*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

“ආයෙ මේරෙ වතන් කී ලෝගෝ” සමග “ලතා ජී” ඉන්දියාව පවතින තුරු ජීවත් වේවි …

ලතා මංගේෂ්කාර් ගයන ලද ගීත අතරින් ඉන්දියානුවන් අති විශාල ප්‍රමාණයකගේ ප්‍රියතම ගීයක් තියෙනවා….. ඒ ගීය තමයි ඇයගේ ගීත අතරින් මගෙත් ප්‍රියතම ගීතය….ඒකෙ අර්ථ රසය සමඟ තනුව, ශ්‍රැතිය සහ ලතා මංගේෂ්කාර් එය ගයන හඬ යන මේ සියළු කරුණු එකතු උනාම, එම ගීය ශ්‍රවණය කර අවසන් වනවිට ඇස් වලට කඳුළක් එක් නොවන ඉන්දියානුවන් ඉතාම හිඟයි….

අද අපි ඒ ගීයේ පසුබිම විමසා බලමු…. මම හිතනවා අද තමයි ඒ ගැන ලියන්න හොඳම දවස කියලා….

1962 වසර හරි වැදගත් වසරක්….චීනය සහ ඉන්දියාව යුද්දයකට යනවා….හේතුව නැගෙනහිර ඉන්දු – චීන බෝඩරයේ “අක්ෂායි ෂින්” නම් ප්‍රදේශය ගැන ඇතිවෙච්ච මතභේදය….ඉන්දියාව කියනවා අක්ෂායි ෂින් ප්‍රදේශය අයත් විය යුත්තේ ඉන්දියාවේ “ලඩාක්” කියන යූනියන් ටෙරිටරි හෙවත් ඒකාබද්ධ කළාපයට කියලා…..චීනය කියනවා ඒක අයිති වෙන්න ඕන චීනයේ ෂියැන්ජින් ප්‍රාන්තයට කියලා….

මෙන්න මේ යුද්දයෙන් චීනය ජයග්‍රහණය කරනවා….චීනය ලක්ෂ දෙකක හමුදාවක් ෆීල්ඩ් මාෂල් ලියු බොෂින් සහ ජෙනරල් ෂන් ගොහුවා යටතේ එවලා, අක්ෂායි ෂින් ප්‍රදේශයේ හිටපු ඉන්දියන් “හයි ග්‍රවුන්ඩ් මාෂල්ස්” නම් බළකායට දුවන්න ගැහුවා…..දකුණු ආසියාතිකර කළාපයේ අයියා වගේ හිටපු ඉන්දියාවට මේ සිද්ධිය නිසා වුනේ ඉතාම දරුණු අපහාසයක්…..කොටින්ම චීනය ඉන්දියානු හමුදාවන් පසු බස්සාගෙන බෙංගාලි ප්‍රාන්තයේ සීමාවත් පහු කරා…..

ඔන්න ඔය තමයි, නූතන ඉන්දු – චීන එදිරිවාදිකම් වල සංකේතාත්මක මූලාරම්භය….

මේ පරාජයත් සමඟ මුළු ඉන්දියාවේම ජන මනස දරුණු ලෙස කඩා වැටුණා….ඒ වෙනකොට ඉන්දියාව නැමති මේ අපූරු රාජ්‍යය බිහිවෙලා අවුරුදු 15 යි….ඉන්දියාව ජනරජයක් වෙලා අවුරුදු 12 යි…. රාජ්‍යය අලුත් උනත්, ශිෂ්ඨාචාර ඉතාම මහළුයි…. ඒ මහළු ශිෂ්ඨාචාර වල හදවත්, තමන් සතුරෙකු ලෙස සළකන චීනය හමුවේ ලත් මේ පරාජයෙන් ඉතාම දරුණු විදියට දෙදරුම් කෑව….. මේ යුද්දයෙන් ඉන්දීය සෙබළුන් 6,000 කට අධික පිරිසකට ජීවිත අහිමිවුනා…. එමෙන්ම තරුණ ඉන්දියාවට සිය භූමියෙනුත් කොටසක් අහිමිවුනා….ඒ කොටස සුළු කොටසක් උනත්, මර්මද රණකාමී ශිෂ්ඨාචාර වලින් පැවත එන මරාති, ගුජරාති, ශික්, ගුර්ක ජනයාට ඒකෙන් උන අපහාසය සුලුපටු නැහැ…..

