Author: Iresha

  • ආර්ථිකය පත්ලටම වැටී තිබුණත් උමගේ ඈත කෙළවර ආලෝකයක් මට පෙනෙනවා – ජනපති රනිල්

    ආර්ථිකය පත්ලටම වැටී තිබුණත් උමගේ ඈත කෙළවර ආලෝකයක් මට පෙනෙනවා – ජනපති රනිල්

    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යළි ශ්‍රී ලංකාවට පැමිණීමට මෙය සුදුසු කාලය නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

    ඇමරිකාවේ වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කරන්නේ.

    මෙම අවස්ථාවේදී ඔහු යළි දිවයිනට පැමිණීම, ආර්ථික අ‍ර්බුදය හේතු කරගනිමින් තමන් නෙරපා හැරීමට පෙළ ගැසී සිටින විරෝධතාකරුවන් අතර යළි නැගිටීමක් සිදුවිය හැකි බවයි වික්‍රමසිංහ මහතා පවසන්නේ.

    මේ වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය පත්ලට වැටී ඇති අතර උමගේ ඈත කෙළවරක ආලෝකයක් තමන්ට පෙනෙන බැවින් ඉතා ඉක්මණින් එයට ළඟා විය යුතු බව ජනාධිපතිවරයා පවසයි.

    එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව අගෝස්තු අග වන විට එළැඹීමට හැකි වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද වික්‍රමසිංහ මහතා පවසයි.

    මේ මොහොතේ ශ්‍රී ලංකාව මුහුණදුන් දරුණුතම ආර්ථික අර්බුදයේ උච්චතම අවස්ථාව පසුකරමින් සිටින බවයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කරන්නේ.

  • අවශ්‍ය ඩීසල් ප්‍රමාණය දෙනවා නම් හෙට ඉදන් සියලුම බස් දුවවනවා – අංජන

    අවශ්‍ය ඩීසල් ප්‍රමාණය දෙනවා නම් හෙට ඉදන් සියලුම බස් දුවවනවා – අංජන

    කෙටි දුර බස් රථ නිසි ලෙස ධාවනය කිරීමට නම් සතියකට බස් රථයක් වෙනුවෙන් ඩීසල් ලීටර 300ක් වත් ලබා දිය යුතු වන බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා අද (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

    වෙනදා වගේම අද දිනයේදීත් පෞද්ගලික බස් රථ ධාවනය 30%ක වැනි ප්‍රතිශතයකින් ධාවනය වන අතර මෙය 80% – 90% දක්වා පවත්වාගෙන යාමට නම් අනිවාර්යයෙන්ම කෙටි දුර ධාවන බස් රථයකට අවශ්‍ය ඩීසල් ලීටර 60 රජය විසින් නිකුත් කිරීමට ඉඩ දිය යුතු බවයි ඔහු සඳහන් කළේ.

    QR ක්‍රමවේදය යටතේ හෝ කුමන ක්‍රමවේදයක් යටතේ හෝ ප්‍රමාණවත් ලෙස ඩීසල් ලබාදෙන්නේ නම් හෙට දිනයේ සිට සියලු බස් රථ ධාවනය කිරීමේ හැකියාව ලැබෙන බව ඔහු කියා සිටියේය.

    මේ අතර අන්තර් පළාත් බස් රථ ධාවනය වන්නේ ඉතාම සුළු ප්‍රමාණයක් වන අතර සතියකට එම බස් රථ ධාවනය සඳහා ඩීසල් ලීටර 150ක් පමණ අවශ්‍ය වන නමුත් ඔවුන්ට ඩීසල් ලීටර 50ක් 60ක්වත් ලබා නොදෙන බවයි ප්‍රියන්ජිත් මහතා පැවසුවේ.

    පොදු ප්‍රවාහනයේ පවතින බාධා ඉවත්කරගෙන සියලු බස් රථ ධාවනය කිරීමට අවශ්‍ය නම් ප්‍රවාහන අමාත්‍යවරයා බස්රථ හිමි සංගම් සමඟ සාකච්ජා ආරම්භ කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.

