ආර්ථික වශයෙන් කඩා වැටුණු රටේ ජනතාව ජීවත් කරවීම සඳහා “අස්වැසුම” සහ “උරුමය” වැඩසටහන් මඟින් විශාල කාර්යභාරයක් සිදු කරමින් තිබෙන බවත්, අස්වැසුම හිමි විය යුතු සියලු දෙනාට කඩිනමින් එම සහනය ලබා දීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එමෙන්ම “අස්වැසුම” සහ “උරුමය” වැඩසටහන නිවැරදිව ජනතාව අතරට ගෙන යාම සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ සහාය අවශ්‍ය බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ “අස්වැසුම” වැඩසටහන ක්‍රියාත්මකවීම පිළිබඳ සොයා බැලීමේ හමුවකට මාතලේ, විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ඊයේ (29) පෙරවරුවේ එක් වෙමිනි.
රජයේ එම වැඩපිළිවෙළ වෙනුවෙන් කොන්දේසි විරහිතව තම සහාය ලබාදෙන බවට විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලු ග්‍රාම නිලධාරීන් ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කිරීම ද විශේෂත්වයකි.
අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් බාර ගැනීම පෙබරවාරි 15 වනදා ආරම්භ වූ අතර අද (29) වන විට නව අයදුම්පත් 35,920ක් ලැබී තිබේ. ඒ අතරින් අයදුම්පත් 14,537ක් ප්‍රාදේශීය ලේකම් හරහාද, අයදුම්පත් 21,383ක් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේද ලැබී ඇත.
අද දිනය වන විට අස්වැසුම දෙවැනි අදියර සඳහා වැඩිම අයදුම්පත් සංඛ්‍යාවක් ලැබී ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 4892ක් වන අතර, මහනුවර දිස්ත්‍රික්කයෙන් අයදුම්පත්4708ක්ද,රත්නපුර දිස්ත්‍රික්කයෙන් අයදුම්පත් 2,971 ක්ද ලැබී තිබේ.
අම්පාර දිස්ත්‍රික්කයෙන් අයදුම්පත් 2243ක්ද, කොළඹ දිස්ත්‍රික්කයෙන් අයදුම්පත් 2099ක්ද, මොනරාගල දිස්ත්‍රික්කයෙන් අයදුම්පත් 2017ක්ද ලැබී ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් අයදුම්පත් 1887ක් ලැබී ඇත.
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මේ වන විට ලැබී ඇති අයදුම්පත් සංඛ්‍යාව 1633ක් වන අතර, පුත්තලම දිස්ත්‍රික්කයෙන් අයදුම්පත් 1632ක් සහ පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් අයදුම්පත් පත් 1408ක් ලැබී ඇත.
මඩකලපුව දිස්ත්‍රික්කයෙන් අයදුම්පත් 1405ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් අයදුම්පත් 1289ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් අයදුම්පත් 1166ක් වශයෙන් ලැබී ඇත. ගාල්ල දිස්ත්‍රික්කයෙන් ලැබී ඇති අයදුම් පත් සංඛ්‍යාව 981ක් වන අතර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අයදුම්පත් 954ක්ද, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් අයදුම්පත් 782ක්ද, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් අයදුම්පත් 687ක්ද ලැබී තිබේ.
මේ අතර කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 570ක් සහ යාපනය දිස්ත්‍රික්කයෙන් නව අයදුම්පත් 525ක් සහ මාතර දිස්ත්‍රික්කයෙන් 472කි. කිලිනොච්චිචි දිස්ත්‍රික්කයෙන් 451ක්ද, මාතලේ දිස්ත්‍රික්කයෙන් 421ක්ද, වව්නියා දිස්ත්‍රික්කයෙන් 389ක්ද වශයෙන් නව අයදුම්පත් යොමු කර ඇත.
මුලතිව් දිස්ත්‍රික්කයෙන් නව අයදුම්පත් 183ක් හා මන්නාරම දිස්ත්‍රික්කයෙන් නව අයදුම්පත් 155ක්ද ලැබී තිබේ.