අග්‍රාමාත්‍ය පණ්ඩිත් ජවහල්ලාල් නේරු මේ පරාජයත් සමඟ ජනතාව අතර දැඩි ලෙස අප්‍රසාදයට ලක්වුනා…..ඒ වගේම සිය ත්‍රිවිධ හමුදාවල ඉහළ නිලධාරීන් දුටු තැන අපහාස කරන තැනට ජනතාව පත්වුනා….ඉන්දියාව ක්‍රිකට් තරඟයක් පරාජය උනාම, එරට ක්‍රීඩා ලෝලීන් සිය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට කරන්නේ මොනවාදැයි ඔබ දන්නවා…. එහෙනම් චීනය හමුවේ යුද්දයක් පරාජය වූ පසුව එරට ජනයා කෙසේ හැසිරෙන්න ඇතිදැයි සිතාගන්න පිළිවන්….

මේ තත්වය දරුණුවටම දක්නට ලැබුණේ මරාති ජනයා බහුලව වෙසෙන මහාරාෂ්ඨ්‍ර ප්‍රාන්තයේ…..නැගෙනහිර දේශ සීමාවේ සේවයට ගිය හමුදා සාමාජිකයන් යළි එනවිට ඔවුන්ගේ ඇතැම් මරාති පියවරුන් සහ බිරින්දෑවරුන් මිදුල් වලට කෙළ ගසා, දොරවල් වසාගත්තා…..ගමෙන් ලැබෙන අපහාස උපහාස ඉවසා ගන්න බැරුව සෙබළු හතළිහක් පමණ විවිධ ක්‍රම වලින් සිය දිවි හානි කරගත්තා…..

කොටින්ම යුද්දයේ පරාජයට වගකිව යුත්තේ “මොවුන්ය, මොවුන්ය” කියමින් ඉන්දියාවේ ජාතීන් එකිනෙකාට ඇඟිලි දිගු කරගත්තා…..යුද්දය නිමා කර නැවත පියවර කිහිපයක් ආපස්සට යන ගමන් චීන යුද නායක ජෙනරාල් ෂන් ගොහුවා කිව්වෙ “අපේ ක්ෂමාව යටතේ කල්කටාව ඉන්දියාව සතුව පවතිනු ඇත” ( Culcutta will be with India at our mercy ) කියලා… මේ ප්‍රකාශයට ඉන්දීය ලෝක් සබාවේදී ශ්‍රී නේරුට ඉතාම දරුණු වාග් ප්‍රහාර වලට මුහුණ දෙන්න සිදුවුනා….

තත්වය මෙසේ වෙද්දි ඉන්දියාවේ බිහිවුණු විශිෂ්ඨ කවියෙක් සහ ගීත රචකයෙක් වූ “රාමචන්ද්‍ර නාරායන්ජී ද්විවේදී ” හෙවත් “කවී ප්‍රදීප්” යනුවෙන් ප්‍රකට ප්‍රාඥයා දවසක් මහාරාෂ්ඨ්‍ර ප්‍රාන්තයේ, මුම්බායි ( එවකට බොම්බාය ) නගරයේ “මහීමා” වෙරළ දිගේ ඇවිදගෙන යනකොට ඔහු දුටුවා කුඩා දරුවන් දෙදෙනෙකු වැලි මාලිගාවක් සාදා, ඉන්දීය ධජයක් එහි මුදුනේ සිටුවන ආකාරය, සහ වැඩිහිටියන් තිදෙනෙක් ඒ දෙස බලා සිටින ආකාරය…

ඔහුගේ හිතට ලස්සන වචන ටිකක් ඒ වෙලාවෙ ආවා…..” අහෝ මගේ රට වැසියනි !” … මේ වචන ටික හින්දියෙන්

“ආයෙ මේරෙ වතන් කී ලෝගෝ “

එතැන් සිට ඔහුගේ හිතට වේගයෙන් මේ ගීයේ ඉතිරි පදවැල් ගලා එන්න පටන් ගත්තා…ඒ එන පදවැල් ලියාගන්නට කිසිවක් ඔහු සතුව නොතිබූ නිසා, වෙරළේ ඇවිදිමින් සිටි පුද්ගලයෙකුගෙන් පැන්සලක් ඉල්ලාගත් හෙතෙම, ඔහුගේ සාක්කුවේ තිබූ සිගරැට් පැකට්ටුවක ඊයම් කොළයක් උපුටාගෙන, එය අනිත් පැත්ත හරවා ඔහුට සරස්වතිය විසින් දෙමින් සිටි මේ වදන් පෙළ ලියන්න පටන් ගත්තා….( මම ඒ වදන් පෙළින් කොටසක් සිංහලට පරිවර්තනය කරලා ලියනවා ඔබ වෙනුවෙන් )

