අවමඟුල් මඟුල් කිරීම සඳහා කුලියට ගන්නා කණ්ඩායම්වල සංතෝශය කියවා ගැනීම

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ ( LNW ): දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් දක්ෂතා විශාල අර්බූදයකට ලක්ව ඇති බව පිළිගත යුතුම ඇත්තකි.මේ කණ්ඩායම 96 ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කළ කණ්ඩායමට වඩා පිළිවෙලට සැකසි,ඕනෑම මොහොතක ඉතා ඉහළ දස්කම් දක්වන ආදේශක සහිතව සකස් කර ඇති බව තේරීම් කමිටු සභාපති ප්‍රමෝදය වික්‍රමසිංහ ඒත්තු ගන්වන්නට හැදුව කණ්ඩායමය.
ශ්‍රී ලංකා ක්‍රිකට් මේ පසුබෑමට ප්‍රධානතම හේතුව බව විශේෂයෙන් නාමල් රාපක්ෂ ක්‍රිඩා අමාත්‍ය දූරයට පැමිණීමෙන් පසුව ටික කාලයක් ද,ඉනික්බිති රොෂාන් රණසිංහ ඇමති ධූරයට පැමිණි පසු ඔහුගේ කාර්ය මණ්ඩලය සමඟ එක් වී ද ක්‍රිකට් අසාර්ථක බව කියන්නට සෑහෙන උත්සාහයක් ගත්හ.ඔහුට උපදෙස් දෙන්නට පත් කර තිබෙන ජාතික ක්‍රීඩා සභාව වෙනුවෙන් එහි ප්‍රධානි වූ අර්ජුන රණතුංග ද ආසියානු කුසලානය දිනපු මොහොතේදීවත් එය අපූරු හෝ විශිෂ්ඨ වැඩක් කියන්න දිව නමා ගත්තේ තව බොහෝ තැන් පසු කිරීමෙන් පසුවය.



අර්ජුන ඒ මොහොතේ වක්‍රාකාරයෙන් එකතු තළ සුබ පැතුම කෙසේ වෙතත් ඉන්දියාවට පරාජය වුණ මොහොතේනම් සෘජුව කතා කළේය.ඉන්දියාව වැනි ක්‍රිකට් ප්‍රේක්ෂකයන් සිටින රටක ඔහු කළ කතාව කළේනම් ලොවම ගෞරවයෙන් කතා කරන ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සේවකයන්ට ගෙවල් දොරවල් පිටින් අහිමි වන්නට තිබිණ.ඩෑන් ප්‍රියසාද් වැනි අමුතු පාහේ දේශප්‍රේමීන් සහ සිංහල බෞද්ධ බලවේග ක්‍රිකට් ද පූජණිය කිරීමේ දේශපාලන ව්‍යාපෘතියකට හේත්තු වී තිබුණේනම් ලංකාවේ ද ක්‍රිකට්වලදී ඇවිලෙන ඉන්දියානු පන්නයේ ගිණිකෙළි දකින්නට තිබිණ.ලංකාවේ ක්‍රිකට් ඇසුරේ වාර්තාවන එකම සිදුවීම අසංක ගුරුසිංහගේ ගෙට පහර දීමය.ඒ අර්ජුන අරවින්ද නොතේරිම ගැන නොපැහැදී නායකත්වයෙන් ඉවත් වූ අවස්ථාවේ රොෂාන් මහානාමගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමක් සාජා බලා ගිය අවස්ථාවේය.එහිදී ද ඒ තත්ත්වයට හේතු වූවේ අර්ජුන නායකත්වය නොදැරීම සහ අරවින්ද ඉවත් කිරීමය.