    ASK

  • ගාලු මුවදොර වෙරළ තීරයෙන් අදත් මළ සිරුරක් හමුවෙයි!

    ගාලු මුවදොර වෙරළ තීරයෙන් අදත් මළ සිරුරක් හමුවෙයි!

    කොළඹ ගාලු මුවදොර වෙරළ තීරයෙන් නාඳුනන පිරිමි මළ සිරුරක් අදත් (01) හමුවී තිබේ.

    පොලීසිය සඳහන් කරන්නේ වයස අවුරුදු 40 ක් පමණ වන අයෙකුගේ සිරුරක් එලෙස හමු වී ඇති බවයි.

    පසුගිය 30 වැනිදාද ගාලු මුවදොර වෙරළ තීරයෙන් පිරිමි මළ සිරුරක් හමුවූ අතර එය පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකුගේ බව පසුව තහවුරු විය.

  • අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීමට කොවිඩ් අරමුදලෙන් බිලියන 1.8ක්!

    අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීමට කොවිඩ් අරමුදලෙන් බිලියන 1.8ක්!

    කොවිඩ් අරමුදලට ලැබී ඇති පරිත්‍යාගවලින් රු.බිලියන 1.8ක මුදලක් අත්‍යාවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (03) සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව කඩිනමින් අවධානයට ලක්විය යුතු කරුණු සම්බන්ධයෙන් ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දීය.

    මේ වන විට කොවිඩ් වසංගත තත්ත්වය පාලනය වී ඇති හෙයින් එම මුදල් සෙසු සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් යෙදවිය හැකි බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

    රෝහල් සඳහා අවශ්‍ය ඖෂධ වර්ග 234ක් දේශීයව නිෂ්පාදනය කෙරෙන අතර ලෝක වෙළෙඳපොළෙහි ඖෂධ මිල සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින හෙයින් මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන දේශීයව කෙරෙන ඖෂධ නිෂ්පාදන කටයුතු කඩිනමින් ඉහළ නැංවීමටත් ඊට අවශ්‍ය අමුද්‍රව්‍ය ඉන්දීය ණය ආධාර යටතේ ලබාගැනීමටත් ඇති හැකියාව ජනාධිපතිවරයා විසින් පෙන්වා දී ඇත.

    ඔයාමඩුව සහ හොරණ මිල්ලෑව ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ඖෂධ නිෂ්පාදනය කිරීමට ආයෝජකයෝ 12 ක් ඉදිරිපත්ව සිටින බව මෙහිදී නිලධාරීන් පෙන්වා දී ඇති අතර එම නිෂ්පාදන කටයුතු ඉදිරි මාස කිහිපය තුළ ඇරඹීමට අපේක්ෂා කරන බවත් එමඟින් ඖෂධ වර්ග 200කට අධික සංඛ්‍යාවක් නිපදවීමේ ශක්‍යතාව පවතින බවත් සඳහන් කර ඇත.

    සමෘද්ධි සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව ප්‍රාථමික අංශයේ පාසල් දරුවන්ට සහ ගර්භනී මව්වරුන් සඳහා පෝෂණ ආහාර වේලක් ලබාදීමට අවශ්‍ය කටයුතු සැලසුම් කෙරෙමින් ඇති බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කරන ලදී.

    ඖෂධ සහ වෛද්‍ය උපකරණ ආනයනය සඳහා මූලාශ්‍ර කිහිපයකින් මූල්‍ය ප්‍රතිපාදන ලැබෙමින් බව මෙහිදී නිලධාරීන් පවසා තිබේ.

    යෝජිත අයවැයෙන් ද ඒ සඳහා අවශ්‍ය මුදල් වෙන් කර ගැනීමට සැලසුම් කර ඇති අතර දැනට පවතින ප්‍රගතිය මත ඉදිරි තෙමස ඇතුළත සෞඛ්‍යය ක්ෂේත්‍රයේ කටයුතු යථාතත්ත්වයට පත්වනු ඇති බවයි ඔවුන් ජනාධිපතිවරයා වෙත සඳහන් කළේ.

