සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): “මේ සමාජයෙන් තමුන්නාන්සේලාට ලබාදෙන්න පුළුවන් දේ දී තිබෙනවා. තමුන්නාන්සේලා උසස් අධ්‍යාපනය ලබාගෙන ඇවිත් කරුණා කර තමුන්නාන්සේලාගෙන් සමාජයට ඉටුවිය යුතු සේවය ඉෂ්ට කරන්න” – ලලිත් ඇතුලත්මුදලි
ලලිත් ඇතුලත්මුදලි මහතා යනු මෙරට ඉතිහාසය තුළ මහා මෙහෙවරක් ඉටු කළ ඇමැතිවරයකු ලෙස සඳහන් කළ හැකිය. ඔහු උසස් අධ්‍යාපනය වෙනුවෙන් ඉටුකළ ප්‍රමුඛ මෙහෙය වන්නේ මහපොළ ශිෂ්‍යත්ව අරමුදල පිහිටුවීමට මූලිකත්වය ගෙන ක්‍රියා කිරීමය. 1993 අප්‍රේල් මස 23 වන දින සාහසික වෙඩි පහරකින් ඔහු මිය ගොස් වසර තිහක් ගත වුවද ඔහු ආරම්භ කළ මහපොළ ශිෂ්‍යත්ව වැඩපිළිවෙළ නිසා ප්‍රතිලාභ ලබා රටට කීර්තිය සහ සේවයක් ඉටුකළ පිරිස අතිමහත්ය.
හිටපු අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතා විසින් මහපොළ භාරකාර අරමුදල ආරම්භ කරන ලද්දේ උසස් අධ්‍යාපනය සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන ආර්ථික අපහසුතා තිබෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට ශිෂ්‍යත්ව දීමටය. ඒ අනුව මහපොළ සරසවි ශිෂ්‍යත්ව ක්‍රමය, පාසල් අධ්‍යාපනය හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය සමඟ බද්ධ කර අත්‍යාවශ්‍ය පහසුකම්වලින් පෝෂණය කරමින්ද සරසවි අධ්‍යාපනයේ නියුතු අනාගතය භාර දරුවන්ගේ ඉදිරි ගමනට රුකුලක් වශයෙන් ද හඳුන්වා දෙන ලදි. මෙලෙස එතුමා සරසවි සිසුවකු ලෙස අධ්‍යාපනයේ යෙදෙන විට තමන් විඳි ආර්ථික දුෂ්කරතා සිහියට නඟාගෙන මහපොළ ශිෂ්‍යත්ව ක්‍රමය ඇති කළ බව සඳහන් කිරීම නිවැරැදිය. 1981 වසරේ ඔක්තෝබර් මස 6 වෙනි දින මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාරකාර අරමුදල් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ලලිත් ඇතුලත්මුදලි මහතා පාර්ලිමේන්තුව අමතා කතාවක් කළේය. එහිදී මෙම ක්‍රමයේ අරමුණු සහ ඉලක්ක පිළිබඳව පැහැදිලි කළේය.