පළමු අදියර යටතේ මිලියන 2කට ආසන්න පිරිසක් මේ වන විටත් අස්වැසුම ප්‍රතිලාභ ලබමින් සිටින අතර දෙවැනි අදියර යටතේ නව අයදුම්කරුවන් සමග මිලියන 2.4ක පිරිසකට සහන සැලසීම අරමුණයි.
විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ජනාධිපතිවරයෙක් පැමිණි පළමු අවස්ථාව සනිටුහන් කරමින් එහි පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආයතනික අංශය, ගිනුම්කරණ සහ මූල්‍ය අංශය වෙත පැමිණ එම කටයුතු ද නිරීක්ෂණය කළේය.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලොග් සටහන් පොතෙහි සටහනක් ද තැබීය.
අනතුරුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී මාතලේ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡාවකට එක් වූ අතර දිස්ත්‍රික්කය තුළ “අස්වැසුම” වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී මතුව ඇති ප්‍රායෝගික ගැටලු පිළිබඳව එහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
අනතුරුව ප්‍රදේශයේ අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂකයින් ද හමු වූ ජනාධිපතිවරයා ඔවුන් ඉදිරිපත් කළ ගැටළු බොහොමයකට එම අවස්ථාවේදීම සාධනීය විසඳුම් ලබා දීම විශේෂත්වයකි.
මේ අතර විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම සේවා නිලධාරීන් සමඟ ද ජනාධිපතිවරයා සුහද පිළිසඳරක යෙදුණු අතර ඔවුන් මුහුණ දී ගැටලු ජනාධිපතිවරයා වෙත වාචිකව මෙන්ම ලිඛිතව ද ඉදිරිපත් කළේය.
එම ගැටලු කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතැම් ගැටලුවලට එම අවස්ථාවේදීම විසඳුම් ලබා දීමට කටයුතු කළේය. දුෂ්කරතා හමුවේ වුවද ඔවුන් ජනතාව වෙනුවෙන් ඉටු කරන සේවාව අගය කළ ජනාධිපතිවරයා අස්වැසුම සහ උරුමය වැඩසටහන සඳහා සහාය ලබා දීමට ඉදිරිපත් වීම පිළිබඳව ද ග්‍රාම නිලධාරීන් වෙත සිය ස්තූතිය පළ කළේය.
එමෙන්ම මෙම අවස්ථාවේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවාව ලබා ගැනීම සඳහා පැමිණ සිටි ජනතාවගේ ද තොරතුරු විමසූ ජනාධිපතිවරයා ඔවුන් ඉදිරිපත් කළ ඇතැම් ගැටලුවලට එම අවස්ථාවේදීම විසදුම් ලබාදීමට පියවර ගත්තේය. එමෙන්ම අනෙකුත් ගැටලු සොයා බලා කඩිනම් විසඳුම් ලබා දීමට නිලධාරින්ට උපදෙස් දුන්නේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,
“අස්වැසුම ප්‍රතිලාභ ලබාදීම පසුගිය වසරේ සිට ක්‍රියාත්මක කිරීමට අප කටයුතු කළා. එම වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව සොයා බැලීමට අද මා විල්ගමුවට පැමිණ තිබෙනවා.
ජනාධිපති ධූරයේ වගකීම මා භාරගත්තේ රටේ ආර්ථිකය කඩා වැටී රට බංකොලොත්ව තිබූ අවස්ථාවකයි. එදා ආර්ථික අර්බුදයන් රට ගොඩගැනීම සඳහා කිසිදු නායකයෙක් ඉදිරියට ආවේ නැහැ. එවැනි බංකොලොත් පරිසරයක් තුළ ජනතාවගේ රැකියා අහිමිවී ජීවත්වීම පිළිබඳ ගැටලු මතුව තිබුණා.