මේ මොහොතේ අර්ජුන සමඟ කණ්ඩායමෙන් එදා ඉවත් වූ පිරිස අතර සිටි ප්‍රමෝදය තේරීම් කමිටු සභාපතිය.එදා ශාරිරික යෝග්‍යතාවය සැළකීමට විරුද්ධව කණ්ඩායමෙන් ඉවත් වූ ප්‍රමෝදය එය පළමු තැන තබා කටයුතු කළේය.එය එදාට වඩා වෙනස් ලෝකයකදී අලුත් විය යුතු වුව ද,මේ මොහොතේ එය ඒ ආකාරයෙන්ම ප්‍රතිපත්තමය වශයෙන් ක්‍රියාත්මකද යන්න තහවුරු කිරීම අපහසු වන්නේ කණ්ඩායමේ අබාධ ප්‍රමාණය බලන විටය.
දැන් මේ වරදින ක්‍රිකට් ගැන වගකීම කවුරු භාර ගන්න මේ සියලුම කරුණු අදාළය.ඒ සියල්ල අදාළ කරගෙන මේ කඩා වැටීමට හේතුව කවරේද යන්න සෙවීම අපි මුල සිට කළ යුතු නොවේද?ශ්‍රී ලංකා ක්‍රිකට් ඊට පිළිතුරු දිය යුතුය.එය අවිවාදිතය.නමුත් එතැනට සියල්ල පුරවා ආපසු හැරෙන්නට ලංකාවේ ක්‍රිකට් සම්බන්ධ විද්වත් සභාවන්ට නොහැකිය.
කාලෙකට පෙර ලංකාවේ ක්‍රිකට් වෙනස් විය යුතු බව මෙන්ම ඒවායේ වටිනාකම මහේල,සංගක්කාර සහ මුරලි වැන්නන් අතට පත් විය යුතු බව කිවේය.ඒ දේවල් සිඳු විය.සනත් ජයසූරිය ද දැනටත් අමාත්‍යවරයාගේ ආනුභාවයෙන් ශ්‍රි ලංකා ක්‍රිකට් සමඟ වැඩ කිරීමේ බලයක් පැවරූ අයෙක්ය.නමුත් ඔවුන් ඒ වගකීම්වල සිටිමින්ම ජනමාධ්‍ය හරහා පවතින ව්‍යහුය ගැන දොස් දකින්නේය.නමුත් කිසිවෙක් ඒ ව්‍යහුයට ඔබේ දායකත්වය බලපාන්නේ කෙසේද යන්න අසන්නේ නැත.

එසේම මහා රැල්ලක් ලෙස ඇති වුණ මහේලලාගේ දායකත්වය මේ කණ්ඩායමට නැද්ද?ඔවුන් සකස් කළ ව්‍යහුය,ඊට දායක වූ තේරීමේ ආකෘතිය,ඒ සඳහා නායකත්වය දුන්න ප්‍රමෝදය සහ මුරලි පරසක්වල ගසමින් කියූ තාක්ෂනික කාරණා සහ තවත් අය මේ තරගාවලිය පෙනි පෙනී කියූ කෙරූ දේ ද මේ වන විට ශ්‍රි ලංකා ක්‍රිකට් නියෝජනයෙන් බැහැර කර වරදකරුවා ශ්‍රී ලංකා ක්‍රිකට් පමණක් කිරීම හරි මදි වගේ නැද්ද?
මාධ්‍ය පැත්තෙන් ගත් විට භානුක රාජපක්ෂ රැල්ලට අපි ද දායක වුණෙමු.ඒ රැල්ලේ ඉහළටම නැංගේ එවකට ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂය.අවසානයේ දේශපාලන පිටිටනියට වැටුණු භානුක සරුංගලය ඉහළට යන්නට නූල් දීමෙන් ඒ වැඩේ අහවර නොවී භානුක විරෝධයක් මතු වුණේ,භානුක ජනමාධ්‍ය සහ ජනතාව ඇති කළ මහා රැල්ල නාමල් පාවිච්චි කරාටත් වඩා නරක හැඩයකින් දෙවියන් වහන්සේට ආසියානු කුසලානය පිටින්ම පවරා දීම නිසාය.එතැන සිට ඇත්තටම භානුකව කණ්ඩායමට ගේන්නට ඩේටා පූජා කරමින් කැප වුණ මහජන දේවත්වයේ කැළඹිල්ල මත ආයෙ කිසිම රැල්ලකින් ඉස්සීමක් නොලබාම භානුක යට ගියේය.
දැන් කණ්ඩායම මේ මොහොතේ ද කිහිප වරක්ම වෙනස් වී 15 ක සංචිතය 18 දක්වා ඉහළ ගොස් ඇත.මේ 18 ට සමාජය ඉල්ලූ කණ්ඩායමෙන් ඇතුළත්ව නැත්තේ කවුද?සමහර ජ්‍යෙෂ්ඨ ක්‍රිඩකයින් මෙන්ම ක්‍රිඩක කළමණාකාරවරු ද තමන්ට සමාජයේ විවෘත වන්නට තියෙන ඉඩ පළල භාවිතා කරමින් ඇන්ජලෝ මැතිවිස් රැල්ලක් නිර්මාණය කළ අතර ඒ අනුව මො මොහොතේ ඇන්ජලෝ ද කණ්ඩායමේය.එහෙත් ප්‍රතිපලය වෙනස් කිරීමට ඔහුට මහා දෙයක් කරන්නට නොහැකි වි ඇත.