අගමැති එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක
“1958දී ඇතැම් කරුණු නිසා මගේ අධ්‍යාපනය ගෙන යන්නට මට මුදල් අවශ්‍ය වුණා. ඒ අවස්ථාවේදී අගමැති වශයෙන් සිටියේ දිවංගත එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමායි. අධ්‍යාපන ඇමැති වශයෙන් එදා සිටියේ ආචාර්ය ඩබ්. දහනායක මැතිතුමායි. ඒ අවස්ථාවේ අගමැතිතුමන්ගෙන් නව ශිෂ්‍යත්වයක් වන රෝඩ්ස් ශිෂ්‍යත්වය සඳහා තරග කරන්නට අවස්ථාව දෙන ලෙස මම ඉල්ලා සිටියා. නමුත් අගමැතිතුමා මට කෙළින්ම කිව්වා, තමුන්නාන්සේට රෝඩ්ස් ශිෂ්‍යත්වය ලබා ගන්නට ඉඩ දෙන්නේ නැහැ කියා. එතුමා සාධාරණ හේතුවක් උඩයි මට එහෙම කිව්වේ. එතුමා මට කිව්වා තමුන්නාන්සේ මේක ඉල්ලුවොත් තමුන්නාන්සේට මේක ලැබෙයි. නමුත් තමුන්නාන්සේ පිටරට ගිහින් යම් යම් අත්දැකීම් ලබාගෙන පැමිණි කෙනෙක්. මම උත්සාහ කරන්නේ තවත් කෙනෙකුට පිටරට ගිහින් තමුන්නාන්සේ ලබා ගෙන තිබෙන ඒ පළපුරුද්ද, ඒ අත්දැකීම් හා ඒ අධ්‍යාපනය ලබා ගන්නට අවස්ථාව දීමට යැයි කිව්වා.
එතුමා ඊළඟට මට කිව්වා, මම මේ රටේ අගමැති හැටියට සිටින තාක් තමුන්නාන්සේ අධ්‍යාපනයෙන් දැන් පෙන්වා තිබෙන දක්ෂතාව කෙටි කරන්න මම වැඩ කරන්නේ නැත. තමුන්නාන්සේගේ උසස් අධ්‍යාපනය සම්පූර්ණ කරන්න තමුන්නාන්සේට ශිෂ්‍යත්වයක් පිරිනමනවාය කියා. මට ඒ ශිෂ්‍යත්වය දෙන වෙලාවේදී බණ්ඩාරනායක මැතිතුමා කළ ප්‍රකාශයක් මම කියන්න ඕනෑ. එතුමා කිව්වා, තමුන්නාන්සේ ආපසු මව් රටට ඇවිත් තමුන්නාන්සේට පුළුවන් සේවයක් රටට කරන්නය කියා. එපමණයි, එතුමා මගෙන් ඉල්ලුවේ. මේ අවස්ථාවේදී මම ප්‍රසිද්ධියේ එතුමාටත්, එතුමාගේ කැබිනට් මණ්ඩලයටත්, හිටපු අධ්‍යාපන ඇමැති ආචාර්ය දහනායක මැතිතුමාටත් මගේ අවංක ස්තූතිය පුද කරන්න කැමතියි.
මේ ශිෂ්‍යත්වලාභින්ට පණිවුඩයක් දෙනවා නම් ඒ පණිවුඩය මේකයි. “මේ සමාජයෙන් තමුන්නාන්සේලාට ලබාදෙන්න පුළුවන් දේ දී තිබෙනවා. තමුන්නාන්සේලා උසස් අධ්‍යාපනය ලබාගෙන ඇවිත් කරුණා කර තමුන්නාන්සේලාගෙන් සමාජයට ඉටුවිය යුතු සේවය ඉෂ්ට කරන්න” කියන එකයි.
ශිෂ්‍ය ප්‍රජාවට සිදුවන සේවය
එතැන් සිට ලලිත් ඇතුලත්මුදලි මහතා මෙම මහපොළ සංකල්පය ප්‍රවර්ධනය සඳහා දිවයින පුරා විවිධ ආකාරයේ අධ්‍යාපන ප්‍රදර්ශන සහ උත්සව පවත්වමින් මහපොළ අරමුදල සඳහා විශාල කාර්ය භාරයක් ඉටුකළේය. මහපොළ ශිෂ්‍යත්ව වැඩපිළිවෙළ අරඹමින් ලලිත් ඇතුලත්මුදලි මහතා තම වැඩපිළිවෙළ මඟින් රටේ අනාගතය භාර ගැනීමට සිටින ශිෂ්‍ය ප්‍රජාවට සිදුවන සේවය මෙසේ පෙන්වා දුන්නේය.
