Author: MIAP

  • ශ්‍රීලංකන් ගුවන් සමාගමට එයාර්බස් සමාගමෙන් ඩොලර් මිලියන 200 කට අධික වන්දියක්?

    ශ්‍රීලංකන් ගුවන් සමාගමට එයාර්බස් සමාගමෙන් ඩොලර් මිලියන 200 කට අධික වන්දියක්?

    ඉසුරු පරාක්‍රම

    අප්‍රේල් 20, කොළඹ (LNW): යුරෝපීය එයාර්බස් සමාගමෙන් ඇ.ඩො. මිලියන 200 කට අධික වන්දියක් ඉල්ලීමට ශ්‍රීලංකන් ගුවන් සමාගම කටයුතුකර ඇති බව වාර්තා වේ.

    ඒ, එයාර්බස් සමාගම විසින් නිශ්පාදිත A330-300 සහ A350-900 මාදිලියේ ගුවන්යානා ශ්‍රී ලංකාව වෙත මිලදී ගැනීම සම්බන්ධයෙන් මෑත අතීතයේ පැණ නැඟි අභියෝගවලට පිළියමක් වශයෙනි.

    ඒ අනුව, පෙර බෙදාහැරීමේ ගෙවීම් ලෙස ඇ.ඩො. මිලියන 23.3 ක මුදලක් ද, මෙරටට ලැබීමට නියමිත A330neo මාදිලියේ ගුවන් යානා හතරකට අදාළව ඇ.ඩො. මිලියන 200 ක වන්දියක් ද එම සමාගමෙන් ඉල්ලා සිටීමට කටයුතු කරන බවයි ශ්‍රීලංකන් ගුවන් සමාගම පවසා සිටියේ. 

    මෙම වන්දිය හිමිවීමෙන් A330neo මාදිලියේ ගුවන්යානා මුදල් ගෙවීමකින් තොරව ම ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවයි එම සමාගම පුරෝකථනය කරන්නේ. 

    A330-300 සහ A350-900 මාදිලියේ ගුවන්යානා ශ්‍රී ලංකාව වෙත ලබා ගැනීම සම්බන්ධයෙන් විවිධ දුෂ්කරතාවලට මුහුණදීමට සිදු වූ අතර, ගෝලීය බදු ලබා දෙන්නන්ගෙන් ලැබුණු සහයෝගය මත එම ගනුදෙනුවෙන් කොටසක් පමණක් සාර්ථකකර ගැනීමට හැකිවිය. 

    ශ්‍රී ලංකාව වෙත A330-300 මාදිලියේ ගුවන්යානා හයක් ද, A350-900 මාදිලියේ ගුවන්යානා හතරක් ද ලබා ගැනීම සඳහා එයාර්බස් සමාගම සමඟ එකඟතාව ඇතිවූයේ 2013 වර්ෂයේවන අතර, එම ගනුදෙනුව අතරවාරයේ සිදු වූ දූෂණ ක්‍රියාවන් හේතුවෙන් එය සාර්ථක කර ගැනීමට අපොහොසත් විය.

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඉතිහාසය තුළ හටගත්, කුප්‍රකට එයාර්බස් ගනුදෙනුව නමින් විරුදාවලිය ලත් මෙම සිදුවීම හේතුවෙන් එයාර්බස් සමාගම ශ්‍රී ලංකාව වෙත ගුවන්යානා විකිණීම සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් මතුවිය. 

    මෙම සිදුවීම මඟින් සමාගම්වලටත් වඩා ශ්‍රී ලංකාවේ කීර්තිනාමයට හානියක් ඇති වූ අතර, වර්තමානය තුළ එයාර්බස් සමාගමෙන් වන්දි ඉල්ලා සිටීමට ශ්‍රීලංකන් ගුවන් සමාගම කටයුතුකර ඇත. 

    මෙම වන්දි ලබා ගැනීම සඳහා මූලිකත්වය ගෙන ඇත්තේ, ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අලුතින් පත්කරන ලද සභාපතිවරයා විසිනි. අරමුදල් ද ඇතුළු ව ශ්‍රීලංකන් ගුවන් සමාගමට අයත් දේ නැවත ලබා ගන්නා බවට වූ දැඩි ස්ථාවරයේ ඔහු පසුවෙයි. 

    එයාර්බස් සමාගමෙන් වන්දි ලබා ගැනීමට කටයුතු කිරීමට අමතරව, රෝල්ස් රොයිස් සමාගම සමඟ අලුතින් සාකච්ඡා පැවැත්වීමට ද ශ්‍රීලංකන් ගුවන් සමාගම කටයුතු කරන බවට වාර්තා වේ. 

    දූෂණ අක්‍රමිකතා චෝදනා අතින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඉතිහාසය පිරී ඇති අතර, එම සමාගමේ දෛනික වැඩකටයුතුවලට දේශපාලන අස්ථාවරත්වය ප්‍රභල හේතුවක් වී ඇති බව සඳහන්.

    මේ අතර, ප්‍රධාන විධායක නිලධාරී තනතුර තවමත් පුරප්පාඩු වී තිබීම ඇතුළු, ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ජ්‍යෙෂ්ඨ කලමනාකාර මණ්ඩලයේ වරින්වර ඇති වූ වෙනස්කම් ද එම සමාගමේ මතු ව ඇති අර්බුදකාරී වාතාවරණයට හේතු වී ඇත.

    එවන් වාතාවරණයක් තුළ, එයාර්බස් සමාගම සහ ශ්‍රීලංකන් ගුවන් සමාගම අතර පවතින පළුදු වූ සම්බන්ධතාවය යළි ශක්තිමත්කර ගැනීමේ අවශ්‍යතාවය මතුව ඇත. එය එසේ සිදුවන්නේ නම්, සිදු වූ පාඩුවට වන්දි ලබා ගැනීම අත්‍යාවශ්‍යවනු ඇත.

    විශේෂයෙන් ම, ගුවන් සමාගම් සඳහා මෙවන් මිලදී ගැනීම් සිදුකරනවිට සැලකියයුතු මට්ටමක වට්ටම් පවා ලබා දෙන පසුබිමක, ලැයිස්තුගත වටිනාකමට වඩා බෙහෙවින් වැඩි මිලකට එයාර්බස් ගුවන්යානා මිලදී ගැනීම සඳහා අල්ලස් ලබා ගැනීමට ශ්‍රීලංකන් ගුවන් සමාගම කටයුතුකර ඇති බවට වාර්තාවන නිසා, මෙම සමාගම් දෙක අතර පවතින වෘත්තීමය සම්බන්ධතාවය යළි ගොඩනඟා ගැනීම බෙහෙවින් වැදගත්වනු ඇත.

  • කලාත්මා හුටපටය: ඇවිස්සූ කුණු රස කතා අපහාස නඩුවලින් කෙළවර වෙයි ද?

    කලාත්මා හුටපටය: ඇවිස්සූ කුණු රස කතා අපහාස නඩුවලින් කෙළවර වෙයි ද?

    ඕවින්දි විෂ්මිකා

    අප්‍රේල් 15, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ටික්ටොක් නිර්මාණකාරිනියක් වන කලත්මා හිටිහාමිගේ විසින් පසුගිය දිනක පළ කළ සරල වීඩියෝවක් දැන් විශාල නීතිමය සංසන්දනයක් සතු කතාබහකට හේතුවී ඇත. ඒ ප්‍රසිද්ධ පුද්ගලයින් සම්බන්ධ කරගනිමින් අපකීර්තිමත් කතා බෙදා ගැනීමට පරිශීලකයින්ට ආරාධනා කරමින් ඇය දැමූ පෝස්ටුවක් හේතුවෙනි.

    දින කිහිපයක් ඇතුළත සමාජ මාධ්‍යය උණුසුම් කළ මෙම සිදුවීම අද වන විට ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍යයේ අපහාස නීතිය, වගකීම් සහ ප්‍රසිද්ධි හිමිකම් පිළිබඳව දැඩි අවධානයකට ලක්වෙමින් තිබේ.

    සතියකටත් අඩු කාලයකදී මිලියන දෙකකට අධික නැරඹුම් වාරයන් ලබාගෙන ඇති මෙම වීඩියෝව එකිනෙකාගේ අදහස් උදහස් 20,000 කට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ඇති පෝස්ටුවකි. ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධියට පත් පුද්ගලයින් කිහිප දෙනෙකුට එල්ල කර ඇති බරපතල චෝදනා ඇතුළුව එහි අන්තර්ගතය පිළිබඳව පුළුල් විවාදයක් මෙන්ම ඒවාට තර්ජනාත්මක ප්‍රතිචාරයන්ද එහි නොඅඩුව දක්නට ලැබිණි.බොහෝ අදහස්වල පෙන්වා දී ඇත්තේ ප්‍රසිද්ධ චරිතයන්ගේ නම් සහ සැලකිය යුතු චෝදනා ය.

    තමාට එරෙහිව පවතින චෝදනා මත, කලත්මා සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ විශේෂ ප්‍රකාශයක් නිකුත් කළාය. “මම Gossip එකක් හෝ නින්දාකාරී අදහස් සඳහා වීඩියෝවක් පළ කළේ නැත.” පෝස්ටුවේ පළමු අදහස් කිහිපය ආදරණීය වූ බවත් හුදෙක් විනෝදාස්වාදය සඳහා පෝස්ටුව පළ කළ බවත් ඇය සඳහන් කළාය.

    නමුත් ඇය පිළිගන්නා අයුරින්, වීඩියෝව වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟම පණිවිඩ ප්‍රභවය පාලනය කිරීම අසීරු වී ඇත. “මම මුලදී අනවශ්‍ය ප්‍රකාශයන් මකා දැමුවා. නමුත් 20,000 ක ප්‍රමාණය ඉක්මවුවහොත් එහෙම තනි කෙනෙක්ට පාලනය කරන්න බැහැ,” යැයි හෙතෙම තවදුරටත් පැවසුවාය.

    අනපේක්ෂිත ලෙස මේ සිදුවීම නරක අතට හැරෙමින් පැවතිනි. එහි ටික්ටොක් අනුගාමිකයින් ඔවුන්ට හමුවූ ජනප්‍රිය පුද්ගලයින්ගේ හමුවීම් පමණක් නොව, ඔවුන් දන්නා වඩාත්ම මතභේදාත්මක කතාද ඒ ඔස්සේ බෙදා ගන්නා ලෙස ඉල්ලා සිටීමත් ඒ පෝස්ටුවේ ඇතුළත් වූ අතර ඊට මෙලෙස ගිනි අවුලුවන ප්‍රතිචාර රාශියක් ලැබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ තරමක් අප්‍රකට නමුදු ප්‍රබල වූ නීති ක්ෂේත්‍රයේ වූ අපහාස නීතිය යළිත් කරළියට පැමිණ ඇත.

    ශ්‍රී ලංකාව අපරාධාත්මක අපහාස නීතිය 2002 වර්ෂය වන විට අහෝසි කළද, සිවිල් අපහාස නීතිය තවමත් ක්‍රියාකාරීව පවතී. නීතිමය අනුකූලව පුද්ගලයෙකුගේ කීර්තියට හානි සිදු වන පරිදි අසත්‍ය තොරතුරු පළකෙරේ නම්, අදාළ පුද්ගලයාට වන්දි ඉල්ලා නඩු පවරිය හැකිය.

    මෙහි වැදගත්ම කරුණ වන්නේ “ප්‍රකාශනය” යන සංකල්පයයි. යම්කිසි අපහාසකාරී අදහසක් දක්වන ලෙස තුන්වන පාර්ශ්වයකට ප්‍රකාශ කිරීමෙන් පසුව, එම පුද්ගලයා හට නීතිමය වශයෙන් වගකීම් ඇතිවිය හැක. මේ මත පදනම්ව, නීතිඥයන් කියා සිටින්නේ, කලත්මාගේ වීඩියෝව යටතේ පළ වූ අදහස්, ඇයගේ ගිණුම යටතේ පළ වී ඇති නිසා, ඇය ප්‍රකාශකයෙකු ලෙස සැලකිය හැකි බවයි.එනම් ඇය නීතිමය වශයෙන් එම ක්‍රියාව සම්බන්ධයෙන වගකීමක් දරන බවයි.