දැන් මිනිස්සු අතරට දමා ශ්‍රි ලංකා කණ්ඩායම තේාරා දෙන්නට යැයි කවුරුන් හෝ පැවසුවහොත් එකම කණ්ඩායමක් තෝරන්නේ නැති බව සහතිකය.ඊට හේතුව දැන් තේරිම් කමිටුවටත් වඩා ක්‍රිකට්මය නොවන තත්ත්වයක පෞද්ගලික බැදීම් එක්ක අර ක්‍රීඩකයා අවශ්‍යය බව සහ මේ ක්‍රිඩකයා අවශ්‍යය බව කීමත්,සමහර විට ක්‍රීඩක කළමණාකාරවරුන්ගේ ඒජන්තයන් විසින් නිර්මාණය කරන සමාජජාලා රැලි ඉහළ නැගීම්, බහුලව සිඳුවන තත්ත්වයන් තුළ ද පරස්පරතා වැඩිවීම හැරෙන්න මේ කණ්ඩායමේ බොහෝ දෙනෙක් කණ්ඩායමේ සිටිය යුතු බව නොහැඟේද?
අද මෙවර ලෝක කුසලාන තරගයක කණ්ඩායමක් ලබා ගත් අඩුම ලකුණු ප්‍රමාණය වූ 55 ක් ලබා ගැනිමෙන් අනතුරුව මාධ්‍ය ඉදිරියේ නවිඩ් නවාස් පළ කළ අදහස් වටින්නේය.ක්‍රිඩකයින් සිටින්නේ මානසික බලපෑමක් ඇතුළේය.මාධ්‍ය ඉදිරියේ නවීඩ් පිළිගන්නා මේ කරුණ අප මිට පෙර අවස්ථා කිහිපයකදීම පවසා ඇත.විශේෂයෙන්ම සමාජය මවන රැලිවලට ක්‍රිකට්මය අනන්‍යතාවයක් වෙනුවට තමන්ගේම සඟයන් නියෝජනය කරමින් සමහර විට ඔවුන්ගේම කළමණාකරුවන් මුල් වී මවන රැලි හේතුවන බව ද ප්‍රසිද්ධ රහසක්ය.