    ASK

  • දුමින්ද සිල්වා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන්. බන්ධනාගාර රෝහලට මාරු කරන්නැයි ඉල්ලීමක්!

    දුමින්ද සිල්වා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන්. බන්ධනාගාර රෝහලට මාරු කරන්නැයි ඉල්ලීමක්!

    මේ වන විට දුමින්ද සිල්වා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ශ්‍රී ජයවර්ධනපුර ස්නායූ ප්‍රතිකාර ඒකකය විසින් බන්ධනාගාර කොමසාරිස්වරයා දැනුවත් කර තිබෙන බව වාර්තා වෙයි.

    ඒ අනුව ඔහුව බන්ධනාගාර රෝහල වෙත රැගෙන යා හැකි බවයි රෝහල විසින් දැනුම් දී ඇත්තේ.

    ජනාධිපති සමාව අත්හිටුවමින් ශ්‍රේෂඨාධිකරණ ලබා දුන් තීන්දුවෙන් පසු ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගර නිලධාරීන් වෙත භාර දී තිබුණි.

    ඒ අනුව දුමින්ද සිල්වා බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවල් මැද එම රෝහලේම ප්‍රතිකාර ලබමින් සිටි අතර මේ වන විට ඔහු හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව රෝහල විසින්ම තහවුරු කර ඇත.

  • කටුනායක ගුවන් තොටුපළේ ඉදිකිරීම් ප්‍රමාදය ගැන ජපන් රජයට පැමිණිලි!

    කටුනායක ගුවන් තොටුපළේ ඉදිකිරීම් ප්‍රමාදය ගැන ජපන් රජයට පැමිණිලි!

    කටුනායක ගුවන් තොටුපලේ නව මගී පර්යන්ත සංකීර්ණයේ ඉදිකිරීම් බරපතළ ලෙස ප්‍රමාද වීම සම්බන්ධව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එම ඉදිකිරීම් කොන්ත්‍රාත් සමාගම්වලට සිය බලවත් අප්‍රසාදය පළ කළේය.

    පසුගියදා එම ඉදිකිරීම් පිළිබඳ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අමාත්‍යවරයා මාධ්‍යයට ප්‍රකාශ කළේ මෙම ඉදිකිරීම් සමාගම් තෝරාගනු ලැබුවේ ජපාන රජය විසින් බවත් එම නිසා මෙම ඉදිකිරීම්වල පවතින බරපතල ප්‍රමාදය පිළිබඳව ජපාන රජයට පැමිණිලි කරන බවයි.

    එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා කියා සිටියේ,මෙම ඉදිකිරීම්වලට අදාළ කොන්ත්‍රාත් අත්සන් තබනු ලැබුවේ මීට වසර අටකට පමණ පෙර බවත්, නමුත් මේ දක්වා එහි සැලකිය යුතු ප්‍රගතියක් දක්නට නැති බවය.

    මෙම ව්‍යාපෘතිය යටතේ නව මගී පර්යන්තයක් හා ඊට අදාළ ගුවන් යානා මෙහෙයුම් පද්ධතිය ද ඉදිකිරීමට සැලසුම් කර ඇත.

    මෙම සමස්ත සංවර්ධන ව්‍යාපෘතියේ සමස්ත වැය ඇස්තමේන්තුව රුපියල් බිලියන එකසිය දහතුනකි (113). ඒ සඳහා ජයිකා ආයතනයද මූල්‍ය දායකත්වය ලබා දී ඇත.