එම නිසා රටේ ජනතාව ජීවත් කරවීමේ වගකීම මා භාරගත්තා. ඒ අනුව ආර්ථික වශයෙන් රට ගොඩනැඟීමට අප කටයුතු කළා. ඉන්පසුව ජනතාවගේ ජීවත්වීමේ අයිතිය සුරැකීම වෙනුවෙන් අප “අස්වැසුම”වැඩසටහන යටතේ මූල්‍ය ආධාර පිරිනැමීමට කටයුතු කළා. ඒ අනුව අස්වැසුම හරහා සමෘද්ධිය මෙන් තුන් ගුණයක ආධාර ජනතාවට ලබා දීමට අපට හැකියාව ලැබුණා.
ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභ අවශ්‍ය සියලුදෙනා හඳුනා ගෙන එම ආධාර ලබාදීම අපේ අරමුණයි. සාකච්ඡා මාර්ගයෙන් ගැටලු හඳුනාගෙන කටයුතු කිරීමෙන්මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙනවා.
අපේ රටේ සමෘද්ධිලාභීන් සිටියේ ලක්ෂ 16ක පමණ පිරිසක්. නමුත් අස්වැසුම ප්‍රතිලාභීන් ප්‍රමාණය ලක්ෂ 24ක් දක්වා වැඩි කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමට රජය කටයුතු කළා. ලබන අප්‍රේල් මාසයේ සිට රුපියල් 10,000ක් ඔවුන්ට හිමි වෙනවා. 2015 වසරේ අගමැතිවරයා ලෙස රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් දස දහසකින් වැඩි කිරීමට මම කටයුතු කළා. නැවත වැටුප් වැඩිකිරීමක් වසර දහයකින් කිරීමට නියමිතව තිබුණත් ආර්ථික පීඩාකාරී තත්ත්වය නිසාම 2024 දී එය සිදු කිරීමට අප තීරණය කළා.
ඒ වගේම අපි උරුමය වැඩසටහන ක්‍රියාත්මක කළා. 1935 සිට ඉඩම් සංවර්ධන පනත යටතේ ඉඩම් බලපත්‍ර ලැබූ සියලුදෙනාට උරුමය වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් අයිතිය හිමි වෙනවා. තමාට ඉඩමේ නීත්‍යානකූල අයිතිය හිමි වීම නිසා දිගු කලක් තිස්සේ එම ජනතාවට මුහුණ දීමට සිදුවූ ගැටලුවට විසදුම් ලැබෙනවා.
උරුමය වැඩසටහන යටතේ ලක්ෂ විස්සකට සින්නකර ඉඩම් ඔප්පු ලබාදීමට කටයුතු කරනවා. මෙම වසර අවසන් වන විට ඉඩම් ඔප්පු ලක්ෂ දහයක් ලබාදීමට කටයුතු කරනවා. මේ සියලුම වැඩසටහන් යටතේ ජනතාවට සුරක්ෂිත ආර්ථිකයක් ගොඩනගා දීම අපේ අරමුණයි.
අස්වැසුම සහ උරුමය වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට විශාල වැඩකොටසක් පැවරෙනවා. ජනතාවට යහපත් අනාගතයක් උදාකර දීම වෙනුවෙන් අප ඒ සඳහා කැපවී කටයුතු කළ යුතුයි.
මේ වැඩසටහන සමඟ රටේ ආර්ථිකය ද අපි පරිවර්තනයකට ගෙන යා යුතුයි. දැන් රටේ ආර්ථිකය ධන වර්ධනයක් පෙන්නුම් කරමින් තිබෙනවා. එම නිසා මේ පළාත තුළ ආදායම් මාර්ග වර්ධනය කිරීමට හැකි සැලසුම් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම සංචාරක කලාපයක් ලෙස මෙම පළාත දියුණු කළ හැකියි. නවීන කෘෂිකර්මාන්ත භාවිතය සහ අපනයන කුළු බඩු කර්මාන්තය සංවර්ධනය කිරීමටත් සැලසුම් කර තිබෙනවා.
කොකෝවා සහ කෝපි වගාවන් සඳහා නව ආයෝජකයන් සහිතව නව වගාවන් ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජන ජීවත නඟාසිටුවීමට අප බලාපොරොත්තු වෙනවා”
RN