මේ වෘත්තීය නොවන බෙලි කැපීමේ යාගයන් නඩත්තු කරන කළමනාකරුවන් ද මේ මොහොතේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රමිතියක් ඇතිව තෝරා ගත යුතුව ඇත.කළමණාකරුවෙක් යනු ක්‍රීඩකයා උපයන මුදල් පාලනය කරන සහ ඔහු කරන ඕනෑම පිස්සුවකදී ඔහු වෙනුවෙන් සමාජජාලා හරහා මතවාදී රැලි නිර්මාණය කරමින් ඕනිම ලෙඩක් දා ගනිං මං සල්ලි වියදම් කරලා බලාගන්නවා කියන මට්ටමේ කෙනෙක් නම්, එතැන ඇත්තේ අශුද්ධ ක්‍රියාවලියක්ය.ඒ අශුද්ධත්වය මේ මොහොතේ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත හමා එන ඟදක් වි ඇති අතර මේ සියල්ල පිටුපසින් මහා බලයක් සහිතව ක්‍රියාවට නැගෙද්දී සමාජය අල්ලාගෙන ඇති චිත්‍රයේ පාට වෙනස් කරන්නට ඉරි සහ හැඩ වෙනස් කරන්නට තනන්නේ වෙනම ආවේශයකින්ය.ඒ ආවේශය අදාළ නොවන බව අපේ තර්කය වන්නේ මෙය හුදෙකලා වරදක් නොවන කාගේත් සම්මාදම සහිත එකක් බව පිළි නොගන්නේනම් දසුන් වෙනුවට කුසල් ගෙනාවත් පිළිතුර එයම වූ සේ, සැප පහසු පුටු කිහිපයක අසුන් ගන්න සිරුරු මාරු වී මේ තත්ත්වය නොවිසදී දිගටම පැවතීමය.
ලංකාවේ ක්‍රිකට් ගැන සෑම පැත්තෙන්ම එන බලපැම් අවංක බවින් තොර බව සහතිකය.ඒ සියල්ලට බලපෑම් කරන්නට ඇති ඉඩ සහ ඒ බලපැම්වල පලය නිල වශයෙන් ශ්‍රි ලංකා ක්‍රිකට් වෙත පැවරෙන බව ඇත්තය.ක්‍රිඩා අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකයේම කෙනෙක්ගෙන් ලකුණු 55 ට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දැවී ගොස් ලකුණු 302 ක පරාජයක් අත් කර ගැනිමෙන් ඉනික්බිතිව ලැබෙන ආරාධනායන් කියන්නේ “ක්‍රිකට් බෝඩ් එක පන්නමු” සමාජ ජාලා ව්‍යාපෘතියට එකතු වෙන ලෙසය.එයින් හැඟවෙන පණිවිඩය කවරේද?