    මෙහි ඉදිකිරීම් 2019 දි සහ 2020 දී ආරම්භ කර ඇති අතර එම කොන්ත්‍රාත් ගිවිසුමට අනුව ඉදිකිරීම් මේ වන විට අවසන් අදියරේ පැවතිය යුතු නමුත්, සෑහීමකට පත්වීමට හැකි තරමට එම ඉදිකිරීම් මේ දක්වා සිදු නොවී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    එසේම මෙම දෙවන පර්යන්තය වර්තමානයේ පවතින ගුවන්තොටුපල පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව ඉදි කිරීමට සැලසුම් කර තිබුණ ද වර්තමානයේ එම මුල් සැලැස්මට පරිබාහිරව එහි ආරක්ෂක පද්ධතිය ජාත්‍යන්තර අයිකාවෝ ප්‍රමිතියෙන් තොරව ඉදිකිරීමට සූදානම් වන බවට තොරතුරු ලැබී ඇති බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසීය.

    ඉදිකිරීම් සමාගමේ උදාසීන තත්ත්වය සහ ඉන්ධන අර්බුදය මෙයට බලපෑව ද එකඟ වූ දිනයට කොන්ත්‍රාත් කටයුතු අවසන් කිරීම කොන්ත්‍රාත්කරුගේ වගකීම බව අමාත්‍යවරයා මෙහි දී තරයේ පෙන්වා දුන්නේය.

    එසේම අතුරු කොන්ත්‍රාත්කරුවන් තෝරාගැනීමේ දී බරපතල අක්‍රමිකතා සිදුවී ඇති බවත් නුසුදුසු අතුරු කොන්ත්‍රාත්කරුවන්ට එම ඉදිකිරීම් කොන්ත්‍රාත්තු භාර දීම ද මෙම සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු අඩාල වීමට හේතු වී ඇති බැවින් එම අතුරු කොන්ත්‍රාත්කරුවන් පිළිබඳව නිසි විමර්ශනයක් කරන ලෙස අමාත්‍යවරයා ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට උපදෙස් දුන්නේය.

    කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දෙවන මගී පර්යන්තයක් සහ ගුවන්යානා මෙහෙයුම් පද්ධතියක් ඉදි කිරීමට ආරම්භ කළේ පවතින මගී පර්යන්තයේ පැවති දැඩි තදබදය සහ ඉඩපාඩු අවම වීම නිසා බව ද අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

    මෙරටට පැමිණෙන සංචාරකයන්ට උපරිම පහසුකම් සහ කාර්යක්ෂම සේවයක් ගුවන් තොටුපොළ තුළ ලබාදීමට මෙම දෙවන මගී පර්යන්ත ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර බව ද අමාත්‍යවරයා සිහිපත් කළේය.

    මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතා ද එහි අධ්‍යක්ෂ මණ්ඩල නියෝජිතයන් ද ජපන් ඉදිකිරීම් සමාගම් හි නිලධාරීහු ද සහභාගි වූහ.

  • ආහාර හිඟයට සහ ගොවියන්ගේ ප්‍රශ්නයට 100%ක් ජනාධිපති වගකිව යුතුයි – දුමින්ද (VIDEO)

    ආහාර හිඟයට සහ ගොවියන්ගේ ප්‍රශ්නයට 100%ක් ජනාධිපති වගකිව යුතුයි – දුමින්ද (VIDEO)

    ආහාර හිඟයට සහ ගොවියන්ගේ ප්‍රශ්නයට 100%ක් වගකිව යුතු වන්නේ ජනාධිපතිවරයා බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසුවේය.

    මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (02) විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන දැනුවත් කිරීමේ රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

    එවැනි තත්ත්වයක් ඇති වූයේ ජනාධිපතිවරයා තනිව ගත් තීන්දු තීරණ නිසා බවයි දිසානායක මහතා කියා සිටියේ.

    විශේෂයෙන් පොහොර ප්‍රශ්නය ගැන සෙසු ඇමතිවරු සහ නිලධාරීන් කොතෙක් කීවද අවසානයේ තීන්දුව ගත්තේ ජනාධිපතිවරයා බව හෙතෙම සඳහන් කරන ලදී.

