සටහන: නිෂ්මං රණසිංහ
කොළඹ (LNW): “ලංකාවේ සෞඛ්‍ය කේෂ්ත්‍රයේ ප්‍රතිකාර ගන්න යන්න යන ලෙඩා රජා වෙන ක්‍රමයක් නෙමෙයි තියෙන්නෙ. හැබැයි හැම දේම හැදිලා තියෙන්නෙ ලෙඩාව සුවපත් කරන්න.නමුත් රජා වෙන්නෙ වෙදා.”
සෞඛ්‍ය කේෂ්ත්‍රය පත් වී ඇති අවාසනාවන්ත තත්ත්වය සම්බන්ධයෙන් අප කරන ලද විමසීමකදී මේ ආකාරයට අදහස් දැක් වූවේ කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනයි.
“රෝගියාට මේ තත්ත්වය අවම කරගන්න සහ ඊට අභියෝග කරන්න පුළුවන්.ඔහුට අඩුම ගණනෙ තමන්ට විඳින බෙහෙතෙ කල් ඉකුත්වීමේ දිනය,නිෂ්පාදිත රට,සමාගම වගෙ දේවල් අහලා දැනගන්න අයිතියක් තියෙනවා.එතකොට ප්‍රසිද්ධ අර්බූදකාරී සමාගමකනම් රෝගියාට ඒක ප්‍රතික්ෂේප කරන්න පුළුවන්.තමන්ට කරන ප්‍රතිකාරයේ ප්‍රතිකාර සඳහා ලබාදෙන ඖෂධයෙ තත්ත්වය ගැන තොරතුරු දැනගන්න ඕනි රෝගියා.එහෙම තත්ත්වයකට යන්න සමාජය මීට වඩා අවබෝධයෙන් ඉන්න ඕනි.ජනතාව දැනුවත් කරලා ඒ අයගෙ බලපෑම ගේන එකත් වැදගත්.මිනිස්සු දන්නෙ නැහැ අපිට විසඳගන්න පුළුවන් කියලා සෞඛ්‍ය කේෂ්ත්‍රයේ බමුණු කුලයක් විදිහට හැසිරිලා මේ ප්‍රශ්නය විසඳගන්න අමාරුයි.”
වෛද්‍ය බෙල්ලන පවසන ඒ කාරණය අතිශයින් වැදගත් වන්නේ මේ ප්‍රශ්නයට මුහුණ දීම සඳහා රෝගියාට නැතිනම් ජනතාවට මැදිහත්විය හැකි කරුණු නොකියා සෞඛය අමාත්‍යංශයේ ඖෂධ මිලදී ගැනීමේ අංශයේ සහ ඖෂධ නියාමන අධිකාරියේ ගැටළු සෞඛ්‍ය අංශයම විසඳීමට සටන් කිරීම හරහාය.
“දැන් අවශ්‍යය මොහොත ආසන්න කරලා ඖෂධ මිලදී ගන්න ගියහම තමයි ගැටළුව එන්නෙ.එතකොට හදිසි මිලදී ගැනීමකට යනවා.ඒ කම්පැණි හරහා.නමුත් හදිසි මිලදී ගැනීම්වලට යන්න තව ක්‍රම තියෙනවා.ලෝකය පිළිගත්ත යූඑන් එකේ ප්‍රතිපත්ති එක්ක ඒ ආයතනවල මැදිහත්වීම ඇතිව,එහෙම නැත්නම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත් වීම ඇතුව මේ දේ කරන්න පුළුවන්.එහෙම වුණානම් ඒ ආයතන මිලදී ගැනීමක් නිසා වෙන අර්බූදයකදි මැදිහත් වෙලා වගකීම ගන්නවා.වින්දිතයට සාධාරණයක් කරන්න මැදිහත් වෙනවා.දැන් කම්පැණි මොනවත් කරන්නෙ නැහැ.ඒව වහන්න කරන කතාවලින් කරන්නෙ මිලදී ගැනීමේදී වෙච්චි වෙනත් ගණු දෙනු වහ ගැනීම”
වෛද්‍ය බෙල්ලන සෘජුව මේ මිලදී ගැනීම් අවශ්‍යය මොහොත පමා කර හදිසි මිලදී ගැනීම් දක්වා යන ක්‍රියාමාර්ගය පිටුපස ඇත්තේ අල්ලස හා දූෂණය බව පවසයි. ඒවාට ආශිර්වාද කරන අමාත්‍යවරයා ගැන ද සැක සිතීම සාධාරණ බව වෛද්‍ය බෙල්ලන පෙන්වා දෙයි.