කවුරුත් ක්‍රිකට් ආයතනයේ මහා මුදල් කන්දට අත තියන්නට කැමතිය.උදාහරණයකට මේ කාලයේ ක්‍රිකට් පරාජය වුව ද ක්‍රිකට් ආයතනයට එකතු වන මුදල් කන්ද වෙනත් ක්‍රිඩා සහ සමාජ ක්‍රියාකාරකම්වලට යොදවා ගැනීම නොපිරිහෙලා සිඳු වන්නේය.මේ ආසාව ක්‍රිකට් වෙනුවෙන් එලවන්න නොවේය.ඒ එලවීම වෙනුවෙන් අනෙකාගේ තත්ත්වය ගැන නොව තමන්ගේ තත්ත්වය ගැන සිතීම සාමාන්‍ය ස්වභාවය වන්නේය.
මෙහිදී මේ සටහනේ උඩින් ක්‍රිකට් ආයතනය තරග විකිණීමක යොදුණේ ද යන සැකය ජනිත කරමින් එයට ක්‍රිඩාංගන සේවකයින් යොදා ගැනීමක් ගැන ඉඟි කිරීම නිර්ලජ්ජිත වැඩක් යැයි නොවැටහේද?මේ ව්‍යාපෘති කරමින් ක්‍රිකට් හදන්නට ඉල්ලන මිනිස්සුන්ගේ අතීතය ඉතාම සුළු කාලයකින් වල දමා යළි යළිත් එකම දේශපාලන නායකයන්ට රැවටෙන රටක මිනිස්සු හදන රැලි ගැන ඉතිහාසයක් අපට ඇත.නොකියවාගන්නේ එයය.දැන් ක්‍රිකට් හදන්නට ඉල්ලන අර්ජුන කණ්ඩායමේ නායකයාව සිටියදී ඔහු සතුව තිබුණ බලය මේ රටේ කිසිඳු ක්‍රිකට් නායකයෙක් විඳ නැත.ඔහුට තිබුණ බලය වෙනස්ම එකකි.අයියා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායකයා ය.මල්ලි උප සභාපතිය.ඔහු නායකයාය.
දැන් මේ තත්ත්වය වෙනස්වන ප්‍රධාන තැනක් වන්නේ ධම්මික රණතුංගට එල්ල වුණ චෝදනා මත ඔහුට ක්‍රිකට් හැර යන්නට වීමය.ඊට පසුව අර්ජ්නගේ තවත් සහෝදරයෙක් වන නිශාන්ත රණතුංග ක්‍රිකට් ලේකම්වරයාව සිටි අතර එවකට පැවති ලෝක කුසලානයේ වියදම් දත්ත පවා අතුරුදහන් විය.කලක් මේ තරම් මුදල් සමාජ කාර්යයන්වලටද බෙදා දෙන ක්‍රිකට් වැටුප් ගෙවා ගත නොහැකි තත්ත්වයට පත් කළේ ඒ පාලන සමයේ ය.ලෝක කුසලානයෙන් පාඩු ලැබීම මුදල් නොමැති මට්ටමට මුදල් හිදී යාම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ,ඔවුන්ගේ පවුලේ මාධය ව්‍යාපාර සඳහා ද නිශාන්ත සම්බන්ඳ වී සිටි මොහොතේ රඟ දැක් වුණු නාට්‍යය ඉතිහාසයට එකතු කර අපේ මතකයෙන් වැසී ඇත.
ඊට පෙර ධම්මිකට එල්ල වුණ චෝදනා,තනතුර සහ රට හැර යාම සමඟ “වත්මන් පරිපාලනයේ පැරණි සබඳතා ඇති තැනක” රණතුංගලා ස්ථාපිතව සිටි තැන් ගැලවී වෙනත් කණ්ඩායමක් බවට පත්විම දක්වා බල පෑ බව ඉතිහාසය නිවැැදිව දන්න අයෙකුට අමුතුවෙන් පැවසිය යුතු නොවේය.පසු කලෙක ධම්මික ලංකාවට ආවේ අර්ජුණ යහපාලන ආණ්ඩුවේ බලය සමඟ සිය අමාත්‍යංශවල ආයතනවල මුල් පුටුව ක්‍රිකට් විධායක තනතුරෙන් චෝදනා ලැබ රට හැර ගිය ඔහුට පවරද්දීය.


මෙතැනදී ක්‍රීඩාව භාර දේශපාලන නායකයා මේ අඩු ලුහුඩු ඇති හැම කොටසක්ම එක තැනකට ගන්නේ කෙසේද කියන තැන නොසිට වැරදි පැතිවලින් එක පැත්තක සිට ගැනීම නරකම තත්ත්වය වන්නේය.ඒ එක්කෝ රොෂාන් රණසිංහ දන්නා තරමය.නැත්නම් තමන් අයියා කියමින් ඉහළින් සළකන අර්ජුනට මේ මහා ධනස්කන්දය පැවරීමෙන් පසුව එහි ප්‍රතිලාභ තමන්ගේ අවශ්‍යය වැඩ කටයුතු සහ ව්‍යාපෘති දියත් කිරීමට ද සහයට ගත හැකි බව සිතාගෙනද විය හැකිය.