    එදා ඔහුව ආරක්ෂා කිරීමට කටයුතු කළද අද ඇමතිවරු මෙන්ම නිලධාරීන්ද පවසන්නේ පොහොර සම්බන්ධයෙන් ගත් තීරණයේ බරපතලකම පෙන්වා දුන්නද එය නොඇසූ බව යැයිද මන්ත්‍රීවරයා කියා සිටියේය.

    දැන් කළ යුතු වන්නේ ආර්ථික ප්‍රශ්නය කැබිනට් මණ්ඩලයට භාර දී දේශපාලන ප්‍රශ්නය පාර්ලිමේන්තුව විසින් විසඳා ගත යුතුව ඇති බවයි දුමින්ද දිසානායක මහතා තවදුරටත් ප්‍රකාශ කළේ.

    ASK

  • රනිල් රට වෙනුවෙන් පක්ෂයේ වගකීම් අතහරී – සියලු වගකීම් දෙවැනි පෙළ නායකයන්ට!

    රනිල් රට වෙනුවෙන් පක්ෂයේ වගකීම් අතහරී – සියලු වගකීම් දෙවැනි පෙළ නායකයන්ට!

    රට වැටී තිබෙන අගාධයෙන් ගොඩ ගැනීම සඳහා සිය සම්පූර්ණ කාලයම යෙදවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ඇතුළු සියලු වගකීම් දෙවැනි පෙළ නායකයන් වෙත පැවරීමටයි වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙන්නේ.

    සිරිකොත එජාප මූලස්ථානයේදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමග පැවති සාකච්ඡාවකදී රනිල් වික්‍රමසිංහ මහතා සිය තීරණය ප්‍රකාශයට පත්කර ඇති අතර පක්ෂයේ දේශපාලන කටයුතුවල සියලු වගකීම් පක්ෂ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතාට පවරා තිබෙනවා.

    පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතුවල නායකත්වය රුවන් විජේවර්ධන මහතාට පවරා ඇති අතර මින් ඉදිරියට එජාප නායකයා පක්ෂයේ කිසිදු කටයුත්තකට මැදිහත් නොවනු ඇත.

    UN

  • මහින්ද කහඳගමත් අත්අඩංගුවට ගනී

    මහින්ද කහඳගමත් අත්අඩංගුවට ගනී

    කොළඹ මහ නගර සභාවේ පොදුජන පෙරමුණු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගමගේ මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් පිරිසක් විසින් අද දහවල් නාගරික මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

    පසුගිය මැයි 09 වැනිදා ගෝඨාගෝ ගම සහ මයිනාගෝ ගම විරෝධතාවලට පහරදීම සම්බන්ධයෙන් කහඳගමගේ මහතාටද චෝදනා එල්ල වී තිබිණි.

    කහඳගමගේ මහතා අත්අඩංගුවට ගන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබූ අතර ඊට අවනතවෙමින් ඔහු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර වී තිබෙනවා.

    UN

  • ඉන්දියාව නැති වුණා නම් කන්නත් නෑ වගේ තමයි පෙනෙන්න තියෙන්නේ ! (VIDEO)

    ඉන්දියාව නැති වුණා නම් කන්නත් නෑ වගේ තමයි පෙනෙන්න තියෙන්නේ ! (VIDEO)

    පෙනෙන්න තියෙන විදිහට දැන් ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් වගේ යැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසුවේය.

    මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (02) පාර්ලිමේන්තුවේදී පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

    ඉන්දියාව නැති වුණහොත් කන්නත් නැති තත්ත්වයක් ඇති බව පෙනෙන්නට තිබෙන අතර පසුගිය කාලයේදී ඉන්දියාවට එරෙහිව කටයුතු කළ අය දැන් තත්ත්වය තේරුම් ගත යුතුව ඇති බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

    කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය ආරක්ෂා කර ගත යුතු අතර මෙය ඉන්දියාවේ ප්‍රාන්තයක් විය යුතු නැති බවද හෙතෙම අවධාරණය කළේය.

    ASK