මෙය දිස්ත්‍රික් රෝහල් “C” කැටගරියට අයත් ඉතාම කුඩා රෝහලක්. මෙහි කාර්‍ය මණ්ඩලය වෛද්‍යවරු දෙදෙනෙක් ඇතුළුව දහයකට නොවැඩි ගණනක්. මෙහි හෙදනිළධාරීන් නැහැ. ඒ වගේම අත්‍යාවශ්‍ය මූලික ඖෂධ සහ උපකරණ කිහිපයක්, කුඩා ගොඩනැඟිලි කිහිපයක් පමණක් තිබෙන ඉතාමත් කුඩා රෝහලක් ලෙස හඳුන්වන්නත් පුලුවන්.
අද රෑ 8.15 ට පමණ විදුලිය විසන්ධි කර ඇති කාලසීමාවෙදි තමයි ඒ ගර්භණී අම්මා ආවෙ. හේතුව පැය දෙකක් තිස්සෙ බඩ රිදීම. තමන් ප්‍රෙග්නන්ට් කියල දැනගෙන තියෙන්නෙ ඊයෙ, රත්නපුර රෝහලේදි. ඒත් ඒ කාඩ්, වාර්තා මුකුත්ම ගෙනත් නැහැ. දරුවට අම්මට අවශ්‍ය රෙදි ආදියට සූදානම් කරගෙනත් නැහැ. ඔවුන්ගෙ මතකෙ හැටියට තාම සති තිස් දෙකක් වගේ තමයි එහෙදි කියල තියෙන්නෙ. බඩත් ගොඩාක් ලොකු නැහැ.
කොහොම නමුත් එක් පැත්තකින් හදිසි රෝගී ප්‍රවාහනයට ගිලන්රථය ලෑස්තිවෙන අතරෙම ඇයව පරීක්ෂා කරල බලද්දි ප්‍රසූතිය ඉතාළඟ. සාමාන්‍යයෙන් සිදුකෙරෙන පරිදි අවිස්සාවේල්ල හෝ කරවනැල්ල රෝහල් වෙත ගෙනියන්න වෙලාවක් නැහැ. කන්දේ තවත් ඉහළින්, වතුකම්කරුවන් විදියට කටයුතු කරන ඔවුන්ට, අපේ රෝහලට එන්නත් වාහනයක් හොයාගන්න බැරිව පරක්කු වෙලා!
එතකොටත් ඒ අම්මා ට්‍රොලියෙ. රෝහලේ පිහිටීමත් එක්ක වගෙම මේ දිනවල සිදුකෙරෙන අලුත්වැඩියා සහ නව ඉදිකිරීම් කටයුතු නිසා ට්‍රොලිය අනෙක් ගොඩනැඟිල්ලට ගන්න බැහැ. දැන් ඉන්න තැන ජෙනරේටරයෙන් විදුලි ආලෝකය එන තැනක් නෙමෙයි. ලොකු දේවල් වලට වෙලාවත් නැහැ. ඒ වගෙම වැස්ස.
කරන්න තියෙන එකම දේ විදියට අපි එහෙමම බබාව ගත්තා. අවිස්සාවේල්ල රෝහලේදී දරුප්‍රසූතීන් සියගාණකට සහබාගීවෙලා තිබ්බත් මෙහෙම තත්වයකට මුහුණ දුන්නු පළවෙනි වතාව තමයි මේක. මහා වැස්සක් වැටෙද්දි, කන්දක් මුදුනේ පරණ බිල්ඩිමක් ඇතුළෙ, ටෝච් එළියක් ආලෝකය වෙච්ච පොඩි කාමරේක, ට්‍රොලියක් උඩ වැතිරිලා දරුප්‍රසූතියක ඉන්න අම්මෙක්. එක අතකට ඒක එක්දහස් අටසිය ගණන්වල කතාවක් දිගෑරෙන ෆිල්ම් එකක් වගේ.
8.26 ට බබා ලැබුණා. පුතෙක්!
අම්මයි බබයි දෙන්නම ඉතාම හොඳින්. ඒ වගේම අද මේ රෝහලේ දරුප්‍රසූතියක් සිදුකෙරිලා තියෙන්නෙ අවුරුදු පහකට පස්සෙ.
පෙකණිවැල කැපීමේ සිට අම්මාට සහ බබාට අවශ්‍ය සියළුම සත්කාරයන් සියල්ල කරලා, වැඩිදුර පරීක්ෂණයන් සඳහා ළඟම තියෙන ලොකු රෝහලට පිටත්වෙන්න විනාඩියකට කලින් තමයි මේ ෆොටෝව ගත්තෙ.
රස්සාවේ කොටස් විදියට එදිනෙදා කරන දේවල් ලිව්වෙ නැතිවුනාට, මේ සිදුවීම දැනුණු විදිය නිසාම සහ ඒකෙ විශේෂත්වය නිසාම මේ අත්දැකීම මෙහෙම ලියා තැබිය යුතුයි කියල හිතුණා. ඒ හැඟීම කොයිතරම් ප්‍රබලද කියනවනන් අම්මයි බබයි ගිලන් රථයෙන් පිටවෙලා යැව්ව ගමන් එක හුස්මට මේක ලිව්වා.
ඇත්තටම ඒ විනාඩි දහයට කොයිතරම් තීරණ ගන්න උනාද. කොයිතරම් දෙගිඩියාවන් ආවද. කොයිතරම් අවිනිශ්චිතතාවයන් ආවද. කොයිතරම් ප්‍රායෝගික ප්‍රශ්න ගණනක් ආවද, ඒ වගෙම ඒ ප්‍රශ්නවලට කොයිතරම් අවස්ථානුකූල විසඳුම් හෙව්වද.
ඉතින් මෙවැනි අවස්ථාවන්ට මුහුණ දීම වෙනුවෙන් අපිව ගොඩනැංවූ කොළඹ වෛද්‍ය පීඨයට, විශේෂඥ වෛද්‍ය මනෝජ් පෙරේරා සහ අසේල අමරසිරි සර්ල දෙන්නට, ගුරුහරුකම් දුන්නු අවිස්සාවේල්ල රෝහලේ අනෙකුත් සියළුම ජ්‍යේෂ්ඨ වෛද්‍යවරුන්ට උපහාරයක්ම වේවා!
නිදහස් අධ්‍යාපනයටත් නිදහස් සෞඛ්‍ය සේවාවටත් උපහාරයක්ම වේවා!
- වෛද්‍ය නජිත් ඉන්දික
11/03/2022
RN