විදේශ විනිමය අර්බුදය විසඳන මෙන් වාණිජ මණ්ඩල 9කින් ඉල්ලීමක්!

Date:

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය, සංචාරක කර්මාන්තය හා ව්‍යාපාර කටයුතු කෙරේ බලපා ඇති විදේශ විනිමය අර්බුදය සම්බන්ධයෙන් ඒකාබද්ධ වාණිජ මණ්ඩල (Joint Chambers of Commerce) රජයේ අවධානය යොමුකර තිබේ.

ඉකුත් බ්‍රහස්පතින්දා (03) දින රැස්වූ ඒකාබද්ධ වාණිජ මණ්ඩල නියෝජිතයන් විදේශ විනිමය අර්බුදය සහ එය රට තුළ ව්‍යාපාර ක්‍රියාකාරකම් සහ ආර්ථිකය කෙරෙහි සිදුකරන බලපෑම පිළිබඳව සාකච්ඡා කර ඇති අතර, මෙහිදී ප්‍රධාන ඉල්ලීම් තුනක් රජය වෙත ඉදිරිපත් කිරීමට වාණිජ මණ්ඩල 09ක් සිය එකඟතාවය පළකර තිබේ.

ඒ අනුව,

  1. විනිමය අනුපාතිකය නම්‍යශීලී කරමින් ඉන්ධන, ගෑස් සහ විදුලිය සඳහා වෙළඳපොළ මත පදනම් වූ මිල සූත්‍රයක් ස්ථාපිත කිරීම
  2. වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රමානුකූල හා පූර්වගාමී විදේශ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කිරීම
  3. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම සහ වහාම ක්‍රියාත්මක වන පරිදි වෙළඳපොළ සහ පෞද්ගලික අංශය තුළ විශ්වාසයක් ගොඩනැඟෙන ප්‍රතිසංස්කරණ වැඩසටහනක් සම්පාදනය කිරීම

එම ඉල්ලීම් තුන වෙයි.

රටතුළ පවතින විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ආර්ථිකයේ සියලු අංශවල ක්‍රියාකාරීත්වය සඳහා තීරණාත්මක සාධකයක් බවට පත්ව ඇති ඉන්ධන සහ විදුලි සැපයුමට දෛනික බාධා පැමිණ ඇති බව මෙම වාණිජ මණ්ඩල අවධාරණය කරයි.

දේශීය හා අපනයන නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය යෙදවුම්වල සැලකිය යුතු පහත වැටීමක් දක්නට ඇති අතර, සැපයුම්කරුවන්ට නියමිත වේලාවට ගෙවීම් සිදුකිරීමට ඇති නොහැකියාව පිළිබඳව ද ඔවුහු පෙන්වා දෙති.

මෙහි ප්‍රතිඵලයක් ලෙස ව්‍යාපාරික කටයුතු ඇණහිටමින් පවතින අතර, සංචාරක හා අපනයන ක්ෂේත්‍රවල මෑත දින දක්නට ලැබුණු ඇතැම් ප්‍රගතීන් යළි කඩා වැටීමේ අවදානමක් මතුව ඇති බව ඔවුන්ගේ අදහසයි. මේ පිළිබඳව පෞද්ගලික අංශය දැඩි අවධානයෙන් පසුවන බව ද මෙම වාණිජ මණ්ඩල පෙන්වා දෙයි.

විදේශ විනිමය අර්බුදයේ ප්‍රතිවිපාක මහජනතාවට දෛනික මට්ටමින් දැඩි දුෂ්කරතා ගෙන එන බවත්, එය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ සහ දෛනික වැටුප්ලාභීන්ගේ ජීවනෝපායන් ද අවදානමේ හෙලා ඇති බවත් ඔවුහු අවධාරණය කරති.

ඉහත පියවරයන් විධිමත් අන්දමින් ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් බව පෙන්වා දෙන මෙම වාණිජ මණ්ඩල අතුරින් වාණිජ මණ්ඩල 09ක් ඊට අදාළ බලධාරීන් හා පාර්ශවයන් හට සහාය දැක්වීමට සිය එකඟතාවය පළකර තිබේ.

ඒ අනුව, මෙම අර්බුදය විසඳා ගැනීමට සහ සියලු පාර්ශවකරුවන් අපේක්ෂා කරන පරිදි ශක්තිමත් පශ්චාත් කොවිඩ් ප්‍රතිසාධනයක් රටතුළ ගොඩනඟා ගැනීම සඳහා මෙම වාණිජ මණ්ඩල ඇතුළු පෞද්ගලික අංශය රජයට සහාය දැක්වීමට සූදානම් ය.

විනිමය අනුපාතිකය නම්‍යශීලී කරමින් මිල සූත්‍රයක් හඳුන්වා දීම හරහා ආර්ථික ක්‍රියාකාරකම් අඩාල කරන විදේශ විනිමය ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟයට සාපේක්ෂව වියදම් ඉහළ යන තත්ත්වයන් කලමනාකරණය කර ගත හැකි බව එම වාණිජ මණ්ඩල නිගමනය කරයි.

විදෙස් ණය ප්‍රතිව්‍යූහගත කිරීම තුළ වාණිජ සහ වාණිජ නොවන ණය ප්‍රතිව්‍යුහගත කිරීම් ඇතුළත් විය යුතු බවත්, මෙම ක්‍රියාවලිය නුදුරේදීම ආරම්භ කිරීම මඟින් ඉන්ධන සහ ඖෂධ වැනි අත්‍යාවශ්‍ය ආනයන සඳහා හිඟ ඩොලර් වෙන් කිරීමට අවකාශයක් නිර්මාණය වනු ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප් එළඹෙන සතියේ ඉරානය සමඟ සාකච්ජා අරඹයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 26; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය සහ ඉරානය...

කෙන්යාවේ රජයට එරෙහිව තරුණයන් විසි බසියි; අට දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජුනි 26; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 2024 වසරේ රජයට...

මහනුවර යෞවනයන් ට එක ඉණිමෙන් වාර්තා දෙකක්

නිශ්මං රණසිංහ ජුනි 26, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...

සොනාල් පන්දුවෙන් සිය තේරීම සාධාරණය කරයි

නිශ්මං රණසිංහ ජුනි 26, කොළඹ LNW: සිය මංගල ටේස්ට් තරගයට...