උදේ පාන්දර අබිලිං මාමා කෑ ගහනවා ඇහිලා ඇහැරුණේ.කාගෙ හරි පරම්පරා ගණනක් සිහිපත් කරමින් මාමා දෙසනවා.පහුගිය දවස් ටිකේම මාමා අලියෙක්ගේ හොඩෙන් සිනොපැක් කියලා බෝඩ් එකක් අල්ලං ඉන්න සරමක් ඇඳගෙන තමයි ගම පුරා ඇවිද්දෙ.ඒ ඇවිද අවිද සිනොපැක් ඇති කරපු තරගකාරීත්වය මැද්දෙ ඉදිරියෙදී මිල අඩු වෙන හැටි වගේම පාරිභෝගිකයාට අත්වෙන වාසි ගැන මහාචාර්ය අමින්ද මෙත්සිලටත් වඩා රහට මාමා කියා දුන්නා.මිනිස්සු කට ඇරගෙන අහගෙන උන්නෙ.
එහෙම හිටපු මාමාගෙ රෙද්ද උදේම කාංචන කොලුවා කඩා දාලා.මේ බනින්නෙ කාංචන කොලුවට.අර හොඩෙන් අල්ලං හිටපු බෝඩ් එක තිබුණ සරම වලාපොට ගැහිලා මාමගෙ කකුල් මුල.සරමෙ හොඩේ නැතුවට මාමා යටට ඇදලා නැති නිසා කොල්ලො හූ තිය තිය කියන්නෙ මාමා අලියවනම් අත අරින්නෙ නැහැ හොඩේ හරි අල්ලං ඉන්නවා කියලා.
මොන හොඬ ඇල්ලිල්ක්ද මාම අත් දෙකම නිදහසේ ඒ මේ අත වීසි කර කර කතාව.කුණහබ්බ විඳින්නෙ රොකට් ලෝන්චර් එකකින් වගෙ.අඩු ගාණෙ හැතැප්ම භාගයක්නම් දුරට ඇහෙන එක සහතිකයි.කොච්චර කිව්වත් සරම අන්දන්න බැහැ.කාංචනටම එන්නලු.
“එයාල අන්දන්න විතරයි මාමෙ එන්නෙ.පස්සෙ නිකංම ගැලවිලා යනවා.ආයෙ වෙන එකක් ඇන්දුවොත් මිසක් මාමාලගෙන් ගැලවෙන එවා අන්දන්න එයාල එන්නෙ නැහැ.”
තේරුම් කරලා දෙන්න හැදුවට ඉතිං අහන්නෙම නැහැ.අලියගෙ හොඩේ තියෙන සරම කාංචන ගලවපු තැනම තියලා අබිලිං මාමා ගම පුරා ඇවිදින්න ගත්තා.කාංචනට කරප බලු වැඩේට බැන්නා.දොස් කිව්වා.හතර මායිමට ආවොත් අඩු කඩනවා කිව්වා.මිනිස්සු ඉතිං මොකුත් කියන්නෙ නැතුව අහගෙන හිටියා.රැවටුණු එකේ තරහත් තියෙනවනෙ.සමහරු කාංචනගෙ ඇන්දිල්ලට ඇන්දිලා අබිලිං ගොයියා කියපු කතාත් විශ්වාස කළානෙ.ඒ අයත් ඉතිං ඉන්නෙ තමන්ම තමන්ට නිරුවත් වෙච්චි ගාණට.
යන අස්සෙ රතු මාමගේ ගේ ළඟත් නැවතිලා කෑ ගැහැව්වා.
“කාංචනයට ආයෙ ගේම් ගැහිලි බොරු.අම්මප මාව මැරුවත් ඕකගේ හැම ගේකටම විරුද්ධව කතා කරනවා.ඕක හතරේ මායිමේ නැතුව එලවනවා.”
මේක අහගෙන හිටපු රතු මාමා එළියට දුවගෙන ආවා.
“උඹට එහෙම කියන්න තියෙන අයිතිය මොකද්ද?කාංචනය එළවන වැඩේ අපේ.ඒක අපි කර ගන්නම්.රෙද්ද ගැලවෙනකං ඉදලා එන්නෙ.අපි යකෝ උගෙන් රෙදි ඇන්දෙම නැහැ.”
රතු මාමා කියන්න නෙමෙයි කෑ ගහන්න ගත්තා.
“යකෝ ගැලවෙනකං දන්නෙ නැහැනෙ මූ මෙහෙම වැඩක් කරනවා කියලා.ඌව විශ්වාස කරපු මට,රැවටුණාම තියෙන කේන්තිය, දුක උඹට කොයින්ද බං? රවට්ටපු එකාට ගේම ඉල්ලන්න මට තියෙන අයිතියක් උඹට කොයින්ද?
දැන් කාංචනය පැත්තක.මුං දෙන්න ගහගන්නයි බැන ගන්නයි ගත්තා එළවන්න අයිතිය,විරෝධය ප්‍රකාශ කරන්න තමන්ට තමයි අයිතිය තියෙන්නෙ කියලා.වැඩේ නැගලා යනවා.
“යකෝ මුං මේ කාංචනයට විරුද්ධනම් මොකට බෙදෙනවද,එකට එකතු වෙන්නෙ නැතුව? විරෝධය කරන්න අනෙකට තියෙන අයිතිය පිළිගන්නෙ නැති රෙද්දෙ යක්කු…
පැත්තකට වෙලා හිටිය මිනිහෙක් කණට කෙදිරුවා.අබිලිං මාමයි රතු මාමයි පෙරළි පෙරළි ගහගත්තා.ඒ දෙන්නට කැමති කට්ටියත් දෙපිළ බෙදිලා ගහගත්තා.ඔක්කොටම කෙළින් ඉන්න බැරි තරම් අමාරුයි.පාරෙම තැන් තැන්වල වැටිලා ඉන්නවා.සමහරුන්ගෙ කන් නැහැ.සමහරුන්ගෙ නහය,තවත් අයගෙ තොල්, ඇස් එළියෙ. ඔක්කොම ගහගෙන වැටිලා ඉද්දි කාංචන ආව කියන්නකො.අරුන්ට බෙදිලා ගහගෙන නැගිටගන්න පණ නැහැ.
තාංචන බල්ටි දෙක තුනකුත් ගහලා,විසිල් එකකුත් ගහලා බායි කියලා යන්න ගියා.
ද ක්ලීනර්