සරලම කාරණය දැන් සිඳු වී තිබෙන විරෝධතා නියෝජනය කරන පිරිස ගැන තීරණයකට එළැඹිම නොවේය.මේ කණ්ඩායම නොවන ඔවුන් තෝරන කණ්ඩායම ඇසීමය.අඩුම තරමේ හයක් හෝ හතක් ඒ කණ්ඩායම්වලටත් මේ ක්‍රිඩකයින්ම සිටිනු ඇත.එසේනම් ඇත්තේ වෙනත් වරදක්ය.මාධ්‍යවේදියා නවීඩ් නවාස්ගෙන් ඇසු පැනය මෙන්ම එම පැනයට නවීඩ් නවාස් ද දුන් පිළිතුරෙන් පැහැදිළි වන කාරණය කණ්ඩායමේ අවශ්‍යයතාවය වන්නේ මානසික තත්ත්වය වර්ධනය කර ගැනීමට පිළියමක් සෙවිමය.
එසේ නොවී වාස්ට සහ මුරලිට පන්දු යවන්නට කීවද සහ සනත්ට සහ කළුට පහර දෙන්නට කීව ද මීට වඩා පිළිතුරක් අපේක්ෂා කරන්නට අපහසුය.එසේ ඇති වූ රැලි සියල්ල ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ මේ මොහොතේත් තිබෙන බව සමාජයට නොහැඟෙන පරිදි තිබිම ඛේදවාචකයකි.මේ ක්‍රිඩකයින් පිටියට ආ දවස බලන විට අද ඊයේ නොවේය.අලුතෙන්ම තෝරා ගත් කණ්ඩායමක් ද නොවේය.එසේනම් මේ වැටීම ක්‍රමිකව සිඳු වූ කුමන හෝ බලපෑමක් මත සිඳුව ඇත.ඒ කණ්ඩායමට අවශ්‍ය්‍ය මානසික පරිසරය සකස් කිරීමට කණ්ඩායමේ ආකෘතියට අනුව හොඳ සිංහලෙන් අමතන්න හැකි පොළවේ පය ගසා සිටින අයෙක් මිස මේ පොළවට ආගන්තුක සත්වයෙක් ගෙනත් පලක් නැත.ප්‍රායෝගික තේරීමක් කළ යුතුව ඇත.


ඇත්තටම පළමු ගැටළුව කණ්ඩායමේ මානසික තත්ත්වය බව අප පවසන පළවෙනි මොහොත මෙය නොවන බව අප වෙබ් අඩවිය සමඟ සිටින සියලු දෙනා දන්නා කරුණක්ය.එසේ නොවී ප්‍රධාන ප්‍රශ්නය ලෙස බෝඩ් එකේ මුල් පුටුවේ ඉන්න කෙනා තෝරා ගැනීම බවට පත්වන්නේ එතැනින් පසුවය.කොණ්ඩේ කොටට කපා,තෙල් ගා පීරා,කණේ කරාබු ගලවා හදන විනයට ක්‍රිකට්වල විනය කියන්නට යාමේ පරණ අදහස්වලින් දුරස්ව,ඕනැම රූපමය ස්වභාවයක මනස තුළ විශ්වාසය ගොඩ නැඟෙන අයුරෙන් කටයුතු කිරිම වැදගත්ය.


දැනටමත් මේ මානසික අර්බූදයෙන් ගොඩ එන්න අමාත්‍යංශය හරහා යෝජනා වී ඇති වෛද්‍යවරයෙක් ඇති බව නවීඩ් පවසන්නේය.ඒ නිවැරදි බෙහෙත නොවන බව මේ පරාජයන්ගේ ස්වභාවය පැහැදිළි කරන්නේය.සමහර විට උඩ පන්දු අත හැරීමේ හේතුව වන්නේ ද,ක්‍රීඩකයින් අවිඥාණිකව එවැනි උඩ පන්දු එන පහරවල් අපේක්ෂාවෙන් නොසිටීමට තමන් සම්බන්ධ විශ්වාසය ඉන්දියාව ඉදිරියේ පහළ වට්ටාගෙන තිබීම වන්නට ද හැකිය.
දැනට ක්‍රිකට් සඳහා දායක වී සිටි බොහෝ දෙනා මේ ප්‍රශ්නය දැක එය වෙනස් කිරීමට වසර ගණනක සිට විවිධ අයුරෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ වැඩ කර ඇත.සමහර අය අමාත්‍යවරයාගේ පත්කිරීම් ලෙස පැමිණ වැඩ කර ඇත.මහේල ජයවර්ධන ක්‍රිකට් පමණක් නොව සංගක්කාර ද ඇතුළුව තවත් අය සමඟ එක්ව සමස්ත ක්‍රීඩාවම නිවැරදි කරන්නට නාමල් රාජපක්ෂට උපදෙස් දෙමින් සිට ඒ සිටින අතරතුරම ක්‍රීඩා පණතේ ඇති තත්ත්වයන්ට පටහැනිව ජාතික ක්‍රිඩා සභාවට පත්වීමෙන් නොනැවතී ශ්‍රී ලංකා ක්‍රිකට් හී ද වැටුප් සහිත රැකියාවක් ලබා ගත්තේ ඩොලර් සහිත වැටුපකටය.
මේ තත්ත්වය ඇත්තය.හැමෝගෙම කිල්ලෝට හිස් නැත.කියන්නට දේ ඇත.හැමෝගෙම ආසාව ක්‍රිකට්වල ඒ සුළු හේත්තුව විශාල කර ගන්නටය.ලකුණු 55 කට ශ්‍රී ලංකා කණ්ඩායම දැවී යාම,එසේ සිතන අපේක්ෂා කරන අය හෙට සිට ලොකු ජයක් කර ගන්නට උත්සාහ දරනු ඇත.එසේම මේ පරාජයත් සමඟ ක්‍රිකට්මය ආදරය හරහා වියරුවට පත් පිරිස් සියලු සබඳතා වර්ථමානයේ මතු පිට පෙණුම මත අතුරා පිටතට තල්ලු කරන්නට කටයුතු කරමින් සිටිනවා ඇත.ලෝක සූර එංගලන්තය මේ මොහොතේ සිටින තැන ගැන එංගලන්තයේද විවේචන තිබෙනවා වෙන්නට හැකිය.ඒ සම්බන්ධයෙන් මාවන් අතපත්තු අපූරු කතාවක් කීවේය.