“තමුන්නාන්සේලා විශ්වවිද්‍යාලයට ඇතුල් වී සිටින්නේ සමාජයෙන් තමුන් වෙත ඉටුවූ විශේෂ වගකීමක් ඇතිව. සමාජය එය ඉටුකර තිබෙන්නේ මේ පිරිස කෙරෙහි විශාල බලාපොරොත්තුවක් ඇතිවයි. සමාජයේ ප්‍රාර්ථනාව රටේ අනාගතයට මේ අයගෙන් විශිෂ්ට සේවයක් වනු ඇතැයි කියලයි. අද ශිෂ්‍යත්ව ලැබීම සමඟම තමුන්නාන්සේලාට වරප්‍රසාදයක් ලැබෙනවා. නමුත් එම වරප්‍රසාදය තුළ විශාල වගකීමක් තිබෙනවා. තමුන්නාන්සේලාගෙන් එය ඉටුවිය යුතු බව මේ අවස්ථාවේදී ම මතක් කරන්නට කැමතියි. එය ඉටු කරන්න නම් තමුන් අධ්‍යාපනය ලබද්දී තමුන්ගේ ඉගෙනීමත්, දැනුමත්, මනසේ දියුණුවත් එක්තරා ආකාරයකට යොමුවිය යුතුයි.
ලලිත් ඇතුලත්මුදලි මහතා හුදු දේශපාලනඥයකු නොව රටේ අනාගතය දෙස දුර දිග විමසා බලා වැඩ කරනු ලබන රාජ්‍යතාන්ත්‍රිකයකු සහ වියතකු බව ඔහුගේ මහපොළ ප්‍රදානය කිරීමේ උත්සවලදී සිදු කළ දේශනවලදී තහවුරු වේ.
මහපොළ ශිෂ්‍යත්ව වැඩසටහන දෙවන අවස්ථාවේදී ඇතුලත්මුදලි මහතා සඳහන් කළේ මෙවැනි අදහසකි. ඔහුගේ එම අදහස අනුව ගත් කල දේශනය තුළ සඳහන් කළේ මෙම වැඩපිළිවෙළ මඟින් සිසුන්ට පුද්ගලිකවද රටට පොදුවේද විශාල මෙහෙවරක් ඉටුවන බවයි.
“අප මේ ශිෂ්‍යත්ව වරප්‍රසාදය ලබන්නේ අපේ ප්‍රයෝජනයට පමණක්ම නොවෙයි. අපට එය ලැබෙන්නේ අපේ දියුණුව වගේම රටෙත් සමාජයේත් දියුණුවට යයි කියා අපි මතක් කර ගත යුතුයි. අධ්‍යාපනය කියන එක පෞද්ගලිකව අපිට අවශ්‍යයි. ඒ වගේම එය මුළු සමාජයටත් අවශ්‍යයි. අපි උගත්කම ලබන්නේ ඇත්ත වශයෙන්ම මුළු සමාජයට භාරකාරත්වයක් උසුලන්නයි. තම උපාධියක් ලබාගන්නේ තමාගේ ප්‍රයෝජනයට පමණක් යැයි කියා කවුරුන් හෝ ආත්මාර්ථකාමී ලෙස කල්පනා කළහොත් ඔහු ලබාගන්නා අධ්‍යාපනයෙන් හෝ ශිෂ්‍යත්වයෙන් හෝ උපරිම ප්‍රයෝජනයක් ලබාගන්නට හැකිවේ යැයි මා හිතන්නේ නෑ. එහෙම වුණොත් වෙන්නේ ඔහු විශ්වවිද්‍යාලයට ඇතුළුවීම හා පිටවීමක් පමණයි.”
ඉගෙනුමෙන් පසුව ලැබෙන බලය සහ තනතුරු පිළිබඳවද ඔහු විශේෂ ලෙස සඳහන් කර තිබේ.
