කොළඹ LNW:මෙරට සෞඛ්‍ය අර්බුදය විසඳීම සඳහා අවංක මුදලට යට නොවෙන විශේෂඥතාවය සහිත පුද්ගල පිරිසකගෙන් යුතු කණ්ඩායමක් නම් කළ යුතු බවත් ඔවුන් යොදාගනිමින් ඖෂධ පිළිබඳ යම්කිසි ආකාරයක කළමනාකරණ විගණනයක් සිදුකලයුතු බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.
ඒ, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වසභංග විවාදයේ අදහස් දක්වමිනි.
විශේෂයෙන්ම 2020 පසු සෞඛ්‍ය සේවයේ අලුත් අර්බුදයක් හටගත් අතර එය වෘත්තීය මට්ටම ඉක්මවා ගොස් සෞඛ්‍ය සේවය පාලනය වීමට පටන් ගත් බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.
කොවිඩ් උවදුර පැමිණි අවස්ථාවේ විශේෂඥ භාවයෙන් යුතු මිනිස්සු මඟ හැර සෞඛ්‍ය සේවය ආරක්ෂක අංශවලට පැවරුණ ආකාරය පෙනෙනට් තිබුණු බාද හෙතෙම ප්‍රකාශ කළේය. .
”මේක අද මේ රට බංකොලොත් භාවයට පත් වුණාට පස්සේ දරු පරපුර ඇතුළු, දුගී දුප්පත් ජනතාව අතිශයින්ම අනුවේදනීය ආකාරයට මුහුණ දීලා තිබෙන බරපතල ගැටළුවක්. මොකද මේ රට පසුගිය සියවසක පමණ කාලය තුළ, විශේෂයෙන්ම 1952 ආරම්භ වූ නිදහස් සෞඛ්‍ය සේවය කියන සංකල්පය මත අපට පුළුවන් වුණා මේ රට, සෞඛ්‍ය දර්ශක වලින් පළමු පන්තියේ රටක් බවට පරිවර්තනය කරන්න. අපේ රටේ ආයුකාලයත්, සෞඛ්‍ය දර්ශකත්, ඇමරිකා එක්සත් ජනපදයේ තත්වයට සමානයි. ඉතින් ඒ ශක්තිය ලබාගත්තේ නිදහස් සෞඛ්‍ය සේවයත්, අද වෙනකොට පෞද්ගලික අංශයේ මැදිහත්වීමකුත් එක්ක. නමුත් අපි දන්නවා මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කාලයක ඉඳන් පැවතිච්ච ක්‍රියාවලියක් තමයි ඖෂධ මාෆියාව නමින් හදිසි මිලදී ගැනීම් හරහා යම් යම් ඖෂධ ඒ නිසි මිල ගණන් වලට වඩා, නිසි ප්‍රමිතීන්ට අනුකූල නොවන ආකාරයෙන් මිලදී ගත්තාය කියන චෝදනාව. විශේෂයෙන්ම 2020 පස්සේ සෞඛ්‍ය සේවයේ අලුත් අර්බුදයක් හටගත්තා. ඒක තමයි වෘත්තීය මට්ටම ඉක්මවා ගිහිල්ලා සෞඛ්‍ය සේවය පාලනය වෙන්න පටන් ගත්තා. කොවිඩ් උවදුර ආපු වෙලාවේ තිබූ විශේෂඥ භාවයෙන් යුතු මිනිස්සු මග ඇරලා සෞඛ්‍ය සේවය ආරක්ෂක අංශවලට පැවරුනා. ඒ වගේම වෙනත් ආකාරයක ඔය ධම්මික පැණිය පැණි මුට්ටි හෙලීම වැනි කාරණා හරහා මේ දැවැන්ත ජාත්‍යන්තර වසංගතය අමතක කරලා කටයුතු කරන්න සිද්ධ වුණා. කවදාහරි දවසක නිසි පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. කීදෙනෙක් මේකෙන් මිය ගියාද? කියලා. මොකද සංඛ්‍යාලේඛන හැදුවේ බුද්ධි අංශ ප්‍රධානියා. බුද්ධි අංශ ප්‍රධානියාගේ ඕනකමට මියගිය ගාන ප්‍රකාශ කරන තත්ත්වයට අවසානයේ අපි පත්වුණා. ඒ විදිහට දත්ත, සංඛ්‍යාලේඛන යටපත් කළා. ඉතාම වැදගත් වෛද්‍යවරු සේවය කරපු, NMRA ආයතනය තමයි ප්‍රමිතිය සහ නියාමනය තීරණය කරන්නේ. ඒ ආයතනයේ හිටපු වැදගත් මිනිස්සු ඉවත් කරලා දාලා, තමන්ගේ ක්‍රියාවලියට අවශ්‍ය මිනිස්සු යොදා ගැනීමේ අර්බුදය අපිට දකින්න ලැබුණා.
