ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයන් පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් ඊයේ (7) පාර්ලිමේන්තුවේ දී පැවැත්වී තිබේ.
මෙහි දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වත්මන් රජය විසින් ඇති කර ගත් ගිවිසුම සම්බන්ධයෙන් ද දෙපාර්ශ්වය අතර දිර්ඝ වශයෙන් සාකච්ඡා විය.
මෙහි දී ශ්‍රී ලංකාව, අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ එළඹ ඇති ගිවිසුමේ ප්‍රගතිය සම්බන්ධයෙන් සහ රජය විසින් කඩිනමින් සම්පූර්ණ කළ යුතු කාර්යයන් සම්බන්ධයෙන් මුඛ්‍ය වශයෙන් අවධානය යොමු කළ අතර රජය විසින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවල දී සියලු ණය හිමියන්ට සාධාරණ ලෙස සැලකීම සහ අවදානම් කණ්ඩායම් වෙත විශේෂ අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අයි. එම්. එෆ්. නියෝජිතවරුන්ට පෙන්වා දෙන ලදී.
තව ද තිරසර ආර්ථික යහපැවැත්මක් උදෙසා කෙටිකාලීන ආර්ථික දර්ශකවල ප්‍රගතිය මෙන් ම අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වාර්තාව මඟින් පෙන්වා දී ඇති නීතියේ සාධාරණත්වය සහ යහපාලන මූලධර්ම සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු කර කටයුතු කිරීමේ අවශ්‍යතාවය මෙන්ම ඉදිරි සතිය තුළ ආරම්භ කෙරෙන අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විශේෂ නියෝජිත කණ්ඩායමේ සංචාරයේ දී, මෙරට ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සහ වර්ධනය කිරීම සඳහා ගනු ලබන ක්‍රමවේද සම්බන්ධයෙන් රජයේ පාර්ශවයන් සහ විපක්ෂ කණ්ඩායම් අතර සාකච්ඡා පවත්වනු ඇති බවද මෙහිදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරමින් ලක්ෂ්මන් කිරිඇල්ල, එරාන් වික්‍රමරත්න, මහාචාර්ය ජී. ඇල්. පීරිස්, නාලක ගොඩහේවා සහ කබීර් හෂීම් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් එක්ව සිටි අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට නේවාසික නියෝජිත ආචාර්ය සර්වත් ජහාන් සහ ආර්ථීක විශ්ලේෂකයකු මෙන් ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට නිත්‍ය නේවාසික නියෝජිතයකු වූ මානවී අබේවික්‍රම මහත්මිය ද එක්ව සිටියා.
RN