“අපට බලය ලැබෙන්නේ, යම්කිසි කෙෙනකුට වත්කමක් ලැබෙන්නේ, තව කෙෙනකුට ඥානය ලැබෙන්නේ, තව කෙනෙකුට තනතුරක් ලැබෙන්නේ, කිසියම් භාරකාරත්වයක් උසුලන්නයි. නැතිව සදාකාලයටම නෙවෙයි. හරියට අර “රිලේ රේස්” එක වගෙයි එක්කෙනෙක් “බැටන්” එක අරන් දුව ගිහින් තව කෙනෙකුට දෙනවා. එයා එක අරන් දුවලා තව කෙනෙකුට දෙනවා. ඒක භාරකාරත්වයක්. ටික දුරක් මේක අරගෙන ගිහින් තව කෙනෙකුට භාර දෙන එක. එහෙනම් අපි හැම දෙයක්ම භාර ගන්න ඕනෑ තමන්ට පැවරුන තාවකාලික භාරකාරත්වයක් ලෙසටයි.
නිහතමානී වීම
දැන් මේ භාරකාරත්වය උසුලන්නේ කොහොමද? ආකල්පයෙන් විතරක් නොවෙයි, හැසිරීමෙන් පමණක්ම නොවෙයි, සිත් තුළ අවබෝධයෙනුත් නිහතමානී විය යුතුයි. ඒක පාඩමක්. ඒ කියන්නේ, මම කොච්චර ඉගෙන ගත්තත්, මම කවදාවත් හැම දෙයක්ම දැන ගන්නේ නෑ කියන එකයි. අධ්‍යාපනය කරන් යනවයි කියන එක හොඳ වැදගත් පාරක් වුණත් ඒක නිමක් නැති පාරක්. අන්තිම මොහොතේ උනත් එය ඉගෙන ගත යුතුයි. එහෙනම් අපි කොච්චර උගත් වුණත්, අපි හැම දේම දන්නේ නැත්නම් අපි වෙනත් අය ගැන කල්පනා කරන්නේ කොහොමද? ඒක තමයි දෙවෙනි කාරණය. අපි කොච්චර උගත්ද කියලා විතරක් හිතන්න එපා. එයා දුප්පත්, එයා දන්නේ මේ ගැන, එයා නූගතෙක්, එයා මේ ගැන දන්නේ නෑ, එයා වෙනත් ජාතිකයෙක්, ඒක නිසා එයා මේ ගැන දන්නේ නෑ, එයා වෙනත් ආගමක නිසා එයා මේ ගැන දන්නේ නෑ, එයා වෙන පක්ෂයක, එනිසා එයා ඒක දැන ගන්න විදියක් නැහැ. “මම තමයි හරි” කියන යටි හිත වැඩ කරන්නට ඉඩ දෙන්න එපා. ඇතැම් වෙලාවට තමා හරි වෙන්න පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට තමුන් වැරදි වෙන්න පුළුවන්. කොච්චර උසස් කෙනෙක් වුණත් එයා දැන ගන්නට ඕනේ හැමදාම ඔවුන් හරි හෝ ඔවුන් කියන දේ ඇත්ත වෙන්නේ නැහැ කියන එක. අපි මහන්සි වෙන්න ඕනේ හරි වෙන්න. අපි මහන්සි වෙන්න ඕනේ හැම විටම ඇත්ත සොයාගන්න. පිළිගන්න. ඒ අනුව ක්‍රියා කරන්න. හැමෝම දැන ගන්න ඕනේ, කවරදාකවත්, ඇත්ත, සත්‍ය, නිවරැදිකම ගැන ලෝකයේ ඒකාධිකාරයක් නැති බව. එහෙම නම් අපි නිහතමානීව දැනගන්න ඕනේ, තරගයකදී තමන්ව පරද්දපු අයගෙනුත් විරුද්ධවාදියා ගෙනුත් තමුන්ට වඩා හොඳ අදහස් අනාගතයේදී එන්න පුළුවන් බව. තමුන්ගේ ජාතියේ, ආගමේ නොවන කෙනෙක්, පවුලේ නොවන කෙනෙක් නැතිනම් වෙනත් ඕනෑම කෙනෙකුගේ, තමාට වැඩි වටිනා අදහසක් ප්‍රකාශ වෙන්න පුළුවන්. එහෙනම් අපි සත්‍ය දිහා බලන්න ඕනේ “කවුද හරි කියන විදියට නොවෙයි – මොකද්ද හරි” ලෙසයි.