“ආයෙ මේරෙ වතන් කී ලෝගෝ – තුම් කූබ් ලගා නෝ නාරා “

“අහෝ මාගේ රටවැසියනි ! නුඹලා අපේ මව් බිමට පැසසුම් ගයව් !
මේ ශුභෝත්තම දිනයේ, අපෙ ත්‍රිවර්ණ ධජය ගුවනේ ලෙලවව් !
එහෙත් අපගේ දේශ මායිමේ දිවි දුන් විරුවන් අමතක නොකළ මැන
නිවසට නොපැමිණියෝ සිහි කළ මැන “
අහෝ මා රට වැසියනි ! කඳුළු කැට කිහිපයක් දුන මැන !
පරම පිදුම කළවුන් මතකයෙන් අත් නොහළ මැන
මෙපුවත අසනු, උන් කිසිදාක මතකයෙන් නොයන ලෙස

බිලි පූජාව දුන් විරුවන් ඔවුන් වෙති ( ජෝ ෂාහිද් හුවේ හේ උන්කී – සරා යාද් කරෝ “කුර්බානි ” – මේ “ෂාහිද්” නම් වදන ඉන්දියාවට පැමිණියේ මෝගල් අධිරාජ්‍යය සමඟ වන අතර, අද එය මුස්ලිම් ලෝකයේද සුලබව වීරත්වය හැඟවීමට භාවිතා වේ… නිදසුනක් : පලස්තීන විමුක්ති සංවිධාන වල මිය යන අය “ෂාහිද් වරුන් ” ලෙස හඳුන්වති….නමුත් එම වදන අරාබි බසෙහි ජන්මය ලැබුවේ “සාක්ෂිකරුවා” යන අරුත ඇතිවය…. )

මහා හිමව් පව්ව ( හිමාලය ) සිදුරුවැ, අපේ නිදහස අනතුරේ වැටුණු දා
( ජබ් ගයාල් හුවා හිමාලේ, කත්‍රෙ මේන් පාදී ආසාදී )
උන් ඔවුන්ගේ අවසන් සුසුම තෙක්, යුදවැදී කය බිම හෙලූවෝය
බයිනේත්තු මත හිස සතපවා, අමර විරුවෝ සදා නින්දට ගියෝය
එසේ හෙයින් අමතක නොකළ මැන, මේ යාගය

මේ ගීය බොහොම දිගයි….නමුත් ඒකෙ වැදගත්ම පද තමා මේ

“සීක ( ශික් ජනයා ) වෙති ඇතැමුන්, ජාත් ද මරාතිද, ඇතැම් වෙති ගුර්කා, ඇතැම් වූවෝ මද්‍රාසි
එහෙත් මායිම් මතෙහි මියගිය ඔවුන් සැම වෙති ඉන්දියානුවෝ
ඒ ගිරි ශිඛරයෙන් පහළට ගලා ආවේ ඉන්දු ලේ වැල්
ඉදින් මෙපුවත නො-අත්හළ මැන, එවන් විරුවන් උදෙසා

යන මොහොත ලං වූ විට, ඔවුන් කීවෝ “අපි නික්මෙමු “
“සොයුරු වැසියනි, තුටින් ඉනු මැන ! අප යන්නෙමු ඊළඟ නවාතැනට “
තමා සතු අවසන් දෙයත් දුන් ඔවුන්ගෙන් දුටුවා නම් ප්‍රේමය
ඉදිර්න් මෙපුවත නො-අත්හළ මැන, එවන් විරුවන් උදෙසා”

මේ ගීය ලියා අවසානයේදී කවි ප්‍රදීප් එය “රාමචන්ද්‍ර නහා චිත්තෝල්කාර්” හෙවත් “සී. රාමචන්ද්‍ර” නම් සුවිශිෂ්ඨ සංගීතඥයාට දී, තනුවක් දමාගෙන, සංගීතය අධ්‍යක්ෂණය කරගත්තා….