    නීතිමය විශ්ලේෂකයන්ට අනුව, කලත්මාට එරෙහිව නඩු පැවරීමට නම් ඇය විසින් කිසිදු ප්‍රකාශයක් මකා දැමීමට කිසිදු ආකාරයෙන් උත්සාහයක් නොගත් බවත් ඒවා පවතින බව දැන සිටි නමුත් ක්‍රියා නොකර වගකීම පැහැර හැර ඇති බවට සාධක ඉදිරිපත් විය යුතු බවයි.

    තවද නඩුවක් පවරන්නට පෙර, නීතියේ ප්‍රකාරව එන්තරවාසියක් යැවිය යුතු වන අතර එයට පිළිතුරක් නැත්නම්, දිස්ත්‍රික් නියෝජිත අධිකරණයක නඩු පවරිය හැක. එහිදී චූදිත පාර්ශවය විසින් වන්දි මුදල් ලෙස ලක්ෂ 50 කට ආසන්න ප්‍රමාණයක් ගෙවිය යුතු වන අතර ප්‍රසිද්ධ පුද්ගලයින් කිහිප දෙනෙකුට අනිසිදායක මහජන ප්‍රතිචාර එල්ල වූ බැවින් එය තවත් ඉහළටත් යා හැක.

    මෙම සිද්ධිය, තරුණ නිර්මාණකරුවන් වටා පවතින නීතිමය සීමාවන් පිළිබඳ දැඩි සිතැඟිමක් ඇති කරයි. මන්ද ඔවුන්ගේ සමාජ මාධ්‍ය ජාලා ඒ පිළිබඳ කිසිදු හෝ දැනුමක් සහ නීතිමය උපදෙස් පිළිබඳ කිසිදු හෝ දැනුමක් නොමැති විශාල ප්‍රේක්ෂක ජනකායකට මාධ්‍ය වේදිකාවක් බවට පත්වී ඇත. සමහරවිට ඇය මෙතරම් දෙයක් බලාපොරොත්තු නොවන්නට පුලුවන! නමුත් දැන් වන විට එය විනාශකාරී හැඟීම් දනවන සුළු තත්ත්වයක් දක්වා උද්ගත විය.

    විචාරකයින් තර්ක කරන්නේ, තත්වය උත්සන්න වූ පසු කලාත්මා වීඩියෝව මකා දැමිය යුතුව හෝ අදහස් අක්‍රිය කළ යුතුව තිබූ බවයි. ඇයගේ ආරක්ෂාව වෙනුවෙන් ඇය තවදුරටත් ප්‍රකාශ කළේ “මෙම චෝදනාවලින් සමහරක් සත්‍ය නම් කුමක් කළ යුතුද? ඔවුන්ගේ කථා දැක්විය හැකි ඩිජිටල් අවකාශයක් අවශ්‍ය සැබෑ වින්දිතයින් සිටී නම් කුමක් කළ යුතුද?” යන්නයි.

    කෙසේ වෙතත්, අදහස් දැක්වීමේහී ලා කරන ලද කිසිදු ප්‍රකාශයක් අනුමත නොකරන, තහවුරු කරන හෝ ප්‍රතික්ෂේප නොකරන බව ඇය පැහැදිලි කළාය.

    නීතිමය ක්‍රියාමාර්ග ගනු ලැබුවත් නැතත්, මෙම සිදුවීම තවදුරටත් ව්‍යාකූල වීමේ අවදානමක් පිළිබඳ කරුණු අවධාරණය වී ඇත. නිර්නාමික පරිශීලකයින් විසින් මිනිත්තු කිහිපයකින් මහජන කීර්ති නාමයට හානි කළ හැකි යුගයක, ඩිජිටල් නිර්මාණකරුවන්ගේ වගකීම් වර්ධනය වෙමින් පවතී. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පරිශීලකයින් දැන් නිදහස් කථනය සහ කීර්ති නාමයට හානි කිරීම අතර වූ ආතතිය සමඟ පොරබදමින් සිටිති.

    කලාත්මාගේ අත්දැකීම රට පුරා ඩිජිටල් නිර්මාණකරුවන්ට අනතුරු ඇඟවීමේ කතාවක් ලෙස සේවය කළ හැකිය. ඇගේම වචන වලින්: “මම වැරදි හේතු නිසා ජනප්‍රිය වී ඇති බව මම දනිමි. නමුත් ඉදිරියට හොඳ දෙයක් සඳහා මෙම වේදිකාව භාවිතා කිරීමට මම බලාපොරොත්තු වෙමි.”

    ඩිජිටල් ක්ෂේත්‍රය පරිණාමය වන විට, ඊළඟ සමාජ සංසිද්ධිය විශාල කුණාටුවක් ඇති කිරීමට පෙර එය පාලනය කරන නීති, සම්මතයන් සහ ආචාර ධර්ම සමාජ කළ යුතු බව බොහෝ දෙනාගේ අදහසයි.

  • ක්‍රීඩකයින් 45 ට ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් කොන්ත්‍රාත් පිරිනමයි

    ක්‍රීඩකයින් 45 ට ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් කොන්ත්‍රාත් පිරිනමයි

    නිශ්මං රණසිංහ අප්‍රේල් 08 කොළඹ LNW :

    පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයින් 45 දෙනෙකුට 2025 වර්ෂය සඳහා ක්‍රිකට් කොන්ත්‍රාත් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු කර තිබෙනවා.රටේ ජාතිතක ක්‍රිකට් සංචිතය ශක්තිමත්ව පවත්වා ගෙන යාමේ අරමුණෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ප්‍රමුඛ විධායක සභාව මෙම තීරණය ගෙන තිබෙනවා.

    මෙම කොන්ත්‍රාත් පිරිනැමීම සහ ඒ,බී,සී,සහ ඩී ලෙස වර්ගීකරණය සිඳු කිරීම සඳහා පදනම් කරගෙන ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ඉදිරිපත් කරන ලද නිර්නායකයි.

    ඒ කාණ්ඩය

    1.) ධනංජය ලක්ෂාන්
    2.) ලහිරු මධුශංක
    3.) නිපුන් රන්සික
    4.) ෂෙවෝන් ඩැනියෙල්
    5.) අහන් වික්‍රමසිංහ
    6.) නිරෝෂන් දික්වැල්ල
    7.) ඉසිත විජේසුන්දර
    8.) නිමේෂ් විමුක්ති
    9.) තරිඳු රත්නායක
    10.) නිපුන් ධනංජය
    11.) නිසල තාරකා
    12.) කමිල් මිෂාරා
    13.) අශේන් බණ්ඩාර
    14.) රවිඳු ප්‍රනාන්දු
    15.) චාමික ගුණසේකර
    16.) වනුජ සහන්
    17.) ලසිත් කෲස්පුල්ලේ
    18.) විශාද් රන්දික
    19.) දිනුර කළුපහන
    20.) ලසිත් ඇඹුල්දෙණිය

    බී කාණ්ඩය
    1.) සනෝජ් දර්ශික
    2.) කවිශ්ක අංජුල
    3.) දිලුම් සුදීර
    4.) Ashian Daniel
    5.) රොන් චන්ද්‍රගුප්ත

    සී කාණ්ඩය
    1.) කවීන් බණ්ඩාර
    2.) මුදිත ලක්ෂාන්
    3.) රවිඳු රශාන්ත
    4.) තනුක දාබරේ
    5.) මොහොමඩ් ෂමාස්
    6.) ජනිෂ්ක පෙරේරා
    7.) සොහාන් ද ලිවේරා
    8.) සහන් කෝසල
    9.) ෂම්මු අශාන්
    10.) දුවිඳු තිලකරත්න

    ඩී කාණ්ඩය
    1.) ආර්.පී.එන්. ප්‍රියදර්ශන
    2.) ටී.එන්. සම්පත්
    3.) NC කොමසාරු
    4.) ඩබ්ලිව්ජීආර්එල් විජේනායක
    5.) WWAG මනීෂන්
    6.) ආර් පී තටිල්
    7.) කේපීඑන්කේ කරුණානායක
    8.) අයිඑස්එස් සමරසූරිය
    9.) දුෂාන් විමුක්ති
    10.) ලක්ෂාන් සඳකැන්

    http://www.sportwaynews.com/

  • සත්සර නිමේෂ්ගේ නික්ම යාම: සිදුවූයේ කුමක්ද?

    සත්සර නිමේෂ්ගේ නික්ම යාම: සිදුවූයේ කුමක්ද?

    ඕවින්දි විෂ්මිකා

    අප්‍රේල් 07, කොළඹ (LNW): පසුගිය දින වාර්තා වූ වැලිකඩ පොලිස් භාරයේ සිටියදී රෝහල්ගත කරන ලද තරුණයෙකුගේ මියයෑම සම්බන්ධයෙන් මේ වන විට දැඩි මතභේදාත්මක තත්වයක් නිර්මාණය වී ඇත.ඒ සම්බන්ධයෙන් දැඩි විමර්ශනයක් ආරම්භ කිරීමට පොලිස් නිලධාරීන්ට මේ වන විටත් නියෝග කර ඇති බවට වාර්ථා වේ.

    තවද සිද්ධිය සම්බන්ධයෙන් සහ පොලිස් නිලධාරීන්ගේ ක්‍රියා කලාපයන් සම්බන්ධව විශ්වාසනීය හා අපක්ෂපාතී විමර්ශනයක් සිදුකිරීමට ක්‍රියා කළ යුතු බවත් එහිදී නියෝග කරන ලදී.

    ඒ සඳහා වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා එම ධූරයෙන් ඉවත් කර ඇති අතර තවත් සැරයන්වරයෙකුගේ හා කොස්තාපල්වරයෙකුගේ රාජකාරි තහනම් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇත. වැලිකඩ පොලිස් භාරයේ සිටියදී රෝහල්ගත කරන ලද පුද්ගලයෙකු මියයෑම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් අරඹන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.
බදුල්ල මීගහකිවුල ප්‍රදේශයේ පදිංචි 26 හැවරිදි තරුණයකු වන නිමේෂ්, අප්‍රේල් 1 වන දින නාවල නිවසකට අවසරයකින් තොරව ඇතුළු වූ බවට චෝදනා එල්ල වීමෙන් පසුව අත්අඩංගුවට ගන්නා ලදී. පොලිස් වාර්තාවලට අනුව, නිමේෂ් අත්අඩංගුවට ගැනීමේදී මානසික ව්‍යාකූලතාවයකින් පෙලුණු බව පෙනෙන්නට තිබූ අතර, ඔහුගේම ආරක්ෂාව සඳහා නිලධාරීන් ඔහුව රඳවා තබා ගැනීමට පෙළඹුණු බව එහිදී තවදුරටත් සඳහන් විය.

    කෙසේ වෙතත්, පොලිස් සිර මැදිරියේ සිටි කාලය තුළ, නිමේෂ් අනිසි ලෙස ක්‍රියා කළ බවට චෝදනා එල්ල වූ අතර ඊට ප්‍රතිචාර වශයෙන්, ඔහුව මුල්ලේරියාව මානසික රෝහලට මාරු කරන ලදී.එහිදී ඔහු ප්‍රතිකාර ලබමින් සිටියදී 2025 අප්‍රේල් 2 වන දින අලුයම මිය ගිය බවට වාර්ථා විය.

    ‘’අනේ මගේ රත්තරන් පුතේ, උඹට කෝටු පාරක්වත් ඉවසන්න බැහැ පුතේ. මගේ පුතාගේ ඇඟේ මෙච්චර පාරවල් ඇයි. ගහලා මරන්නේ නැතිව පණ තියලා පුතාව මට දුන්නා නම් මගේ හුස්ම දීලා මගේ රන්කඳ මම ගෙදර ගෙනියනවා.’’

නිමේෂ්ගේ මව එලෙස හඬා වැලපෙන්නේ නිලධාරීන් ඔහුට පහර දී ඇති බවට දෝෂාරෝපණ එල්ල කරමිනි.කෙසේවෙතත් නිමේෂ්ගේ මරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය මෙන් ම සෙසු මාධ්‍යය ද පුළුල් ප්‍රචාරයක් ලබාදී තිබිණි.