කෝප් ආයතනයට SPC එක ගෙන්නුවා. ඒ අවස්ථාවෙත් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ඉන්දියානු ණය, ඒ කියන්නේ ගිය අවුරුද්දේ ඔක්තෝම්බර් මාසේ. ප්‍රමාණවත් මුදල් සෞඛ්‍ය සේවයට සපයලා තිබුණා. ඩොලර් මිලියන 340 අධික මුදලක් ඒ වෙනකොට සෞඛ්‍ය සේවයට ලැබිලා තිබුණා. මොකද ඒ වෙලාවේ ඩොලර් හිඟයක් තිබුණා. නමුත් සෞඛ්‍ය සේවය මොකද කළේ? ඒවායේ තියෙන ටෙන්ඩර් පටිපාටි වල දුෂ්කරතා පෙන්වමින් නැවත වතාවක් රජයේ මුදල් වියදම් කරලා අර හදිසි මිලදී ගැනීම් තත්වයට හෝ ඒ වගේම ටෙන්ඩර් පටිපාටි මගහැරලා යන තත්වයට ගමන් කළා. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි අද ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීම ඒ වගේම උපකරණ නඩත්තු කරගන්න නොහැකි වීම, වෛද්‍ය වෘත්තිකයන් රට හැර යාම, ආදී ගැටළු තුනකට රට අද මුහුණ දීලා තියෙන්නේ.
රටක් බංකොලොත් වී තිබියදී මිනිස්සු ආහාරවලින්, ඖෂධ, බලශක්තියෙන් ගසා කනවා නම්, ඇත්තටම ඒ රටේ අනුවේදනීය තත්වය තවත් උග්‍ර වෙන බවට කිසිදු සැකයක් නොමැති බවයි රණවක මහතා පැවසුවේ.
”දැන් අපට යෝජනාවක් අවශ්‍යයයි. ගිය ඔක්තෝම්බර් මාසයේ අපේ ආර්ථික ස්ථායිකරණ කමිටුව යටතේ අපි ඉදිරිපත් කළා. විශේෂඥ වෛද්‍යවරු, ඖෂධ විශේෂඥයෝ ඇවිල්ලා අපිට පෙන්වලා දුන්නා මේ ඖෂධ වලින්10% – 12% අතර ප්‍රමාණයකට තමයි වියදමින් 70% ක් වැයවෙන්නේ. ඒ වගේම මේ ගෙන්වන ඖෂධ 15,000 න් 5000 ක් පමණ අපට නොගෙන්වා ඉන්න පුළුවන්. ඒක මේ අපේ ඕනකමට දෙතුන් දෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ පිළිබඳ අවංක මුදලට යට නොවෙන විශේෂඥතාවය සහිත පුද්ගල පිරිසකගෙන් යුතු කණ්ඩායමක් නම් කරලා රටට අත්‍යවශ්‍ය, ඖෂධ පිළිබඳ යම්කිසි ආකාරයක කළමනාකරණ විගණනයක් කරලා අවශ්‍යම ඖෂධ තෝරාගත යුතු වෙනවා. ඒ වගේම වෙනත් ඖෂධ එනවනම්, ඒක පාලනය කිරීමේ අයිතියත් ඒ අයටම ලබා දිය යුතු වෙනවා. ඊළඟට මේ රට තුළ ඖෂධ නිෂ්පාදනය ඉතාම සීමා සහිත තත්ත්වෙක තියෙන්නේ. 