විනය සහ හික්මීම
විශ්වවිද්‍යාල පද්ධතිය තුළ විනය ආරක්ෂා කිරීම සහ විනයවත් බවක් ඇති කිරීම ගැනද ලලිත් ඇතුලත්මුදලි මහතාගේ දේශනවල නිතර අවධානය යොමු කළේය.
විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයිනට කල්පනා කිරීමේ නිදහස සම්පූර්ණයෙන්ම තියෙන්නට ඕනේ. ඒ නිදහසින් අලුත් සිතුවිලි බැබළේවා කියා මා ප්‍රාර්ථනා කරනවා. නමුත් ඒ සිතුවිලි රට හදන සිතුවිලි විය යුතුයි. එසේ නැතිව ඒ සිතුවිලි සමාජයේ දියුණුව අත්හිටුවන ඒවා නොවිය යුතුයි. නිදහසේ හිතන්න, නිදහසේ කල්පනා කරන්න.
නිදහසේ ලියන්න, නිදහසේ සංවිධානය වන්න, නීති විරෝධී වැඩ කරන්න අවශ්‍ය වන්නේ නැහැ. නිදහස කියන්නේ කඩාකප්පල්කාරී වචනයක් නොවේ. නිදහස කියන්නේ රටක් දියුණු කරන වචනයක්. රටක් ප්‍රබෝධවත් කරන වචනයක්. හොඳට පාවිච්චි කරන්න ඕනේ වචනයක්. ඒක තමයි තමුන්ගේ සිත්වල රඳවාගන්න තියෙන්නේ. දුක් කම්කටොලු තියෙන්න පුළුවන්. මේ රටේ නොයෙක් අර්බුද තියෙන්න පුළුවන්. ඒවා අපි වැඩි කර ගන්න අවශ්‍ය නැහැ. නිදහස කියන්නේ සමාජය හදන එක. නිදහස පාවිච්චි කරන්න, විනය ශක්තිමත් විය යුතුයි. විශ්වවිද්‍යාලයක් තුළ විනය පාසලක විනය තරම් වෙන්න ඕනේ. විශ්වවිද්‍යාලය කිව්වහම හැමෝම ගරු කරන තැනක් විය යුතුයි. මේ රටෙන් ආදරයක් ගෞරවයක් ලබාගන්නට පුළුවන් විශ්වවිද්‍යාල තරුණ පරපුරක් බිහි කරන්නයි අපි මහපොළ හඳුන්වා දුන්නේ. රටක් නැති කරන, පුද්ගලයන් නැති කරන, මරණ භය ඇති කරන ක්‍රියා මාර්ගයන්ට යෙදෙන්න නෙවෙයි.
සියල්ලන් සමානයි
ලෝකයේ රටවල් දියුණු වෙලා තියෙන්නේ ටික දෙනෙකුට සීමාවී තිබුණ වරප්‍රසාද, අයිතිවාසිකම් සන්තෝෂය වැඩිදෙනකු අතරට ගෙන ගියා නම් පමණයි.
එහෙමනම් ශ්‍රී ලංකාව අපි සියලුදෙනාට අයිතියි. ජාති, ආගම්, පක්ෂ, පන්ති භේදයකින් තොරව අපි සැමට අයිතිය තියෙනවා.