    එම නිසාවෙන් මෙම තරුණයා අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් නිලධාරීන් ඔහුට පහරදීමක් සිදුකර ඇත් ද යන්න තහවුරු කර ගැනීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා මෙම විමර්ශනය අරඹන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

    තවද මෙම සිදුවීමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව පුරා විරෝධතා රැල්ලක් පැතිර ගොස් තිබේ. මෙම ඛේදවාචකය මහජන කෝපයට හේතු වී ඇති අතර, ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන තුළ යුක්තිය, සාදාරණය සහ ඒවායෙහි සිදුවන අකටයුතුකම් නීතියේ රැහැනට අසුකර ගන්නා ලෙසට ඉල්ලා විරෝධතාකරුවන් විරෝධතාවන් දියත් කර ඇත.

    2025 අප්‍රේල් 6 වන දින සවස කොළඹ වැලිකඩ පොලිස් ස්ථානය ඉදිරිපිට ඉටිපන්දම් දල්වා පුද්ගලයින් 120 ක් පමණ එක්රැස් වූ විරෝධතාවයක් පැවැත්විණි. සිසුන්, ක්‍රියාකාරීන් සහ සැලකිලිමත් පුරවැසියන් ඇතුළු පිරිස නිමේෂ්ගේ මරණය සම්බන්ධයෙන් ඔවුන්ගේ කෝපය සහ ශෝකය ප්‍රකාශ කළ අතර, එය පොලිස් කෲරත්වයේ ප්‍රතිඵලයක් විය හැකි යැයි විශ්වාස කරති.

    නිමේෂ්ගේ විරෝධතාවයේ සංවිධායකයෙකු වන සුචිත් අබේවික්‍රම ප්‍රකාශ කළේ නීතිය ක්‍රියාත්මක කරන්නන් අතින් රටේ ජනතාවගේ ජීවිත වලට අවදානමක් එල්ල වී ඇති නිසා මෙම සිදුවීම එක් අයෙකුට පමණක් නොව බොහෝ දෙනෙකුගේ ජීවිත වලට බලපෑම් ඇති කළ හැකිය යන්නයි.”මෙය එක් මිනිසෙකු ගැන පමණක් නොවේ,” අබේවික්‍රම පැවසීය. “ඊළඟ ගොදුර ඕනෑම අයෙකු විය හැකිය – ඔබේ මිතුරා, ඔබේ පවුලේ අය හෝ ඔබ ද විය හැකියි.”

    ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද මෙම තරුණයාගේ මියයෑම සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළකර තිබිණි.

එම සංගමය පවසන්නේ, තරුණයා අත්අඩංගුවේ සිටියදී මාරාන්තික තුවාල ලබා ඇති බවට වාර්තා පළ වීමත් එම තුවාල තමන් විසින් ම සිදුකර ගත් ඒවා බවට ප්‍රකාශ කිරිමත් පිළිබඳව කනස්සල්ලට පත්ව ඇති බව ය.

    සිරකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ කමිටුව (CPRP) ද සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් සහ විනිවිදභාවී පරීක්ෂණයක් ඉල්ලා සිටින අතර, නිමේෂ් අත්අඩංගුවේ සිටියදී වධහිංසාවලට ලක් වී ඇති බවට ඔවුහු චෝදනා කරති.


    මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වමින් එම සමාජ ක්‍රියාකාරීන් අවධාරණය කළේ මෙම ගැටළුව දිගු කලක් තිස්සේ පාලනයකින් තොරව සිදුවන බවත් පොලිස් අත්අඩංගුවේ සිටියදී මියයන්නන් සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවත් වගකිව යුතු පාර්ශවයන් නිහඬ පිළිවෙත් අනුගමනය කරන බවත්ය.

    එමෙන්ම නීති විශේෂඥයින් සහ මානව හිමිකම් කණ්ඩායම් අපක්ෂපාතී පරීක්ෂණයක වැදගත්කම අවධාරණය කර ඇති අතර, නීතිඥ තරුෂි දිෂාරා ප්‍රකාශ කර ඇත්තේ මෙම නඩුවේ විනිවිදභාවය නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම සඳහා ඉතා වැදගත් බවයි.

    මේ අතර, නිමේෂ්ගේ පවුල සහ සිවිල් සමාජ සංවිධාන පොලිස් බලකාය තුළ ප්‍රතිසංස්කරණය කළ යුතු දිගු කලක් තිස්සේ ක්‍රියාත්මක නොකරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා තිබේ. නිලධාරීන් සඳහා වඩා හොඳ පුහුණුවක්, විශේෂයෙන් මානව හිමිකම් සහ මානසික සෞඛ්‍ය ගැටළු ඇති පුද්ගලයින්ට සැලකීම මෙන්ම වගකීම් සහගතව කටයුතු කිරීම සහ අධීක්ෂණ යාන්ත්‍රණ මෙයට ඇතුළත් වේ. මහජනතාව සමඟ පොලිස් අන්තර්ක්‍රියා වලදී වැඩි විනිවිදභාවයක් සහතික කිරීම සඳහා පොලිස් ස්ථානවල සීසීටීවී පද්ධති වැනි තාක්ෂණික මෙවලම් යොදා ගත යුතු බවටද ඔවුන් විසින් යෝජනා ඉදිරිපත් කළ ඇත.

    සත්සර නිමේෂ්ගේ මරණය පොලිස් කෲරත්වය, වගකීම් විරහිතකම සහ ශ්‍රී ලංකාව තුළ නීතිය ක්‍රියාත්මක කිරීමේ පද්ධතියේ ප්‍රතිසංස්කරණ සඳහා වු හදිසි අවශ්‍යතාවය පිළිබඳ ජාතික සංවාදයක් ඇති කර තිබේ. බලධාරීන් විසින් මූලික පියවර කිහිපයක් ගෙන ඇති අතර, ක්‍රියාකාරීන් සහ නීති වෘත්තිකයන් අවධාරණය කරන්නේ රජය පද්ධතිමය ප්‍රතිසංස්කරණයකට කැපවී පොලිස් විෂමාචාරය හේතුවෙන් පීඩාවට පත් වූවන්ට යුක්තිය සහතික කළහොත් පමණක් අර්ථවත් ප්‍රතිසංස්කරණයක් බලාපොරොත්තු විය හැකි බවයි. විමර්ශනයන්ගේ ප්‍රතිඵලයක් ලෙස නිමේෂ්ගේ ඛේදජනක මරණය රටේ පොලිස් පද්ධතියේ කල් පවතින වෙනසක් සඳහා උත්ප්‍රේරකයක් ලෙස සේවය කරනු ඇතැයි යන්න සැවොමගේ බලාපොරොත්තුවයි.

  • NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි – ඇමෙරිකානු සරසවිය සමඟ සහයෝගීතා ගිවිසුමකට අත්සන් තබයි

    NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි – ඇමෙරිකානු සරසවිය සමඟ සහයෝගීතා ගිවිසුමකට අත්සන් තබයි

    ඇමෙරිකානු තානාපතිනී ජුලී චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන්කළ NSBM හරිත සරසවියට පැමිණියා ය. ඈ පැමිණියේ NSBM හරිත සරසවියටත් ජාත්‍යන්තර මට්ටමේ උසස් අධ්‍යාපනයක් ලැබීමට නොනිත් ආශාවෙන් පෙළෙන ශ්‍රී ලාංකික දරු දැරියන්ටත් සුබාරංචියක් රැගෙන ය. ඇය හරිත සරසවියට ආවේ ඇමරිකා එක්සත් ජනපදයේ ඉහළම පිළිගැනීමක් තිබෙන ඇමරිකානු විශ්වවිද්‍යාලය සමඟ සහයෝගීතා ගිවිසුමකට අත්සන් තබන ගෞරවනීය අවස්ථාවට සහභාගී වීමට ය. ඒ නිසා ඇය හරිත සරසවියට පැමිණි ගමන ජාත්‍යන්තර මට්ටමේ පිළිගත් විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලැබීමට නොනිත් ආශාවෙන් පෙළෙන ශ්‍රී ලාංකික දරුදැරියන්ට ගෙනා සුබ ආරංචියකි. ඒ සඳහා විශ්වවිද්‍යාල දෙක අතරත්, රටවල් දෙක අතරත් අවබෝධය ඇතිකොට මඟ පෙන්වා දී තිබුණේ වර්තමානයේ ඇමරිකා එක්සත් ජනපදයේ තානාපති ගරු මහින්ද සමරසිංහ මැතිතුමාත්, එතුමාගේ මෙහෙයවීමෙන් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයත් විසිනි.

    හරිත සරසවිය සමඟ සහයෝගීතා ගිවිසුමකට එළඹුන ඇමරිකානු සරසවිය 1893 දී පිහිටුවනු ලැබූ දැනට වසර එකසිය තිස් දෙකක් පැරණි ‌ෙඑතිහාසික වටිනාකම් රැසක් රැගත් වොෂිංටන් නගරයේ තිබෙන විශ්වවිද්‍යාලයකි. එය සියවසකට අධික කාලයක් ඇමරිකාවේත් ලෝකය පුරාමත් දේශපාලන නීති, ජනමාධ්‍ය සංස්කෘතික සේම ආර්ථික ක්ෂේත්‍රයේ මැදිහත්වීම් කරනු ලැබූ කීර්තිමත් විශිෂ්ටයන් බිහිකළ විශ්වවිද්‍යාලයකි. වසර සියයක් ඉක්මවා විශ්වවිද්‍යාලයක් පවත්වාගෙන යනවිට අත්පත් කර ගන්නා ගුණාත්මක හා හරයාත්මක බරසාර වටිනාකම් ලොව කවර විශ්වවිද්‍යාලයකට වුව අත්පත් කර ගැනීම දුර්ලභ කාරණයකි.

    ඇමරිකානු විශ්වවිද්‍යාලය මේ සහයෝගීතා ගිවිසුම අත්සන් කළේ ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන්කළ විශ්වවිද්‍යාලය සමඟ ය. ඒ නිසා ලොව පිළිගත් නූතන අධ්‍යාපන ක්‍රමවේදයන් ඉතාමත් ඉහළින් ක්‍රියාත්මක කරන ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නූතන ඵලදායී මොඩලය වූ හරිත විශ්වවිද්‍යාලය ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂිංටනයේ ‌ෙඑතිහාසික විශ්වවිද්‍යාලයක් සමඟ අත්වැල් බැඳගැනීම කාලෝචිත ය.

    මෙම සහයෝගීතාව හරහා NSBM හරිත සරසවියේ සිසුන්ට ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධියේ මුල් වසර දෙක ශ්‍රී ලංකාවේ දී සහ අවසන් වසර දෙක ඇමරිකාවේ වොෂිංටනයේ ඇමරිකානු විශ්වවිද්‍යාලයේ දී හැදෑරීමෙන් ඇමෙරිකානු විශ්වවිද්‍යාලයේ උපාධිධාරීන් බවට පත්වීමට හැකි වේ. එසේම එය මෙරට දරුවන්ට ලොව පිළිගත් ජාත්‍යන්තර උපාධියක් සාපේක්ෂව ඉතා අඩු පිරිවැයකින් ලබා ගැනීමට පහසු මාර්ගයක් විවරකර දීමකි.

    එපමණක් නොවේ, එය NSBM හරිත සරසවියේ උපකුලපති මහාචාර්ය E.A. වීරසිංහ මහතා උසස් අධ්‍යාපනය පිළිබඳව දරන සාර දර්ශනය ක්‍රියාවට නඟන NSBM හි ගෝලීය ව්‍යාප්ති ප්‍රයන්තයන්හි ඉදිරි ගමනකි. එය ඉදිරි දැක්මක් සහිතව යන නොනවතින ගමනේ සන්ධිස්ථානයකි. සහයෝගීතා ගිවිසුම අත්සන්කළ තානාපතිනිය තම කෙටි දෙසුම මෙම වදන්වලින් සැරසුවාය.