කවි ප්‍රදීප් සහ සී රාමචන්ද්‍ර යන දෙදෙනා ඊළඟට බැලුවේ කවුරු ලවාද මෙය කියවන්නෙ කියලා….රාමචන්ද්‍ර කිව්වෙ මේක පිරිමි කටහඬකින් කියවිය යුතු නිසා ඉන්දියාවේ බිහිවූ විශිෂ්ඨතම ගායකයෙකු වන මොහොමඩ් රාෆිට මෙය බාරදිය යුතු බව….නමුත් ප්‍රදීප්ගේ අදහස උනේ සියළු දෙනා කඩා වැටී, මනසින් බිඳ වැටී සිටින මෙවැනි වෙහෙසකර මොහොතක “මවකගේ හඬින්” එය ගැයෙන්නේ නම්, එයින් මුළු දේශයේම සිත් නිවන ශාන්තියක් උදාවන බව….පුතුන්ට වෙහෙසකදී තම මවගේ කටහඬ තරම් දිව ඔසුවක් තවත් නැතැයි කියමින් හෙතෙම මේ ගීය සඳහා මුලින්ම ලතා මංගේෂ්කාර් සහ ආශා බෝස්ලේ යන ගායිකාවන් දෙදෙනා තෝරාගත්තා….නමුත් මේ ගීයේ පෙරහුරුවලදී සියළු දෙනාට පෙනී ගියේ, මෙහි හද්‍යාලංකාරයට යුක්තිය ඉටු කළ හැක්කේ “ලතා මංගේෂ්කාර්” ගී රැජිණට පමණක් බවයි…..ආශා මේ ගීය ගැයීමෙන් ඉවත් වූ අතර,
1963 වසරේ ජනවාරි 26, ඉන්දීය ජනරජ දින සැමරුමේදී, නව දිල්ලියේ එවකට “රාමිලා මයිදාන්” ලෙස හැඳින්වූ “ජාතික ක්‍රීඩාංගණයේදී”, එවකට ඉන්දීය ජනාධිපති සර්වපාලි රාදක්‍රිෂ්ණන් මහතා සහ අග්‍රාමාත්‍ය ජවහල්ලාල් නේරු යන දෙපළ ඉදිරියේ 150 ක පමණ වාද්‍ය වෘන්දයක් පෙරටු කරගෙන ලතා මංගේෂ්කාර්ගේ තියුණු උස් හඬින් සමස්ථ ඉන්දියාවටම මේ ගීයේ පදවැල් ගලා ගියා…..

මේ ගීය අවසන් වෙන්නෙ “ජය හින්ද්, ජය හින්ද කි සේනා” ( ඉන්දියාවට ජය, ඉන්දියානු හමුදාවන්ට ජය ) කියාගෙන….ගීයේ මුල් වර ගැයුම අවසන් වෙද්දි කියැවුණු මේ පද ටික කෙතරම් කම්පනයක් එය අසාගන්නට රැස්ව සිටි අයට දැන්නුවාදැයි කීවොත්, හමුදා ප්‍රධානීන් පවා ඉකි ගසමින් හැඬූ බව කියනවා….

ගීය අසා අවසානයේදී දෑසින් ගළන කඳුළු සහිතව නැගී සිටි නේරු අගමැතිවරයා, “මෙය අසා කඳුළු නොගලන හදවත හින්දුස්ථානි හදවතක් විය නොහැකියි” කිව්වා….

ගීතය ලැව් ගින්නක් සේ රටපුරා යන්න පටන් ගත්තා…. “වන්දේ මාතරම්”, “සාරේ ජහාන් සේ අච්චා”, “කදම් කදම් බදායේ ජා” වැනි ඉන්දීය දේශාභිමානී ගීත වලින් වත් හිත සනසා ගන්න බැරුව හිටපු ජනතාව මෙය අසා හිස එසෙව්වා….යුද්දයෙන් තුවාල ලද සෙබළුන්ට සත්කාර කරන්න, මුදල් හදල් දෙන්න, වගේම මියගිය සෙබළුන්ගේ පවුල් වල අයට බොහොම සත්කාර කරන්න ලක්ෂ ගණනින් මිනිස්සු ඉදිරිපත් වුනා….

වැටුණු ජාතියක් නැගිට්ටවපු ඒ ගීතය, පහත පළමු කමෙන්ටුවේ තියෙනවා…. ඔබත් ශ්‍රවණය කරන්න….ඒක ඇත්තටම විශ්මයජනක නිර්මාණයක්…..2012 වසරේ ලන්ඩනයේදී නූතන ඉන්දීය ගී කෝකිලාවිය වන “ශ්‍රෙයා ගෝෂාල්” මේ ගීය ගායනා කරලා, වේදිකාවෙන් බැහැලා ගිහින් මාධ්‍යය හමුවේ කිව්වෙ “අවුරුදු පනහකට කළින් සිදුවුනු යුද්දයක මියගිය අය වෙනුවෙන් තරුණියක් හැටියට මට දැන් ඇඬුනා මේක කියද්දි….ඒත් වැඩිපුරම ඇඬුනේ මට ඒ ගීයට සාධාරණයක් කරන්න බැරි වීම ගැන….

මොකද එදත්, අදත්, සදා කාලයටත් මේ ගීය ඉල්ලා සිටින්නේ “ලතා ජී” ගේ හඬ …. මට සමාවෙන්න ලතා ජී…. මට ඒ කිට්ටුවටවත් එය ඔසවන්න බැරිවුනා” කියලා….

ඉතින් “ලතා ජී” ඉන්දියාව පවතින තුරු ජීවත් වේවි…..මොකද “ආයෙ මේරෙ වතන් කී ලෝගෝ ” ඉල්ලන්නෙම ලතා ජීගේ හඬ…..

  • දමිත් කේතක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan