වැඩබලන පොලිස්පති දේශබන්දුට කතෝලික සභාවෙන් විරෝධය!

Date:

කොළඹ LNW:වැඩ බලන පොලිස්පති ධූරයට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්‌ මහතාව පත්කිරීම සම්බන්ධයන් කතෝලික සභාව සිය විරෝධය දක්වා තිබේ.

එම පත්කිරීම පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයින්ට විරුද්ධව සිදු කළ විශාලම අවමානය ලෙසය කතෝලික සභාව අවධාරණය කරන්නේ.

ඒ අනුව එම පත්කිරීම පිළිබඳව කතෝලික සභාව වෙනුවෙන් සිරිල් ගාමිණී පියතුමා ස්ථාවරය පැහැදිලි කර ඇත.

“ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්‌ මහත්මා වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජනාධිපති රනිල්‌ වික්‍රමසිංහ මහත්මා විසින්‌ පත්කර ඇති බව දැන්‌ සුළු වේලාවකට පෙර මාධ්‍ය වාර්තා කළා. ජනාධිපතිවරයා ලෙස රනිල්‌ වික්‍රමසිංහ මහත්මා කළ එම පත්වීම අති උතුම් මැල්කම් කාදිනල්‌ රංජිත්‌ හිමිපාණන්‌ පිළිකුලෙන්‌ යුතුව හෙලා දකිනවා. එසේම එය අපි දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා. මේ පත්‌ කිරීම පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයින්ට විරුද්ධව සිදු කළ විශාලම අවමානය ලෙසයි අපි දකින්නේ. අහිංසක මිනිසුන්‌ 273 දෙනකු ම්ලේච්ඡ ලෙස ඝාතනය කෙරුණ, තවත්‌ මිනිසුන්‌ 500කගේ පමණ අනාගතය සම්පූර්ණයෙන්ම විනාශ කළ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට පුළුවන්කම තිබියදී එය පැහැර හැරිම පිළිබඳව ජනාධිපති විමර්ශන කොමිෂන්‌ සභාව මගින්‌ චෝදනාවට ලක්‌ කරලා ඔහුට විරැද්ධව විනය පරක්ෂණයන්‌ සිදු කළ යුතු බවට නිර්දේශ කර තිබෙනවා. නමුත්‌ මේ දක්වාම එවැනි විමර්ශනයන්‌ සිදු කර නැහැ. දේශබන්දු තෙන්නකෝන්‌ වැනි අය තම රාජකාරිය නිසියාකාරව සිදු කළා නම් මේ අහිංසක මිනිසුන්‌ 273 දෙනා අදටත්‌ ජීවත්‌ වෙනවා. තමන්ගේ රාජකාරිය, වගකීම පැහැර හරිමින්‌ මිනිස්‌ ජීවිත සිය ගණනක්‌ විනාශ වන්නට ඉඩහැරිය දේශබන්දු තෙන්නකෝන්‌ වැනි පුද්ගලයකු රටේ පොලිස්පති පදවියේ වැඩබැලීමට පත්‌ කිරීමත් ම්ලේච්ඡ කියාවක්‌ ලෙස අපි හඳුන්වනවා. මේ හැරෙන්නට තවත්‌ චෝදනා ගණනාවක්‌ ඔහුට විරුද්ධව තියෙනවා.

  1. 2022 මැයි 09 දා ගාලුමුවදොර පිටියේ සාමකාමී අරගලයට සිදුවූ මැර ප්‍රහාරය වළක්වා නොගැනීම.
  2. ජනාධිපති මන්දිරයේ තිබී හමුවූ රැපියල්‌ 17 කෝටි 85 ලක්ෂයක මුදල නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත්‌ නොකර, මහජන ආරක්ෂාව භාර ඇමැතිවරයාට බාර දෙන ලෙස කොටුව පොලිස්‌ ස්ථානාධිපතිවරයාට උපදෙස්‌ ලබා දීම.

මේ හැම දේ පිළිබඳවම චෝදනාවට ලක්ව සිටින පුද්ගලයකු මේ රටේ පොලිස්පති ධුරයේ වැඩබැලීමට පත්‌ කිරීමට කටයුතු කළ ජනාධිපතිවරයාට රටේ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව කිසිදු හැඟීමක්‌ නැති බව පෙනී යන බවයි කතෝලික සභාව පවසන්නේ.

පොලිස්පති ධුරයට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්‌ මහත්මාගේ නම යෝජනා කිරීම හෝ නොකරන්නැයි අති උතුම් කාදිනල්‌ හිමිපාණන්‌ වගේම ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවත්‌ පසුගිය කාලයේ දී ජනාධිපතිවරයාගෙන්‌ ලිපි මගින්‌ ඉල්ලා සිටියා. ඒ වගේම නීතිඥවරුන්‌ ඇතුළු විවිධ වෘත්තිකයින්‌ සහ සාමාන්‍ය පොදු මහජනතාව අතරින්‌ ද මේ පත්‌ කිරීමට එරෙහිව විරෝධයක්‌ රට තුළ තිබූ බවත්‌ අපි දන්නවා. ඒ කිසිදෙයක්‌ ගැන නොතකා ජනාධිපතිවරයා මේ පත්වීම කර ඇත්තේ, මහජන ආරක්ෂාව සහ පොලීසිය බාර ටිරාන්‌ අලස්‌ අමාත්‍යවරයා ඇතුළු ජනාධිපතිවරයා වටේ සිටින බලලෝභී කිහිප දෙනෙකනුගේ පැවැත්ම ආරක්ෂා කරදීමට බව පැහැදිලියි. මෙම පත්කිරීම දීර්ඝ ඉතිහාසයක්‌ ඇති ශ්‍රී ලංකා පොලීසියේ ගෞරවය කෙළෙසීමක්‌ ලෙස අපි දකිනවා.

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්‌ මහත්මා පත්කිරීමේ තීරණයට අති උතුම් කාදිනල්‌ හිමිපාණන්‌ දැඩි ලෙස විරෝධතාවය ප්‍රකාශ කරන අතර එය පිළිකුලෙන්‌ හෙළා දකින බව නැවත වතාවක්‌ අපි අවධාරණය කරනවා” යනුවන් සිරිල් ගාමිණී පියතුමා ප්‍රකාශ කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...