    “මේ හරිත සරසවියට පැමිණ එය ගවේෂණය කරනකොට එය ඉතාම සුන්දර විශ්වවිද්‍යාලයක් බව දැණුනා. හරිත සරසවිය උසස් අධ්‍යාපනයේ සහ නවෝත්පාදනයේ කෙන්ද්‍රස්ථානයන් හැටියට දශකයකට ආසන්න කාලයක් ශ්‍රී ලාංකික සිසුන් පෝෂණය කරලා තිබෙනවා.”

    හරිත සරසවියේ සුන්දරත්වය පිළිබඳ ඉතාම සතුටටත්, පුදුමයටත් පත්වුණ ඇමෙරිකානු තානාපතිනිය මේ විශ්වවිද්‍යාල අතර අත්සන්කළ ගිවිසුම නිසා ලාංකික සිසුන්ට ජාත්‍යන්තර ලැබෙන වටිනාකම ගැන ද විස්තර කළේ ඉතා සතුටිනි.

    මෙම ගිවිසුමට අත්සන් කරනු ලැබුවේ NSBM හරිත සරසවිය පාර්ශවයෙන් විශ්වවිද්‍යාලයේ උපකුලපති E.A. වීරසිංහ මහතා වෙනුවෙන් ව්‍යාපාර පීඨයේ පීඨාධිපති සහ වැඩබලන කුලපතිනි තිලිණි ද සිල්වා මහත්මිය සහ ඇමරිකානු විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර හවුල්කාරීත්ව සහ උපායමාර්ගික මුල පිරීම් අධ්‍යක්ෂ ටෂීනා ගිරෝඩ් මහත්මිය ය.

    ඇමෙරිකානු තානාපතිනි ජුලී චැන්ග් මහත්මිය මෙම ‌ෙඑතිහාසික සහයෝගීතාව සිහිපත් කිරීමට හරිත සරසවි බිමේ ජාතික වෘක්ෂය වූ නා පැළයක් රෝපණය කළාය. නා පැළය අනාගතයේ විසල් වෘක්ෂයක් බවට පත්ව හරිත සරසවියේ හරිත වර්ණයට එක්වෙමින් මේ සහයෝගීතාව ගැන විශ්වයට කියාපානු ඇත.

  • කාලයේ වැලිතලාවෙන් මැකී ගිය ශ්‍රී ලාංකේය කුයර රංගධරයා – ලක්මාල් ෆොන්සේකා

    කාලයේ වැලිතලාවෙන් මැකී ගිය ශ්‍රී ලාංකේය කුයර රංගධරයා – ලක්මාල් ෆොන්සේකා

    මේ දරුවා පොඩ්ඩක් ගන්න පුළුවන් ද මට මගේ මේ රෙද්ද හදා ගන්න..? නෑ.. ඔයා දරුවා තියා ගන්න, මම ඔයාගේ රෙද්ද හදන්නම්…,” මෝහිණී වෙසින් පැමිණි මැණිකේ අත්තනායකට හෝටලේ වේටර්වරයකු වූ ලක්මාල් ප්‍රතිචාර දැක්වූයේ එසේය. (රාජභවන; කතාංගය 11; නිර්මාණය: බර්ට්‍රම් නිහාල්; තිරරචනය: ආර්.ආර් සමරකෝන්, කේ.බි . හේරත්, එඩ්වින් පීරිස්)

    ඉසුරු පරාක්‍රම

    ලක්මාල් ෆොන්සේකා යනු ශ්‍රී ලාංකීය රංගන ශිල්පියෙකි. 1962 වර්ෂයේ උපන් ලක්මාල් 80 දශකයේ අග භාගයේ පටන් සහශ්‍ර වර්ෂයන් ගේ මුල් කාලය දක්වා සිනමාව, වේදිකා නාට්‍ය සහ ටෙලි නාට්‍ය තුළ රංගන කටයුතු වල නියැලුනු අතර, ඔහු බොහෝ විට රංගනයෙන් දායක වූයේ සුළු චරිත වලට ය.

    ඔහුගේ රංගන ප්‍රතිභාව මත බොහෝ විට උත්ප්‍රාස රංගන විලාශයක් සිනමාව සහ පුංචි තිරය මත දැක්වූ අතර, ඔහුට ආවේණික අනන්‍යතාවයක් පවත්වා ගැනීමටත් ඒ තුළින් රංගන ක්ෂේත්‍රයේ යම් සන්දිස්ථානයක් සනිටුහන් කිරීමටත් ලක්මාල් සමත් විය.

    සිනමාව සහ පුංචි තිරය තුළ ලක්මාල් ෆොන්සේකා ගේ භාව ප්‍රකාශයන් බොහෝ විට සුළුතර ලිංගික අනන්‍යතාවයක් ගම්‍ය කළ අතර, මෙය ඔහු දායක වූ සිනමා හා ටෙලි සිත්තම් වල තිරපිටපත් රචකයන් ගේ අවශ්‍යතාව මත සිදූවූයේ ද යන්න පැහැදිලි නැත. කෙසේවෙතත්, ලක්මාල් යනු සිය ලිංගික දිශානතිය (Sexual Orientation) සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවී ප්‍රකාශනය (Gender Expression) කිසිවිටක සැඟවූ පුද්ගලයකු නොවන අතර, ඔහුගේ එම විවෘතභාවය සිනමාව හා ටෙලිසිනමාව තුළ නිශ්පාදකයන් භාවිතයට ගන්නට ඇති ය යැයි උපකල්පනය කළ හැකිය.

    ලක්මාල් පාසල් අධ්‍යාපනය හදාරා තිබුණේ කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයේ ය. සහෝදරියන් තිදෙනෙකු සහ එක් සහෝදරයකු ගෙන් යුත් පවුලක බාලයා වූ ලක්මාල් ජීවත් වූයේ බම්බලපිටිය ඩික්මන් මාවතේ ද ෆොන්සේකා පෙදෙසේ වූ නිවසක තම මව සමඟ ය. මවගේ අභාවයෙන් පසු බම්බලපිටියේ මැජෙස්ටික් සිටි ඉදිරිපිට වූ තම සහෝදරියකගේ නිවසේ පදිංචියට පැමිණි ලක්මාල් ලංකාවේ එල්ජීබීටීකිව්අයිඒ+ ප්‍රජාව අතර බෙහෙවින් ජනප්‍රිය චරිතයකි. ක්‍රොස්ඩ්‍රෙසිං හෙවත් හරස් විලාසිතාවන් හි ප්‍රවීණත්වයක් දැරූ ලක්මාල් කා අතරත් හඳුනා ගෙන තිබුණේ ඉතා කරුණාවන්ත විනෝදකාමී පුද්ගලයකු ලෙස ය. ලක්මාල් ගේ සොහොයුරා දිවයිනේ ප්‍රසිද්ධ ව්‍යාපාරික පුද්ගලයකු වන අතර, මවගේ අභාවයෙන් පසු බම්බලපිටියේ මැජෙස්ටික් සිටි ඉදිරිපිට සිය සොයුරියක ගේ නිවසේ පදිංචියට පැමිණීමත් සමඟ ලක්මාල් ජීවත් වූ ඩික්මන් මාවතේ නිවසේ වර්තමාන හිමිකාරීත්වය ලැබෙන්නේ ඔහුගේ සොයුරුට ය.

    ලක්මාල් සිනමාවට පිවිසෙන්නේ 1989 වර්ෂයේ තිරගත වූ හේමසිරි සෙල්ලප්පෙරුම අධ්‍යක්ෂණය කළ ‘නොම්මර 17’ නම් චිත්‍රපටයේ ‘සූප්පුවා’ නම් චරිතය හරහා ය. සමස්ත චිත්‍රපටය පුරාවට ඔහු නියෝජනය කළේ උත්ප්‍රාසය මතුකරන සුළු චරිතයක් මුත්, එම පිවිසුම හරහා ලාංකේය සිනමාව තුළ සිය අඩිතාලම සකස් කර ගැනීමට ලක්මාල් සමත් විය. එතැන් පටන් විවිධ සිනමා පට, ටෙලිනාට්‍ය සහ වේදිකා නාට්‍ය වලට ලක්මාල් රංගනයෙන් දායකත්වය සැපයීය.

    රංගන ක්ෂේත්‍රයෙන් ඔබ්බට ලක්මාල් මානව හිමිකම් පිළිබඳව ද යම් අධිවාචන ක්‍රියාදාමයකට සහභාගී ව සිට ඇතැයි මානව හිමිකම් ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයන් පවසන අතර, ඔහු ශ්‍රී ලංකාවේ සමරිසි මානව හිමිකම් ආමන්ත්‍රණය කිරීම සඳහා බිහිවූ පළමු සංවිධානය (1994) වන ගමන්මගේ සහකරුවෝ (Companions On A Journey) සංවිධානයේ ආරම්භක සාමාජිකයකු ලෙස කටයුතු කළ බව ද සඳහන් වේ. ශ්‍රී ලංකාවේ පැවති බොහෝ හරස් විලාසිතා උත්සව අවස්ථාවන් වල ලක්මාල් ගේ සහභාගීත්වය අනිවාර්ය අංගයක් විය. ශ්‍රී ලංකාවේ පළමු පෙළ එල්ජීබීටීකිව්අයිඒ+ ප්‍රජාවේ සාමාජිකයන් සමඟ සමීප සබඳතාවක් පවත්වා ගත් ලක්මාල් එවකට දිවයිනේ සිටි සෑම රූපලාවන්‍ය හා වේශ නිරූපණ ශිල්පියකු හා ශිල්පිනියකම පාහේ හොඳින් දැන හැඳින සිටියේය.

    ඔහු වරක මෙවන් හරස් විලාසිතා සංදර්ශන තරඟයකින් ජයග්‍රහණය කළ අතර, සිය ජය සැමරීම සඳහා ගමන්මගේ සහකරුවෝ සංවිධානය විසින් පළකළ ‘ගමන’ (Journey) නම් සඟරාවේ එක් කලාපයක පිටකවරය හරස් විලාසිතාවෙන් හැඩගැන්වී අලංකාරවත් කළ අයුරු ශ්‍රී ලංකාවේ එල්ජීබීටීකිව්අයිඒ+ ප්‍රජාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ අදටත් සිහිපත් කරති. මේ පිළිබඳව එවකට දිවයිනේ ප්‍රසිද්ධ ඉංග්‍රීසි පුවත්පතක් ද තොරතුරු වාර්තා කිරීමට කටයුතු කර තිබිණි.

    සිය රංගන දිවිය තුළ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, විජය කුමාරතුංග, ජීවන් කුමාරතුංග, මාලිනී ෆොන්සේකා, සබීතා පෙරේරා, දිල්හානි ඒකනායක, සනත් ගුණතිලක, රෙක්ස් කොඩිප්පිලි, ෆ්‍රෙඩී සිල්වා, බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ, විමල් කුමාර ද කොස්තා, රන්ජන් රාමනායක, ලාල් වීරසිංහ, ක්ලීටස් මෙන්ඩිස්, ලකී ඩයස්, සොමී රත්නායක, බර්ටි ගුණතිලක, විල්සන් කරූ, දීපානි සිල්වා, ඩිලානි අබේවර්ධන, සුසිලා කෝට්ටගේ, ටෝනි රණසිංහ, හයසින්ත් විජේරත්න, විජේරත්න වරකාගොඩ, ශ්‍රියන්ත මෙන්ඩිස්, සනෝජා බිබිලේ, සුනිල් හෙට්ටිආරච්චි, ආනන්ද වික්‍රමගේ, කුසුම් රේණු, මර්සි එදිරිසිංහ, මැණිකේ අත්තනායක, ගීතා කාන්ති ජයකොඩි, රවීන්ද්‍ර යසස් ඇතුළු රංගන ක්ෂේත්‍රයේ බොහෝ දැවැන්තයන් සමඟ ලක්මාල් කටයුතු කර ඇති අතර, 2004 වර්ෂයේ දී ඔහු දිවියෙන් සමුගන්නා විට රංගනයෙන් දායක වූ චිත්‍රපට සංඛ්‍යාව 20 ක් පමණ විය. තම දිවියේ අවසාන වකවානු වල රෝගාතුරව පසුවූ ලක්මාල් මිය යන විට හතලිස් දෙහැවිරිදි වියේ පසුවිය.

