැදපෙරදිග තෙල් අවශ්‍ය නැහැ.
අනෙක් අතට, ඉන්ධන වෙනුවෙන් මුදල් ගෙවීමේදී එසේ ගෙවන මුදල් ඒකකය තීරණය කිරීමට ඇමරිකාවට තිබුණු හැකියාව තවදුරටත් අදාළ නැහැ. කලකට පෙර ඇමරිකාව සතු වූ හෙට්ටු කිරීමේ හැකියාව දැන් චීනය සතුව තිබෙනවා. ඒ නිසා, චීනයට පෙට්‍රෝ ඩොලර් සමඟ තරඟයට පෙට්‍රෝ යුවාන් දැමිය හැකි අවකාශයක් හැදී තිබෙනවා.
~ ඉකොනොමැට්ටා
RN