නදීක දයා බණ්ඩාර – මහනුවර
ගං වතුර හා නාය අවදානම් ගෙන දෙමින් ප්‍රදේශ ගණනාවකට මහ වැසි ගෙන දුන්න ද මධ්‍යම කදුකරයේ විශාලතම ජල විදුලි උත්පාදන ජලාශය වන වික්ටෝරියා ජලාශයේ ජල පෝෂක කලාපයට මේ දක්වා ප්‍රමාණවත් වැසි ලැබී නොමැත.
මේ හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ පවතින ජල ධාරිතාව උපරිම ජල ධාරිතාවයෙන් සියයට 30ක මට්ටමේ පවතී. මෙගා වොට් 210ක විදුලි උත්පාදනය කළ හැකි ටර්බයින් තුනකින් සමන්විත වික්ටෝරියා ජලාශයේ ජලය මේ වන විට විදුලි උත්පාදනය කිරීමට යොදා ගන්නා බැවින් ද එහි ජල ධාරිතාව අවම මට්ටමක පවතී.
කෘෂිකාර්මික රටක් බැවින් මෙරට කෘෂි කර්මාන්තයට අවශ්‍ය ජලය ගබඩා කරගැනීම, ජල විදුලිය උත්පාදනය, ජල පරිභෝජනය, මිරිදිය ධීවර කර්මාන්තය සහ ගං වතුර පාලනය යන අරමුණූ වෙනුවෙන් මෙම ජලාශය ඉදි කරන ලද්දේ ජේ.ආර්.ජයවර්ධන පාලන සමයේදිය.
දෙවක් ආරුක්කු හැඩයකින් යුක්ත මෙම වේල්ල මීටර් 122ක උසින් යුක්ත අතර මීටර් 520ක දිගින් යුක්තය. ජලාශය තුළ කියුබික් ජල මීටර් මිලියන 721.2ක උපරිම ජල ධාරිතායක් ගබඩා කළ හැකිවේ. නමුත් මෙම ජලාශය ආශ්‍රිතව ප්‍රමාණවත් වැසි නොලැබීමෙන් මේ වන විට ගබඩා වී ඇති ජල ප්‍රමාණය කියුබික් ඝන මීටර් මිලියන 208.8කි. එනම් එය සමස්ථ ජල ධාරිතාවයෙන් 30.4%කි.
ජල ධාරිතාව පහළ මට්ටමක පැවතීම නිසා වික්ටෝරියා ජලාශය ඉදි කිරීමේදී ජලයෙන් යටවූ පැරණි තෙල්දෙණිය නගරයේ ඉතිරිවූ ඇතැම් කොටස් මේ වන විට දැක බලා ගැනීමේ හැකියාව ද උදාවී තිබේ.