    ලක්මාල් රංගන දායකත්වය ලබා දුන් වේදිකා නාට්‍ය අතර ලාල් ප්‍රේමරත්න ගේ ‘නාඩගම් රාළ’ (1994) සහ ටෙලි නාට්‍ය අතර අතර සුමිත්‍රා රාහුබද්ධ ගේ ‘දළ රළ පෙළ’ (1998), බර්ට්‍රම් නිහාල්ගේ හාස්‍යොත්පාදක ටෙලිනාට්‍යයක්වන ‘රාජභවන’ (1999), සහ සුනිල් රත්නායකගේ හාස්‍යොත්පාදක ටෙලිනාට්‍යයක්වන ‘පෙරේරාට එරෙහිව කුරේරා’ බොහෝ සෙයින් ජනප්‍රිය ය.

    ලක්මාල් ෆොන්සේකා රඟපෑ චිත්‍රපට අතර, නොම්මර 17 (1989), පාරාදීසේ (1991), චෙරියෝ ඩොක්ටර් (1991), හිතට දුකක් නැති මිනිහා (1991), ආසයි බයයි (1991), සුවදෙන සුවඳක් (1991), බජාර් එකේ චන්ඩියා (1992), සක්කර සූත්තර (1992), සිංහ රජා (1992), සාගර තිලිණ (1993), සූර වීර චන්ඩියෝ (1993), පුදුමයි ඒත් ඇත්තයි (1995), මම බය නෑ ශ්‍යාමා (1995), චෙරියෝ කැප්ටන් (1995), මනමෝහිණී (1996), මල් හතයි (1996), සීත රෑ (1999), දඩබිම (2000), කවුද බොලේ ඇලිස් (2000), කොළඹ කොලොප්පන් (2001) සහ ඔබ මගේම වේවා (2001) ප්‍රමුඛ ය.

    ශ්‍රී ලාංකේය කලා ඉතිහාසයේ එකම කුයර නියෝජනය ලක්මාල් ද?

    ශ්‍රී ලාංකේය කලා සාහිත්‍යය තුළ සුළුතර ලිංගික නියෝජනය විශාල වශයෙන් පැවති බවට සඳහන් වේ. විශේෂයෙන් ම නවකතා, වේදිකා නාට්‍ය, සංගීත පද පෙළ සහ චිත්‍රපට අතර ධනාත්මක හෝ සෘණාත්මක අර්තනිරූපණයකට යටත් කරමින් සුළුතර ලිංගික අනන්‍යතාවයන් ආමන්ත්‍රණය කිරීම 1960 දශකයේ පටන්ම ශ්‍රී ලාංකේය සාහිත්‍යයේ දක්නට ලැබිණි. කෙසේවෙතත්, සුළුතර ලිංගික අනන්‍යතා පැවති, සහ ඒ පිළිබඳව විවෘත චරිත – නැතහොත් යුරෝපීය ජන සමාජය හැඳින්වූ පරිදි කුයර කලාකරුවන් (Queer Artists) – ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයේ ඉතිහාසය තුළ හඳුනා ගැනීමට ලැබීම අතිශයින් විරල ය. යුරෝපීය බෝල්රූම් සංස්කෘතිය ට (Ballroom Culture) සමාන සුළුතර ලිංගික සංස්කෘතියක් කොළඹ ඇතුළු නාගරික ‍පෙදෙස් වල ද පැවති අතර, කුයර අනන්‍යතා දැරි කලා ක්ෂේත්‍රයේ පුද්ගලයන් මෙම සංස්කෘතිය තුළ වඩාත් කැපී පෙනෙන චරිත විය.

    ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රය තුළ වඩාත්ම කැපී පෙනෙන කුයර නියෝජනය වූයේ ටවර් හෝල් යුගයේ සිටි නර්තන ශිල්පී ටී. එච්. ෂෙරීෆ් හෙවත් සරලා බායි ය. විධුර ජාතකය, මාණාභරණ, උම්මග්ග ජාතකය, පද්මාවතී, පණ්ඩුකාභය, රාමායනය, ඔතැලො, මායාදුන්නේ, පරංගි සංහාරය, රොඩි කෙල්ල, මගුල් කපුවා, ආදී නාට්‍ය සිය ගණනක ‘නළඟන’ ලෙසත් ස්ත්‍රී භුමිකා රංගනයෙනුත් දායකත්වය ලබා දුන්නේ සරලා බායි ය. ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසය සැලකූ විට සුළුතර ලිංගික ප්‍රජා නියෝජනයට අමතරව, සිනමා ක්ෂේත්‍රය හා ශක්තිමත් සබඳතාවක් පවත්වා ගැනීමට සුළුතර ලිංගික ප්‍රජාව සමත්ව ඇති බවට පැරණි සිනමා පට ප්‍රවේශමෙන් අධ්‍යයනය කිරීමෙන් අවබෝධ කරගත හැකිය. විශේෂයෙන්ම සිනමාවේ වේශ නිරූපණය, කොණ්ඩා සැකසුම්, ප්‍රාසාංගික නර්තන, හරස් විලාසිතා ඇතුළු කටයුතු සඳහා එල්ජීබීටීකිව්අයිඒ+ ප්‍රජා සාමාජිකයන්ගේ නොමඳ සහාය ලැබී ඇති බවට නිරීක්ෂණය කළ හැකිය. සුළුතර ලිංගික ප්‍රජාවන් ට විවිධ සමාජ තලයන් වල සිදුවන හිංසනයන්, වෙනස්කොට සැලකීම් හා කොන්කොට සැලකීම් පිළිබඳව වර්තමානයේ ශක්තිමත් සංවාදයක් ගොඩනැගී තිබුණ ද, ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ එල්ජීබීටීකිව්අයිඒ+ අනන්‍යතාවයන් ට පැවති පිළිගැනීම සහ සිස්-සමාජභාවී විෂමරිසි ප්‍රජාව ඔවුන් සමඟ පවත්වා ගත් සහජීවනය ආමන්ත්‍රණය කිරීමට අප අසමත් ව තිබේ.

    මීට අමතරව, මාධ්‍යකරණය, පුවත්පත් නිවේදනය සහ රංගනය තුළ කැපීපෙනෙන භූමිකාවක් ඉටු කළ රිචර්ඩ් ද සොයිසා ද ප්‍රමුඛය. ඝාතනයට ලක්වූ රිචර්ඩ් ද සොයිසා ගේ සමකාලීනයන් ප්‍රකාශ කරන අන්දමට ඔහු සිය සමරිසිභාවය කිසිදු විටක සඟවා ගෙන ජීවත් වීමට කටයුතු කළ පුද්ගලයකු නොවීය. නිහාල් නෙල්සන් මහතා ගායනා කළ ‘සරමට හරි හැඩයි එයා’ නම් ගීතය හරහා කියවෙන ඔල්ගා දේවී නම් චරිතය ද එම ගීත නිර්මාණය හරහා මුහුණට මුහුණ හඳුනා නොගත් කුයර චරිතයක් යැයි යම් අර්තනිරූපණයකට යටත් කළ හැකිය. චාර්ල්ස් නයිජල් ද සිල්වා යනු මේ හා සමානම භූමිකාවක් ශ්‍රී ලංකාවේ කලාව හා මානව හිමිකම් ක්ෂේත්‍රය තුළ එක හා සමානව දැක්වූ චරිතයකි. කෙසේවෙතත්, ලක්මාල් ෆොන්සේකා ශ්‍රී ලාංකේය පුංචි තිරය හා රිදී තිරය තුළ ඉටුකළ භූමිකාව බොහෝ දෙනෙකුට අමතකව තිබීම කණගාටුවට කරුණකි.

    ලක්මාල් ලා මහජන දෘෂ්ඨියෙන් මැකී යාම

    සිංහල සිනමාවේ මෙන්ම විවිධ ක්ෂේත්‍රයන් හි බොහෝ නොමැකෙන චරිත පිළිබඳව අධ්‍යයනයේ යෙදෙන්නන් හට භෞතික ලේඛනාරක්ෂණ ක්‍රියාවලියෙන් පරිබාහිරව පිහිටට ඇති ප්‍රභලතම මෙවලම වන්නේ අන්තර්ජාලයයි. අන්තර්ජාලයේ ඇති අසීමිත ඉඩ ප්‍රමාණය තුළ ගබඩා කළ හැති තොරතුරු ප්‍රමාණය ද අසීමිත ය. ශ්‍රී ලාංකේය කලාව පිළිබඳ සමාජ මාධ්‍ය ජාල ඇතුළු අන්තර්ජාල අවකාශය පිරී ඉතිරී යන තරමේ තොරතුරු ප්‍රමාණයක් ඉතා පහසුවෙන් පරිශීලනය කිරීමට හැකිව තිබිය දී, මෙම ලිපිය ලියවෙන මොහොත තුරුම ලක්මාල් ෆොන්සේකා පිළිබඳ විස්තරයක් තබා ඡායාරූපයක් වත් අන්තර්ජාලය තුළින් සොයාගැනීමට නොමැති තරම් ය. 90 දශකයේ සිනමාව අත්විඳි වර්තමානයේ ද ජීවත් වන සිනමාලෝලීන්ගේ සිත් තුළ ලක්මාල් ගේ රුව කොතැනක හෝ තවමත් සේයා වී තිබෙනු ඇති බවට අපට විශ්වාස ය. නමුත් යුග තුනක් පසුකර සිටින මේ මොහොතේ ලංකාවේ සමරිසි ප්‍රජාවට ගොඩනැඟී එන (එහෙත් මන්දගාමී) මහජන පිළිගැනීම තුළ කුයර අනන්‍යතා දරන තරුණ කලාකරුවන් ට තවමත් ආදර්ශමත් චරිත – නැතහොත් රෝල් මොඩල (Role Model) – නොසිටීම ඛේදවාචකයකි. ශ්‍රී ලාංකේය කලාව තුළ පැවති කුයර නියෝජනය මෙසේ මහජන දෘෂ්ඨියෙන් මැකී යාම, හෝ ඒ පිළිබඳව නිසි ඇගයීමක් ලබා නොදී තිබීම සමරිසිභාවය විදේශකරණය කිරීමට වෙරදරන න්‍යායාචාර්යවරුන්ට රන් ආකරයක් සෑරීමට ලබා දෙන සවලක් වැනිය.

    ශ්‍රී ලංකාව අධිරාජ්‍යවාදී පාලනයෙන් නිදහස ලැබීමත් සමඟ බිහිවූ පසමිතුරු දේශපාලන සංස්කෘතිය විසින් නිර්මාණය කරන ලද ප්‍රභලතම මායාවක් වන්නේ එල්ජීබීටීකිව්අයිඒ+ අනන්‍යතාවයන් ශ්‍රී ලාංකික සංස්කෘතියට පටහැනි බවයි. ලංකාවට ආවේණික කුයර අනන්‍යතාවය රැකගැනීම සහ ලේඛනගත කිරීම සිස්-සමාජභාවී විෂමරිසි ප්‍රජාවට වඩා කුයර ප්‍රජාව වෙතම පැවරෙන වගකීමක් විය යුතුය. නමුත් ජීවත් වීමේ නිදහස මූලික අයිතිවාසිකමක් යැයි ව්‍යවස්ථාපිතව හඳුනා නොගන්නා රටක් තුළ කුයර අනන්‍යතාවයන් දසඅත විසිරී තිබීම සහ පොදු අරමුණක් කරා ඒකරාශී වීමේ මදකම අරුමයක් නොවන්නා සේම, එදා කලාව තුළ පැවති ප්‍රභල කුයර නියෝජනයට නිසි වටිනාකමක් ලබා නොදී තිබීම පිළිබඳව ද අප පුදුම නොවිය යුතුය. අදටත් ජීවතුන් අතර සිටින ලක්මාල් ගේ සමකාලීන ප්‍රජා මිතුරන් ඔහුගේ හදිසි වියෝව සිහිපත් කරන්නේ නෙතට කඳුලක් එක්කරමිනි. නමුත් ඒ ලාංකේය කුයර කලාවේ තවත් එක් වැසූ පරිච්ඡේදයක් පමණි.

