“බණ්ඩයියා යන්නැද්ද පෙළපාලි?”
නිමලෙ අහපි.
“ඕවගෙ යන්ඩ ඇඟේ හත්තියක් නෑ බං.ඒ වුණාට මගෙ යුතුකොම කොළා”
“ඒ කොහොම ද?”
“උකුණෙකුගෙ පස්ස පැත්ත වගේ පීදිච්චි ගොයං ගස් ටිකක් යැව්වා.”
“මාත් යැව්වා කජු ලෙලි වගේ හැදිච්ච බඩ ඉරිඟු අහුරක්”
ගමේ ඇත්තො කුසිකරුම ඇමතිටයි තව කාටදයි සාප කොරමින් ඉදිරියට ඇදෙනව.මයික් අරං ආපු උදවිය වයසක උන්දලාගෙං පුරස්න අහනව.
“ඕකුන්ට හෙණ හත ම වැදියං.මකබෑවිලා පලයන්”
ඔහොම තමයි උන්දලා කියන්නෙ.
“ඉතිම් මක බෑවෙයිද?”
“එව්වා කියන්ඩ බෑ.ඔහොම කියන උන්දලත් මකබෑවෙන්ඩ ඉඩ තියනවා.තත්තෙ එච්චර හොඳ නෑ.”
පෙළපාලිය ඇදිලා ගියාට පස්සෙ ගොයංඔලට,බඩඉරිඟුවලට වෙලා තියන නස්පැත්තිය කතා වෙන්ඩ පටං ගත්තා.
“දැං ඔය වගාවන්ට අර කාබනික දියර අරවා මෙව්වා දාලා තියෙද්දිත් ඔහොම වකුටු උණේ කොහොමද?”
“මට නං හිතෙන්නෙම ආණ්ඩුව අපහසුතාවෙට පත් කොරන්ඩ විපක්සෙං කොළා වෙන්ඩ බැරිද?”
“මොකද්ද?”
“කුඹුරුවලට බැහැලා ගොයම්ගස් බඩඉරිඟු ගස් නොමග යවන එක.”
“පොහොර උරාගන්ඩ එපා කියල ද?”
“ඔව්වොව්”
“විපක්සෙ මේ දවස්සොල මහපාරේ.ඔව්වා කොරන්ඩ වෙලාවක් නෑ.”
“හෙනං මොකද්ද වෙන්ඩ ඇත්තෙ.?”
“මේ දවස්සොල ගහකොළ වුණත් විශ්වාස කොරන්ඩ බෑ.රට බේරාගත් උත්තමයන්ට කෙළවන්ඩ හිතාගන ගස් හිතන්ඩ ඇති අපි කාබනික පොහොර වර්ජනය කරමු කියලා”
“දෙයියෝ සාක්කි!මටත් හිතෙනවා වෙලාවකට.”
“මේ දවස්සොල කුඹුරක් මැද්දෙං ප්‍රාඩෝ එකක් මොන්ටෙරෝ එකක් හරි යනකොට ගොයම් ගස් අහක බලන හැටි දැක්කම ඔහොම හිතන එක සාදාරණයි”
“ඒ කියන්නෙ ආණ්ඩුව අපහසුතාවට පත්කොරන බලවේගවලට ගොයම් ගසුත්,පැපොල් ගසුත් එකතු වෙලා”
“ඔව්වොව් ඒකයි දියර පොහොර උරාගන්නැතුව වකුටු වෙලා ඉන්නෙ.”
“හැබැයි ඊ ළඟ කන්නෙදි එහෙම ඉන්ඩ හම්බුවෙන්නෑ.”
“ඒ මොකද?”
“දියර පොහොර ගහන්ඩ ආරක්සක අංසවලට බාර දෙනවලු.”
“දෙයියෝ සාක්කි!
“දෙයියෝ නෙවෙයි සාක්කි “
හප්පච්චියෙ ඒක අහලා මගෙ ඇඟේ මයිල් කෙළින් වුණා.ගොයං ගස්ඔලටත් ඒක ම වෙලා ඇති”