12% – 15% පමණ. අපේ රට තුළ මේ ඖෂධ වලින් 1/3 පමණ නිපදවීමේ හැකියාව තියෙනවා. ඒ පිළිබඳ කර්මාන්ත අපේ රට තුළ දියුණු කළ යුතුව තිබෙනවා. අන්න ඒ පැත්ත ගැන අවධානය යොමු කරා නම් මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අද වියදම් වෙන මුදලින් 35% ක් ඉතිරිකර ගත හැකිව තියෙනවා. තවද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යන්ත්‍ර බොහොමයක් අඩපණයි. අපි සෑම මාසෙකම වගේ අපි දානයක් දෙනවා මහරගම අපේක්ෂා රෝහලට. අපිට වාර්තා වුණා එතනට ගියහම යන්ත්‍ර අඩපණ වීම නිසා අද රෝගී තත්වය අවබෝධ කරගන්න බෑ කියලා. ඒ නිසා ස්වභාවයෙන්ම මරණය කරා යන ගමනක් තියෙන්නේ. මොකද සෑම එකකටම රුපියල් 64,000 ක් යනවා. යන්ත්‍ර නඩත්තු කිරීම, පවත්වාගෙන යාමේ ගැටලුවක් තියෙනවා. මේ රටේ ඉංජිනේරු පීඨ කීයක් තියෙනවද? තාක්ෂණ පීඨ කීයක් තියෙනවද?. මේ තාක්ෂණයන් මහා විශාල රොකට් තාක්ෂණයක් නෙමෙයි. චන්ද්‍රයාන් හදන ඒවා නෙමෙයි මේ. මේවා අපි විශ්ව විද්‍යාලයේ ඉන්න කාලෙත්, දැන් ඉන්න අයටත් පහසුවෙන් කරන්න පුළුවන් දෙයක්. ඒ නිසා රට තුළට මේ උපකරණ ගෙන්වීමේදීත් මේ උපකරණ නඩත්තුවෙදිත් යම් යම් ගිවිසුම් වලට එළඹිලා තිබුනත් මේ හදිසි තත්වය මත පදනම් කරගෙන මේ උපකරණ නඩත්තුව පිළිබඳ වැඩපිළිවෙලක් දේශීය වශයෙන් අත්‍යවශ්‍ය වෙනවා. විශේෂඥ වෛද්‍යවරයෙක් හදාගන්න අපිට විශාල මහන්සියක් වෙන්න වෙලා තියෙනවා. විශාල මුදලක් වැය කරන්න වෙලා තියෙනවා. අද ඉංජිනේරුවෝ, කළමනාකාරයෝ යනවා.
රටෙන් යන්න පුළුවන් හැම මිනිහම යනවා. මේ රට මිනිස් කාන්තාරයක් බවට පත්වෙමින් තියෙන්නේ. ඒ නිසා මේ විශේෂඥ වෛද්‍යවරු ඇතුළු හෙද, සේවාවන්ට විශ්වාසයක් අවශ්‍යයයි. යුක්තියක් අවශ්‍යයයි. ඔවුන් ලෑස්තියි බදු ගෙවන්න. හැබැයි කොහොමද මේ බදු මුදල වැයවෙන්නේ කියන එක දැනගන්න ඒගොල්ලන්ට අවශ්‍යයයි. පුද්ගලික අංශයේ භාණ්ඩාගාර බැඳුම්කර බිල්පත්වල ආයෝජනය කරලා තියෙන අය 46%, 60%, දැවැන්ත ලාභාංශ අත්පත් කරගෙන තියෙනවා. එක මිනිහෙකුට අත තියලා නැහැ. අත තියලා තියෙන්නේ කාටද? ශ්‍රී ලංකා මහ බැංකුවටයි අර EPF – ETF කට්ටියටයි. මේ සමාජ යුක්තිය ඉටුවෙන ක්‍රියාදාමයකින් තොරව විශේෂඥ වෛද්‍යවරු හා හෙද සේවාවන් රටෙන් යාම අපට වළක්වන්න බෑ.” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.
ASK