අපි ඔක්කොම මෙරටේ ජිවත් වෙනවා. කාටවත් කොටස් වෙලා, කොටු වෙලා වෙන් වෙලා ඉන්න බැහැ. අපි මහපොළ තුළින් මේ සමාජයේ මේ ආර්ථිකයේ ඇතිවන ප්‍රතිඵල සැමදෙන අතරට බෙදිය හැකි ක්‍රමයක් ඇති කරනවා. ඒකයි මහපොළ, දුප්පත්කම විරෝධී කියන්නේ. දර්ශනයෙන් පොතපතින් කියන විරෝධයක් නොවෙයි. මහපොළ ශිෂ්‍යත්ව කියන එක දාර්ශනික පොත්වල ලියවිලා නැහැ. ජාත්‍යන්තර නිර්දේශවල නැහැ. මේ ලංකා පොළවේ මතුවූ සිතිවිල්ලක් පමණයි. මහපොළ අදහස නම් හැමෝටම තැනක්, හැමෝටම නම්බුවක්, හැමෝගෙම අධිෂ්ඨානයක් සැමට ලබා දීමයි.
(1985 මහපොළ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේදී)
හිංසාවෙන් කිසිදා අරමුණු ජයගත නොහැකියි
තරුණ පරපුරට අලුත් අදහස් තියෙනවා. මේ යොවුන් වියේ පසුවෙන ඔබ සියල්ලන් දිස් වන්නේ, සමාජය අලංකාර කරන්නට පිපෙන ලස්සන මල් වගේ. ඔබේ නැවුම් සිතිවිලි නිකම් පැත්තකට දමන්න බැහැ. මේ ලංකාවේ අනාගතයත්, ප්‍රගතියත් ගොඩනැඟෙන්නේ ඔබ අලුත් දේවල් ගැන කල්පනා කරන තරමටයි. ජීවිතයේ තරුණ වියේදී නොයෙකුත් අලුත් අදහස් ඇති කර ගැනීම ස්වභාවිකයි. තර්කයන් වුණහම සාමාන්‍යයෙන් වැඩිහිටියන් කල්පනා නොකරන අලුත් දේවල් ගැන හිතනවා. සමහරවිට වැඩිහිටියන්,නොසලකා හැරී හෝ ක්‍රියාත්මක නොකර අත්හැරදැමූ ඒවා තමුන්ට ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන් යැයි සිතෙන ඒවා විය හැකියි. කොහොම වුණත් ඒවිදියට සිතීම ම වැඩදායකයි.
නින්දා ප්‍රශංසා නොසැලෙන මිනිසා
අධ්‍යාපනයේ ගමන, නිමක් නැති ගමනක්. හැම අවස්ථාවකදීම, දැන ගන්න, ඉගෙන ගන්න යමක් තිබෙනවා.
උසස් අධ්‍යාපනයක් ලැබුණත්, හැම දෙයක් ගැනම ඉගෙන ගත්තත්, දැන ගන්න ඕනේ හැම දෙයක්ම දන්නවා කියල හිතාගෙන විවේක ගන්න එපා. උගත්කම කියන්නේ හැම මොහොතකම තව කෙනෙකුගෙන්, පොත පතකින්, යම් අලුත් දෙයක් ඉගෙන ගන්න තිබෙන කැමැත්ත. මේ ඉගෙනීමෙන් ප්‍රයෝජනය ගන්න ආත්මශක්තියක් තියෙන්න ඕනේ.
උගත්කම ලැබෙන්නේ පොත පතින් පමණක් නොවෙයි, ඒ ආකාරයෙන් උගත්කම ලැබූ විට ඒවා යහපත් ලෙස ප්‍රායෝගිකව පාවිච්චි කරන්න ආත්මශක්තිය දියුණු කරගන්න අවශ්‍යයි හැම වෙලාවේම, මනස විවෘතව තබාගන්න ඕනේ…
(1990 බණ්ඩාරගම මහපොළ සංවත්සරයේදී)
ඇතුලත්මුදලි මහතා මියගොස් මෙම අප්‍රේල් 23 දාට වසර 30ක් සපිරේ. මෙම ලිපිය එතුමා විසින් ආරම්භ කළ මහපොළ ශිෂ්‍යත්ව අරමුදල මූලික කර ගනිමින් සම්පාදනය වූවකි.