    ලක්මාල් සිනමාව තුළ විහිලුවට ලක්වූවා ද?

    ලක්මාල් ෆොන්සේකා ගේ රංගනයේ කැපී පෙනෙනම ලක්ෂණය වූයේ ලාලිත්‍යයට බර භාවප්‍රකාශනයන් දැක්වීමයි. ඔහු ඒ තුළින් වේෂ නිරූපණ ශිල්පියකු, හරස් විලාසිතාකරුවකු, බජාර් එකේ චන්ඩින්ගේ ආවතේවකම් කරන්නකු, ධනවත් ව්‍යාපාරිකයකුගේ මටසිලිටු පුතු, වීදි නර්තන ශිල්පියකු, පවුලේ කරදරකාර සහෝදරයකු, සිදාදියේ ළිඳ ලඟ සංගමයේ සාමාජිකයකු, ෆැක්ටරියක වැඩකරන ‘බුද්ධිය අඩු’ කම්කරුවකු, බිරිඳගේ ‘බිරිඳක් මෙන් සුවච කීකරු’ ස්වාමිපුරුෂයා, හෝටලයක වේටර්වරයකු ආදී සුළු චරිත නිරූපණය කළේය. එහෙත් ඔහුගේ වඩාත්ම කැපී පෙනෙන රංගනය ඇතුළත් වූයේ හේමසිරි සෙල්ලප්පෙරුම විසින් අධ්‍යක්ෂණය කළ ‘මනමෝහිණී’ (1996) චිත්‍රපටයේ ‘ලොලිපොප්’ නම් චරිතය තුළ ය. එම චරිතය හුදෙක් සුළු චරිතයක් නොවූ අතර, ලාලිත්‍යයට බර භාව ප්‍රකාශනය උපායමාර්ගිකව යොදා ගැනීම හරහා කතාවස්තුවේ වැදගත් පරිච්ඡේදයන් කිහිපයක් ම පුරවමින් සමස්ත සිනමා පටය පුරාවටම නොමැකෙන රංග ප්‍රතිභාවක් නිරූපණය කිරීමට ලක්මාල් ‘ලොලිපොප්’ තුළින් සමත් වෙයි.

    වර්තමාන චින්තනය අනුව සුළුතර ලිංගික අනන්‍යතාවයන් මෙවන් චරිත වලට පමණක් ලඝු කිරීම සහ උත්ප්‍රාසය දැනවීමට යොදා ගැනීම බරපතල අන්දමින් ප්‍රශ්න සහගත වූව ද, ලාංකේය කලා ක්ෂේත්‍රය තුළ කුයර නියෝජනය අභාවයට නොයවා මෙතෙක් කාලයක් පවත්වා ගැනීමට ලක්මාල් වැන්නවුන් සමත් විය. ලක්මාල් රංගන දායකත්වය ලබා දුන් සෑම චරිතයක් ම පාහේ සිනමාව තුළ යොදා ගැනුනේ උත්ප්‍රාසය මතු කිරීමටය. අතරින් පතර තම ලිංගිකත්වය හැඟවෙන අන්දමේ දෙබස් ද ඇතැම් සිනමා පට වල අන්තර්ගත වන අතර, හේමසිරි සෙල්ලප්පෙරුම අධ්‍යක්ෂණය කළ ‘සූරවීර චන්ඩියෝ’ (1993) නම් චිත්‍රපටයේ ලක්මාල් නියෝජනය කළ චරිතය අසන යම් පැණයකට, ලාල් වීරසිංහ රංගනයෙන් දායක වන චරිතය, “උඹ කියන්නේ ඕවා බයිස්කෝප් වල දාලා මේක තහනම් කර ගන්නද?” යැයි ලබා දෙන පිළිතුරෙන් සහ රන්ජන් රාමනායන රංගනයෙන් දායක වන චරිතය, “මගේ පාර්ට්නර්කමට උඹව ගන්න? උඹ හිතුවේ මමත් උඹේ ජාතියේ එක්කෙනෙක් කියලා ද?” යැයි ලබා දෙන පිළිතුරෙන් මෙය වඩාත් තහවුරු වෙයි. වර්තමානය වන විට තනි තටුවෙන් පියාඹන්න (2003), සයපෙති කුසුම (2013), මායා (2016), ෆනී බෝයි (2020) ඇතුළු සිනමා පට හරහා සුළුතර ලිංගික චරිත හුදෙක් එම නියෝජනයට සීමා නොවී ඔවුන්ගේ අයිතිවාසිකම් ආමන්ත්‍රණය කිරීම දක්වා වර්ධනය වී තිබෙන මුත් ලාංකේය සිනමාවේ ඉතිහාසය තුළ සුළුතර ලිංගික අනන්‍යතාවයන් ට ලබා දී තිබුණේ මෙවන් සුළු චරිත ම පමණකි. ලක්මාල් ගේ රංගන දිවිය තුළ ඔහුට නිසි තැන නොලැබුනේ හෝ උපහාසයට පමණක්ම ලක්වූයේ යැයි තර්ක කර සිටීම නිශ්ඵල ක්‍රියාවක් වන්නේ එල්ජීබීටීකිව්අයිඒ+ අනන්‍යතාවයන් පිළිබඳව ඔහුගේ යුගයේ පැවති ජන විඥාණය තුළින් මීට වඩා ප්‍රගතිශීලී ප්‍රතිචාරයක් බලාපොරොත්තු විය නොහැකි බැවිනි.

    එහෙත් ලක්මාල් ජීවත් විය, සිය ජීවිතයේ අවසාන මිනිත්තුව දක්වා පුද්ගල සබඳතා ගොඩනඟා ගත්තේය. ඔහු හා සමානවම ශ්‍රී ලාංකේය කලාව තුළ විවිධ භූමිකාවන් ඉටුකළ කුයර අනන්‍යතා පැවති පුද්ගලයහු සිස්-සමාජභාවී විෂමරිසි ප්‍රජාව සමඟ යම් සහජීවනයක් පවත්වා ගත්හ; අදටත් පවත්වා ගනිති. අප ඇසිය යුතු සැබෑ ප්‍රශ්නය වන්නේ සිනමාව තුළ ලක්මාල් වැන්නවුන් හුදෙක් විසිලු සපයන කවටයන් වූවා ද යන්න නොව, ලාංකේය සිනමාව තුළ එල්ජීබීටීකිව්අයිඒ+ නියෝජනය පැවති ඒ ඉතිහාසය අමතක කර දැමීමට තරම් ශ්‍රී ලාංකික එල්ජීබීටීකිව්අයිඒ+ ප්‍රජාව සාහසික වූවා ද යන්නයි.

    ස්ත්‍රීත්වය හෑල්ලු කරන පුරුෂාධිපත්‍යය

    ශ්‍රී ලාංකේය කලා ඉතිහාසයේ සුළුතර ලිංගික ප්‍රජා නියෝජනය සුළුතර ලිංගික ප්‍රජාව විසින් ම එසේ අමතක කර දමන විට, ඊටත් වඩා උඩුදිවයන දැවැන්ත සමාජ අරගලයක් කෙරේ අප අවධානය යොමුකළ යුතු ය. ලාංකේය ජන විඥාණය කුයර අනන්‍යතාවයන් කෙරේ කුමන අන්දමේ ආකල්ප ඇති කර ගත්ත ද, ලාලිත්‍යය, ස්ත්‍රීත්වය හෝ පුද්ගලයකු සතු වනිතා ලක්ෂණ හෑල්ලුවට ලක්කිරීමට තිබෙන පදනම කුමක්ද යන්න අප ප්‍රශ්න කළ යුතුය. එදා සිනමාව තුළ ලක්මාල් වැන්නවුන් ගේ රංගන ප්‍රතිභාව මතුවූයේ ලාලිත්‍යය මුසු භාවප්‍රකාශනයන් ඔස්සේ ය. වානිජ සිනමාව තුළ හරස් විලාසිතාව, හෝ ස්ත්‍රීත්වය මුසු කළ පිරිමින්ගේ රංගනය උත්ප්‍රාස තේමාවට නතු කළේ ඇයි? ස්ත්‍රීත්වය හෑල්ලුවට ලක්කළ යුත්තක් ද? එය හාස්‍යය දනවන්නක් ද? අදටත් පුරුෂයකු කාන්තාවක ලෙස වෙස්ගෙන පුංචි තිරය (හෝ රිදී තිරය) වෙත පියමනින්නේ ප්‍රේක්ෂකාගාරය සිනා සයුරක ගිල්වීමේ අරමුණින් යුතුව ය. පුරුෂයකු කාන්තාවක ලෙස පෙනීසිටීම හා සමානවම කාන්තාවක පුරුෂයකු ලෙස පෙනීසිටීම හාස්‍යයට තුඩු දේ ද?

    ස්ත්‍රී-පුරුෂ සමාජභාවී සමානාත්මතාවය (Gender Equality) ගෝලීය තිරසාර සංවර්ධන ඉලක්කයන්ගේ අනිවාර්ය අංගයකි. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඔස්සේ ද ස්ත්‍රී-පුරුෂ සමාජභාවී සමානාත්මතාවය ආරක්ෂා වන බවට අර්තනිරූපණ අපමණ පවතී. නමුත් අදටත් අපයෝජනයේ වින්දිතයකු ඇගේ ස්ත්‍රීත්වය මත අපයෝජනය වූවා යැයි තර්ක කරමින් අපයෝජන සංස්කෘතිය සාධාරිනීකරණය කරන පුරුෂ-මූලික සමාජයක අප ජීවත් වේ. ඒ අනුව සැබවින්ම ස්ත්‍රී-පුරුෂ සමාජභාවයේ සමානාත්මතාවයක් අප අතර තිබෙනවා ද යන්න ප්‍රශ්න සහගත නොවේද? ස්ත්‍රීත්වය, ලාලිත්‍යය හෝ වනිතා ලක්ෂණ යනු හාස්‍යය ට තිබෙනා සමානාර්ථපද බවට පත්කරමින් සහ හරස් ප්‍රකාශනයන් දැක්වීම පුරුෂත්වයට නුසුදුසු බව හඟවමින් ලාංකේය සිනමාව, ටෙලිනාට්‍ය ඇතුළු කලා වේදිකාවන් තුළ ද පොළෝ පත්ලේ ඇති මැග්මා දියර මතුපිටට පැමිණෙන්නාක් මෙන් ගිනි පුපුරු විද මතුවන්නේ මේ පුරුෂාධිපත්‍යය ම නොවේද? ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය සිටි රාජ්‍යය යැයි උදම් ඇනීමට ඉතිහාසයක් ඉතිරිකර දුන්, කාන්තාව උතුම් කොට සලකන සමාජයක් ඇතැයි උදම් ඇනීමට සංස්කෘතියක් උරුමකර දුන් ශ්‍රී ලංකාව තුළ තවමත් බලපැවැත්වෙන්නේ හුදෙක් ලිංගික අවයවයක් මත පදනම් වූ මෙම පුරුෂෝත්තරීතරභාවය ම (Male Supremacy) නොවේද?

    සුළුතර ලිංගික ප්‍රජාව යනු එහි එක් වින්දිතයකු පමණක් නොවේද? 90 දශකයේ ලක්මාල් ලා ද, නූතන කලාවේ විසා, භූමි, බ්‍රැන්ඩන් ලා ද නොකියා කියා පාන්නේ එය නොවේද?

  • වාහන ආනයන සීමා ඉවත් කරන්න කලිං ආණ්ඩුව මේ ගැන හිතුවේ නැද්ද?

    වාහන ආනයන සීමා ඉවත් කරන්න කලිං ආණ්ඩුව මේ ගැන හිතුවේ නැද්ද?

    ඉසුරු පරාක්‍රම

    මාර්තු 04, කොළඹ (LNW): දිගු කලක් මුළුල්ලේ පැවති වාහන ආනයන සීමා ඉවත් කිරීමට රජය කටයුතු කිරීම හමුවේ එළඹෙන වසර තුළ රටෙහි ආර්ථික අස්ථාවරත්වයක් ඇති වීමට මංපෙත් විවර වී ඇති බව වාර්තා වේ. 