ඇත්තටම රටේ වෛද්‍යවරුන්ට වැඩිය වැඩි ප්‍රතිකාර ලබන ලෙඩ්ඩුය.එයින් පැහැදිළි වන්නේ ප්‍රතිකාර කරන අයට වඩා ප්‍රතිකාර ලබන අය මහජන නියෝජිතයන් පත් කිරීමට මැදිහත්වන බවය. එසේනම් බහුතරය දිනා බලයට පැමිණ බහුතරය නොසළකා කටයුතු කිරීම මහජන නියෝජිතයෙකුට නුසුදුස්ය. මේ ප්‍රශ්නය හමුවේ අමාත්‍යවරයාගේ හැසිරිම නුසුදුසු පමණක් නොව හිරිකිතය. අඩුම තරමේ මිලදී ගැනීම්වලට වගකිව යුතු පිරිස සොයා හිත් හදන්න කරන පුටු මාරුවක්වත් නොකරන අමාත්‍යවරයා කරන්නේ ඒ බමුණුකුලය සමඟ එක්ව පීඩාවට පත් වී සිටින මහජනතාවට විහිළු කිරීමය.ඔවුන් සමග එකට සිට මාධ්‍ය ඉදිරියේ පෙනී සිටීමින් ජනතාවට මරණය කැඳවන පරිසරයේ නිර්මාතෘන් කුණු අතුල්ලා පිරිසිදු කිරිමය. එවැනි තත්ත්වයක වෛද්‍ය බෙල්ලන පවසන ආකාරයේ සැකයක් නූපදිනම් ඔහු ද වහාම ප්‍රතිකාර ගත යුතු මට්ටමට මනස කුරුවල් වූ අයෙක් විය යුතුය.
“මේ මිලදී ගැනීම් ඉක්මන් මිලදී ගැනීම් දක්වා යන්න පසුබිමක් තියෙනවා.ඒ ලියාපදිංචි ක්‍රමවේදය සහ ඖෂධ මිලදී ගැනීම දක්වා යන ක්‍රමවේදය විශාල කාලයක් ගතවෙන ආකාරයට සකසා තිබීම නිසයි.එ නිසා අල්ලස් සහ දූෂණ අවශ්‍යයතා ඇති අය මේ ක්‍රමවේදය වෙනස් කරන්න හිතන්නෙ නැහැ.ඒ නිසා ප්‍රමාද කිරීමෙන් හදිසි මිලදී ගැනීම් සඳහා අවශ්‍යයතා මේ ක්‍රමය නිර්මාණය කරනවා. ඒ හරහා තමයි මේ රෝගී ජීවිත ගැන වගකීමක් නැති ඖෂධ මිලදී ගැනීම් වෙන්නෙ. මේ දීර්ඝ කාලයක් ගතවෙන ලියාපදිංචි කරන සහ මිලදී ගැනීම සඳහා යන ක්‍රමය අඩු කරන්න පුළුවන්නම් දින කිිහිපයකින් සියල්ල කර ගත හැකි මට්ටමට හදිසි මිලදී ගැනීම් කරන්න අවශ්‍යය වෙන්නෙ නැහැ.”
වෛද්‍ය බෙල්ලන පෙන්වා දෙන්නේ හදිසි මිලදී ගැනීම් අනවශ්‍යය වෙන ආකාරයට ඉක්මණින් මිලදී ගැනීම් සිදු කළ හැකි ආකාරයට මිලදී ගැනීමේ ක්‍රමවේදය සකසන ලෙසය.ඔහු පවසන්නේ එහිදී සනාත කිරීමට අවශ්‍යය ජාත්‍යන්තර ප්‍රමිතිය ගැන අදාළ කාරණා තාක්ෂණික දියුණුවත් සමඟ ඉතා ඉක්මණින් වැරදි ද නිවැරදිද යන්න ද සහතික කර ගත හැකි බවය.
“මේ තත්ත්වය ගැන මිනිස්සු දැනුවත් කරන්න ඕනි.ඒක තමයි වැදගත්. තමන්ට වෛද්‍යවරයා කරන ප්‍රතිකාරය ගැන ප්‍රශ්න කරන තැනට මිනිස්සු ගේනවා වගේම ප්‍රශ්න කළ යුත්තේ ඇයි කියන තැනට මිනිස්සු දැනුවත් කරන්න ඕනි. වෛද්‍ය කේෂ්ත්‍රය පමණක් මෙහි ගැඹුර දැනගෙන ඒ ගැන කතා නිරීමෙන් නොනැවතී වෛද්‍ය කේෂ්ත්‍රය ප්‍රශ්න කළ හැකි රෝගියෙක් හැදුවොත් ඔවුන් ගෙන එන පීඩනය කේෂ්ත්‍රය ඇතුළේ සිදුවන කථිකාවට වඩා බලවත් වෙයි.”
වෛද්‍ය බෙල්ලන පවසන්නේ තමන් මෙන්ම තම වෛද්‍ය සංගමයද ඉදිරියේදී රෝගියා ලැබෙන ප්‍රතිකාරය ගැන විමසා දැන ගැනීමට ඇති අයිතිය වෙනුවෙන් සමාජය පොළඹවාලන වැඩ පිළිවෙලක් ගැන කල්පනා කරන බවය.