එංගලන්තය වෙනත් ආදේශක රටාවන් නොමැතිව තමන්ගේ විශ්වාසය සහ ස්වභාවය මතම ක්‍රිඩා කරන බවට මාවන්ගේ අදහස සමාන වන්නේය.එහි ද අරුත මනසින් සූදානම් නොවීමය.නමුත් එංගලන්ත ක්‍රිකට් සමාජය ඊට මුහුණ දෙන්නේ ලංකාවේ සමාජය විදිහට නොවේය.ලෝක කුසලානයේ ක්‍රිකට් කණ්ඩායම පහළට වැටුණු හැම රටක්ම ක්‍රිකට් පරිපාලනය වෙනස් කරන්නට උත්සාහ ගන්නේ හෝ ඒ වෙනුවෙන් මේ මොහොත පාදක කරගෙන සටනට බසින්නට කැහැපොට ගසාගෙන නැත.
අපි වෙනස් වන්නේ ඒ අනුවය.”අපි ලංකාවෙ අපි වෙනස් කියා කීම” මීට පිළිතුර ද විය හැකිය.වෙනස් වෙනස් දෑ එකතු වීමෙන් ලැබෙන විවිධාංගිකරණ බලය සහ ඊට ඇති නිවැරදි පළල් මඟ පෙන්වීමේ හැකියාව සමාජයක් හැටියට අප භාර නොගන්නා එකේම කොටසක් ඒ සමාජය අයත්වන ක්‍රිකට් සමාජයේද පිළිඹිඹුව බව මගේ විශ්වාසය වන්නේය.


මොහොමඩ් සාමි,මොහොමඩ් සිරාජ් සහ ජස්ප්‍රිට් බුම්රා විිසින් සුණ විසුණ කරන ලද ශ්‍රි ලංකා ඉණිම ඇතුළත් තරගයේ මුළු ලකුණු විස්තරය පහතින් දැකිය හැකිය.


https://www.espncricinfo.com/series/icc-cricket-world-cup-2023-24-1367856/india-vs-sri-lanka-33rd-match-1384424/full-scorecard

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමා ප්‍රපංචයේ හැකියාවන් සහ නොහැකියාවන් ….

රට බංකොලොත් වෙන්ට බලපාපු එකම හේතුව දේශපාලන තන්ත්‍රය විසින්...

කීරි සම්බා හිඟයක්. ආදේශක සහල් පිටරටින් ගෙන්වීමට නිර්දේශ කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කීරි සම්බා සහල් ප්‍රමාණවත්ව මෙරට වෙළඳපොළ...