    ඉකුත් වර්ෂවල පැවති අධික ඉල්ලුම ඉදිරි කාලය තුළ අනපේක්ෂිත ලෙස මුදාහැරුණහොත් මෙම අර්බුදය මාස ගණනක් තුළ මතුවිය හැකි බවයි විද්වතුන් පෙන්වා දෙන්නේ.  

    පාරිභෝගික ඉල්ලුමටත් වඩා ආනයන බදුවලින් ලැබෙන ආදායම ඉහළ නංවා ගැනීමේ අරමුණින් මෙම ආනයන සීමා ඉවත් කරන ලදී. වැටුප් ඉහළ දැමීම, බදු අඩු කිරීම, සහ ගොවියන් හා ධීවරයන් හට මූල්‍ය ආධාර ලබා දීම ආදී රජය විසින් ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට මෙම ආදායම වැදගත් ය. 

    උක්ත ප්‍රතිපත්ති වෙනස්වීමත් සමඟ ඉකුත් බ්‍රහස්පතින්දා දින ආනයනය කරන ලද පළමු වාහන තොගය හම්බන්තොට ජාත්‍යන්තර වරාය වෙත ගොඩබාන ලදී.

    ඒ අනුව, එන්වයිකේ ලංකා ලිමිටඩ් විසින් මෙහෙයවන එම්වී ජුපිටර් ලීඩර් නෞකාවෙන් ජපානයෙන් ආනයනය කරන ලද වාහන 378 ක් ගෙන එන ලද අතර, ඉන් වාහන 196 ක් දේශීය වෙළඳපොල වෙත මුදාහැරීමට නියමිතව තිබේ. මෙම වාහන තොගය අතර, ලෑන්ඩ් කෘෘසර්, හයිලික්ස් කැබ්ස්, ප්‍රාඩෝ එස්යූවී, ටොයොටා සෙඩෑන්, සුසුකි ඇල්ටෝ මිනි ඇතුළු ජනප්‍රිය සන්නාම දරන මෝටර් රථ රැසක් පවතී.

    මීට අමතරව, වරාය විසින් වාහන 2318 ක් හොබවන ලද අතර, ඉන් 1940 ක් අප්‍රිකානු වෙළඳපොල වෙත යොමුකරන ලදී. 

    වාහන ආනයනවල ඉහළ යෑම හමුවේ ඒවා කලමනාකරණය කිරීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් හම්බන්තොට ජාත්‍යන්තර වරාය සතුව පවතී. එම වාහන විධිමත්ව නිෂ්කාශනය කොට මුදාහැරීම සඳහා ජාත්‍යන්තර මට්ටමින් පිළිගන්නා ලද යටිතල පහසුකම් හා ඉතා කාර්යක්ෂම කාර්යමණ්ඩලයක් වරාය තුළ ක්‍රියාත්මක වේ. 

    පැය 24 පුරාම ක්‍රියාත්මකවන සීසීටීවී නිරීක්ෂණ පද්ධති සහ අධි තීව්‍රතා ආලෝකකරණ (high-intensity lighting) පද්ධති සහිත රේගු පරීක්ෂණ ඒකකයක් වරාය සතුවන අතර, එමඟින් එම වාහනවල අනුකූලතා පරීක්ෂාවන් සහතික කිරීම සිදුවේ. 

    මේ අතර, නව ආනයන සඳහා අමතර තාවකාලික ගබඩා කිරීමේ පහසුකම් ඇතුළු, නිෂ්කාශනය කිරීමට නියමිත වාහන සඳහා ආරක්ෂිත ගබඩා පහසුකම් ද පිහිටුවා ඇත. එමෙන් ම, ආනයනකරුවන් සහ ලිපිකරුවන්ගේ පහසුව සඳහා, ලේඛන කටයුතු විධිමත්කරන මූලික පහසුකම් සහ වාහන සැකසුම් ස්ථාන (Vehicle Processing Stations) ස්ථාපිත කිරීමට වරාය කටයුතුකර ඇත. 

    වාහන 4,000 පමණ තබාගත හැකි ආනයනික වාහන ගාල්කරන භූමි ප්‍රදේශයක් ද වරාය සතුවන අතර, මෙමඟින් දේශීය සහ අතරමැදි ආනයන තාවකාලිකව තබා ගැනීම සඳහා පහසුකම් සලසා ඇත. මෙම ස්ථානයට පිවිසීම සඳහා අවසර ඇත්තේ බලයලත් නිලධාරීන්ට පමණි. 

    2018 වර්ෂයේ පටන් ම, හම්බන්තොට ජාත්‍යන්තර වරාය මෙරට මෝටර් රථ සැපයුම් අංශයේ සැලකියයුතු කාර්යභාරයක් ඉටුකර තිබේ. ඉහළ යන වාහන ඉල්ලුමට සරිලන පරිදි එම වාහන හැසිරවීම සඳහා වරාය සතු ධාරිතාව ඉහළ නැංවීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ඇ.ඩො. මිලියන 10 ක ආයෝජනයක් සිදුකිරීමට නියමිත ව පවතියි. හම්බන්තොට වරායේ උපායමාර්ගික පිහිටීම සහ කාර්යක්ෂම ව මෙහෙයුම් දියත් කිරීම සඳහා කැපවූ සේවාවක් වරාය තුළ ක්‍රියාත්මක වීම හමුවේ වාහන ආනයනයේ තීරණාත්මක මර්මස්ථානයක් ලෙස හම්බන්තොට වරාය හඳුනාගත හැකි ය. 

    කෙසේවෙතත්, වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් පනවා තිබූ සීමාවන් ඉවත් කිරීමට වත්මන් රජය කටයුතු කිරීම හමුවේ මතුවිය හැකි මූල්‍යමය ප්‍රතිවිපාක සම්බන්ධයෙන් විද්වතුන්ගේ අවධානය යොමුව තිබේ. 

    ඔවුන් පෙන්වා දෙන්නේ, අත්‍යාවශ්‍ය වැටුප් වැඩිකිරීම් සහ බදු අඩුකිරීම් සඳහා රජය ආනයන ආදායම් මත යැපීම ඉතා අවදානම්කාරී බවයි. 

    පරීක්ෂා කිරීමකින් තොරව වාහන ආනයනය දිගටම සිදුවූවහොත්, එමඟින් රටින් පිටතට යන විදේශ විනිමය හමුවේ රුපියලේ අගය අස්ථාවර වීම හා උද්ධමනය ඉහළ යෑම වැනි හානිකර ප්‍රතිවිපාක ඇතිවිය හැකි බව ඔවුහු අවධාරණය කරති.  

    අධික ආනයන සීමා කිරීම සඳහා වටිනාකම-මත-ණය (LTV) අනුපාතය වැනි සාර්ව විචක්ෂණශීලී ප්‍රතිපත්ති (macroprudential policies) භාවිතාකළ හැකි ය, නමුත් එවැනි පියවරක් අනුගමනය කළහොත් තීරුබදු ආදායම එකවර අඩුවනු ඇත.

    ඒ අනුව, එකිනෙකට පරස්පර අර්බුද දෙකකට මුහුණ දීමට රජයට සිදුවේ. සීමාරහිත ව වාහන ආනයනය කළහොත් විදෙස් මුදල් තොග පිටින් රටින් පිටව ගොස්, රුපියලේ අගය සැලකිය යුතු මට්ටමකින් අවප්‍රමාණය වී යා හැකි අතර, ආනයන සීමා කළහොත් පොරොන්දු වූ වැටුප් වැඩිකිරීම් හා බදු අඩුකිරීම් සඳහා අවශ්‍ය අරමුදල්වල හිඟයක් මතුවිය හැකි ය. 

    මෙම අර්බුද ද්විත්වය හමුවේ රටේ ආර්ථික තත්ත්වය ස්ථාවරව පවත්වා ගැනීම රජයට ගැටළුවක් නොවන්නේ ද? 

    රුපියල ස්ථාවරව පවත්වා ගැනීමට මහ බැංකුව මැදිහත් වී සිටින මොහොතක විදෙස් මුදල් රටින් ඉවත්ව යෑම සිදුවූවහොත් විදේශ විනිමය සංචිත කඩා වැටිය හැකි ය. කෙසේවෙතත්, විදේශ විනිමය වෙළඳපොල සඳහා සෘජු මැදිහත් වීමක් සිදුනොකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් උපදෙස් ලබා දී ඇති අතර, විදේශ විනිමයේ උච්චාවචනය ස්වභාවිකව සිදුවීමට ඉඩ ලබා දෙන මෙන් එම සංවිධානය ඉල්ලා සිටියි. 

    නැවත වරක් රුපියල දැවැන්ත ලෙස අවප්‍රමාණය වූවහොත් උද්ධමනය ඉහළගොස්, පාරිභෝගිකයක් වෙත පැටවෙන මූල්‍ය බර තවදුරටත් තීව්‍ර විය හැකි ය. 

    ඒ අනුව, එකිනෙක පරයා පැණනැඟෙන මෙම අර්බුද දෙක විසඳාගෙන රටේ ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීමට රජය ගන්නා උපායමාර්ගික ක්‍රමවේදය කුමක්ද යන්න අපි බලා සිටිමු. 

  • ඉන්දීය අගමැති මෝදි හා හිටපු ජනපති රනිල් අතර හමුවක්!

    ඉන්දීය අගමැති මෝදි හා හිටපු ජනපති රනිල් අතර හමුවක්!

    ඉසුරු පරාක්‍රම

    මාර්තු 01, කොළඹ (LNW): හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යන මහත්වරුන් අතර හමුවක් අද (මාර්තු 01) දින සිදුව තිබේ.

    ඒ, ඉන්දියාවේ NXT සමුළුවට හිටපු ජනාධිපතිවරයා සහභාගී වූ අවස්ථාවේ ය.

    දෙපාර්ශවය අතර හමුවක් ඇතිවන තුරු තමා බලාපොරොත්තුවෙන් සිටි බවත්, විවිධ කරුණු පිළිබඳව වික්‍රමසිංහ මහතා දරන මතය සම්බන්ධයෙන් තමා අගය කරන බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය නිල එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියි.

  • 2025 වසරට අපනයන ආදායම ඩොලර් බිලියන 1.3යි – ඉලක්කය බිලියන 19ක්!

    2025 වසරට අපනයන ආදායම ඩොලර් බිලියන 1.3යි – ඉලක්කය බිලියන 19ක්!

    ඉසුරු පරාක්‍රම

    පෙබරවාරි 27, කොළඹ (LNW): ශ්‍රී ලංකාව 2025 වර්ෂය තුළ සමස්ත අපනයන ආදායම ලෙස ඇ.ඩො. බිලියන 19 ක් ඉපැයීමට අපේක්ෂා කරන බව වාර්තා වේ.

    ඒ අනුව, වෙළඳ භාණ්ඩ අපනයනයෙන් ඇ.ඩො. බිලියන 14 ක් ද, සේවා අපනයනයෙන් ඇ.ඩො. බිලියන 4.2 ක් ද ඉපැයීමට අපේක්ෂා කරන බවයි වාර්තා වන්නේ. 

    මෙම වර්ෂයේ ජනවාරි මාසය තුළ පමණක් අපනයන ආදායම ඇ.ඩො. බිලියන 1.3ක් උපයා ඇති අතර, එය වසරින්-වසර (YoY) සියයට 7.5 ක ඉහළ යාමක් බව අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්ත පෙන්වා දෙයි. 

    මෙම අපනයන ආදායම අතර, වෙළඳ භාණ්ඩ අපනයනයෙන් ඇ.ඩො. බිලියන 01 ක ආදායමක් උපයා ඇති අතර, එය වෙළඳ භාණ්ඩ අපනයනයේ සියයට 3.5 ක ඉහළ යාමක් ලෙස වාර්තා වේ. ඒ අතර, කෘෂිකාර්මික අපනයන ආදායම ඇ.ඩො. මිලියන 258.9 ලෙස සියයට 15 ක ඉහළ යාමක් වාර්තා කරන අතර, කර්මාන්ත අපනයන ඇ.ඩො. මිලියන 745.9 ලෙස සියයට 0.08 ක ඉහළ යාමක් වාර්තා කරයි.

    මේ අතර, සේවා අපනයන ඇ.ඩො. මිලියන 329.4 ලෙස වසරින්-වසර සියයට 37.9 ක ඉහළ යාමක් වාර්තා කරයි. 

    මෙරට විශාලතම අපනයන කාණ්ඩය සේ සැලකෙන ඇඟළුම් හා රෙදිපිළි කර්මාන්තයේ ආදායම ඇ.ඩො. මිලියන 460.2 ලෙස සියයට 21.1 ක දැවැන්ත ඉහළ යාමක් වාර්තා කරයි. 

    තව ද, සමස්ත වෙළඳ භාණ්ඩ අපනයනයෙන් සියයට 12 ක නියෝජනයක් පවතින තේ කර්මාන්තයේ ආදායම ඇ.ඩො. මිලියන 112.7 ලෙස වසරින්-වසර සියයට 2.6 ක ඉහළ යාමක් වාර්තා කරයි. එමෙන් ම, අසුරන ලද තේ අලෙවියේ සියයට 29.8 ක ඉහළ යාමක් වාර්තා වේ. 

    ඉහළ ගිය අපනයන සඳහා පොල් කර්මාන්තය ආශ්‍රිත පොල් තෙල්, ක්‍රීම්, සහ කෙඳි අපනයනයේ දායකත්වය ද ලැබී ඇති බවයා වාර්තා වන්නේ. 

    කෘෂි අපනයන අතර, කුළුබඩු සහ අත්‍යාවශ්‍ය තෙල්වර්ගවලින් ලද ආදායම ඇ.ඩො. මිලියන 39 දක්වා සියයට 32.9 ක ඉහළ යාමක් වාර්තා කරයි. ඉන්දියාව සහ සවුදි අරාබිය වෙත ගම්මිරිස් සහ කරාබු නැටි අපනයනය කිරීම මත මෙම ඉහළ යාම වාර්තා වේ. තව ද, දියමන්ති, මැණික් හා ස්වර්ණාභරණ අපනයනයේ ද සැලකිය යුතු ඉහළ යාමක් වාර්තා කරන අතර, එක්සත් ජනපදය සහ යුරෝපීය වෙළඳපොල ඉල්ලුම මත එය ඇ.ඩො. මිලියන 42.3 දක්වා සියයට 28.2 ක ඉහළ යාමක් පෙන්නුම් කරයි. 

    කෙසේවෙතත්, අපනයන අංශයේ සියලු ක්ෂේත්‍රවල මෙම වර්ධනය පෙන්නුම් කරන්නේ ද නැත. රබර් නිශ්පාදන අපනයනයේ ඇ.ඩො. මිලියන 75.1 දක්වා වසරින්-වසර සියයට 8.2 ක පහත යාමක් නිරීක්ෂණයකළ හැකි අතර, මුහුදු ආහාර අපනයනවල සියයට 23.2 ක පහත වැටීමක් නිරීක්ෂණයකළ හැකි ය. මුහුදු අපනයනවල පහත වැටීමට නැවුම් මාලු සහ ඉස්සන් සඳහා ඇති ඉල්ලුම පහත වැටී තිබීම හේතු වී ඇති බව සඳහන්. 

    මේ අතර, විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික උපාංග අපනයනයේ ද වසරින්-වසර සියයට 9 ක ට ආසන්න පහත වැටීමක් නිරීක්ෂණයකළ හැකි ය. 

    අපනයන වෙළඳාම තුළ එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ ඉහළම ඉල්ලුමක් පවතින වෙළඳපොල ලෙස ඉදිරියෙන් සිටින අතර, සමස්ත වෙළඳ අපනයනවලින් සියයට 23 ක් එක්සත් ජනපද වෙළඳපොල සඳහා වෙන් වී තිබේ. තව ද, එක්සත් ජනපද වෙළඳපොල සඳහා නැව්ගත කිරීම්වලින් ඇ.ඩො. මිලියන 260.2 ලෙස සියයට 18 ක ආදායම් ඉහළ යාමක් වාර්තා වේ.

    අපනයන ඉල්ලුම අතින් දෙවන ස්ථානයට පත්වන්නේ ඉන්දියාව වන අතර, එරටට සිදුකෙරෙන අපනයන ඇ.ඩො. මිලියන 81.9 ලෙස සියයට 43.9 ක වර්ධනයක් පෙන්නුම් කරයි. ගම්මිරිස් සඳහා පවතින දැඩි ඉල්ලුම මීට ප්‍රධාන හේතු සාධකය වී තිබේ.

    මේ අතර, සමස්ත අපනයනවලින් හතරෙන් එකක පමණ ප්‍රමාණයක් සඳහා ඉල්ලුම පවතින යුරෝපා සංගමයේ වෙළඳපොල තුළ අපනයන ආදායම ඇ.ඩො. මිලියන 227.2 දක්වා සියයට 16.3 ක ඉහළ යාමක් පෙන්නුම් කරයි. 

    2024 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා පැමිණෙන විට, වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඇ.ඩො. බිලියන 12.7 සිට ඇ.ඩො. බිලියන 14 දක්වා ද, සේවා අපනයන ඇ.ඩො. බිලියන 3.5 සිට ඇ.ඩො. බිලියන 4.2 දක්වා ද ඉහළ යවා ගැනීමටයි රජය අපේක්ෂා කරන්නේ. 

    2030 වන විට අපනයන ආදායම ඇ.ඩො. බිලියන 36 (භාණ්ඩ ඇ.ඩො. බිලියන 25; සේවා ඇ.ඩො. බිලියන 11) දක්වා ඉහළ දමා ගැනීම සඳහා පවතින පංච-වාර්ෂික සැලැස්මේ කොටසක් ලෙස මෙම ඉලක්කය සාක්ෂාත්කර ගැනීමට අපේක්ෂා කරයි.  

  • සූර්ය බලශක්තිය ජාතික පද්ධතියට එක්කිරීම සීමා කිරීම ලංවිමේ අත්තනෝමතික තීරණයක්?

    සූර්ය බලශක්තිය ජාතික පද්ධතියට එක්කිරීම සීමා කිරීම ලංවිමේ අත්තනෝමතික තීරණයක්?

    ඉසුරු පරාක්‍රම

    පෙබරවාරි 24, කොළඹ (LNW): ජාතික විදුලි පද්ධතියට සූර්ය බලශක්තියෙන් එක්කරන විදුලි ධාරිතාවය සීමා කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කර ඇති බව වාර්තා වේ.

    ඒ අනුව, දවසේ පෙ.ව. 11 සහ ප.ව. 1 අතර කාලය තුළ සූර්ය බලශක්තියෙන් උත්පාදනය කරන විදුලි ධාරිතාවය අවම කරන ලෙස, ලංකා විදුලිබල මණ්ඩලය විසින් කුඩා-පරිමාණ භූ-ස්ථාපිත සූර්යබලශක්ති නිශ්පාදකයන්ට උපදෙස් ලබා දී තිබේ.

    ඉකුත් පෙබරවාරි 16 වන දින ගෙන ඇති මෙම තීරණය අනුව, සෑම සූර්ය බලශක්ති නිශ්පාදකයකු ම සිය විදුලි උත්පාදනය සියයට 50 දක්වා කපා හැරීමට කටයුතුකළ යුතු ය.  

    කෙසේවෙතත්, මෙම ක්‍රියාමාර්ගය ඉදිරි දිනවලදී බලපැවැත්වෙන්නේ ද යන්න පිළිබඳ අවසාන තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ. 

    මෙම තීරණය බලපාන බලාගාර සෑම එකකට ම පාහේ මෙගාවොට් 10 කට අධික විදුලි ධාරිතාවයක් නිශ්පාදනයකළ හැකි බව ජාල සම්බන්ධිත සූර්ය බලශක්ති සංගමයේ සභාපති සමීර ගනේගොඩ මහතා පැවසුවේ ය. 

    ලංකා විදුලිබල මණ්ඩලය සහ මෙම විදුලි නිශ්පාදකයන් අතර එළැඹ ඇති විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම්වල මෙවන් කප්පාදුවක් සඳහා එකඟතාව පළකිරීමේ වගන්ති නොමැති බවයි ඒ මහතා පෙන්වා දුන්නේ. 

    මෙලෙස සූර්ය බලශක්තිය ජාතික පද්ධතියට එක්කිරීම සීමා කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය තීරණයකර තිබෙන්නේ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අනුමැතියකින් ද තොරව ය. මෙම තීරණය සම්බන්ධයෙන් නිල වාර්තාවක් ලබා දෙන මෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලය වෙත දැනුම් දී ඇති අතර, ඉදිරියේ දී සූර්ය බලශක්ති සැපයුම කලමනාකරණය කිරීම සඳහා විදුලිබල මණ්ඩලයේ සැලසුම් පිළිබඳව ද පැහැදිලි කිරීමක් ඉල්ලා ඇත.  

    ඉකුත් පෙබරවාරි 09වන දින රට පුරා සිදු වූ විදුලිය විසන්ධි වීමත් සමඟ මෙම තීරණය ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතුකර ඇත. එම විදුලිය විසන්ධිවීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ලබා දෙමින් නිකුත්කළ නිවේදනයක දැක්වෙන්නේ  පානදුර කිලෝවොට් 33ක උපබලාගාරයේ ඇති වූ ගැටළුවක් හේතුවෙන් විදුලිබල ජාලය හරහා ක‍්ෂණික වෝල්ටීයතා පහත වැටීමක් මත මෙම ඇණහිටීම සිදුවූ බවයි. 

    මෙම විදුලිය බිඳවැටීම හමුවේ ජාතික විදුලි පද්ධතියේ අවශ්‍යතාවය සියයට 50 කට වඩා සපුරාලනු ලැබුවේ සූර්ය බලශක්ති උත්පාදනය තුළිනි. ඒ තුළින් මෙගාවොට් 800 ක ප්‍රමාණයක් ජාතික පද්ධතියට ඇතුළුකළ අතර, අතිරේක ව නොරොච්චෝලේ ලක්විජය බලාගාරයෙන් මෙගාවොට් 470ක් ද, ජලවිදුලි බලාගාරවලින් මෙගාවොට් 130ක් ද ජාතික පද්ධතියට එක්කරන ලදී. 

    සමමුහුර්තක නොවන (non-synchronous) සූර්ය බලශක්ති උත්පාදනයේ දැවැන්ත ඉහළ යාමක් සිදුවීමේ ප්‍රතිඵලයක් ලෙස පද්ධතිය අකර්මණ්‍ය (low system inertia) විය හැකි බවත්, එමඟින් පද්ධතිය දෝශවලට ලක්විය හැකි බවත් විදුලිබල මණ්ඩලය සිය නිවේදනය ඔස්සේ පැහැදිලිකර තිබිණි. 

    ඒ අනුව, විදුලිය උත්පාදනය සහ ඉල්ලුම අතර අසමතුලිතතාවයක් ඇතිවන අතර, එමඟින් පද්ධතිය ඇණහිට සම්පූර්ණ විදුලිය බිඳවැටීමක් සිදුවිය හැකි බවයි ලංකා විදුලිබල මණ්ඩලය පෙන්වා දුන්නේ.

    සැලකිය යුතු මට්ටමක වෝල්ටීයතාවයක් ක්ෂණිකව පහත වැටීමෙන් සූර්ය බලශක්ති පද්ධතිවල ක්‍රියාකාරීත්වය නතරවිය හැකි අතර, එමඟින් ජාතික පද්ධතිය තවදුරටත් අසමතුලිතවිය හැකි ය. 

    මෙවන් තත්ත්වයක් යළි ඇතිවීම වැළැක්වීම සඳහා, ඉල්ලුම අවම කාලසීමාවන්වල භූ-ස්ථාපිත සූර්ය බලශක්ති ඒකකවලින් ජාතික පද්ධතියට එක්කරන විදුලිය සීමා කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණයකර ඇති අතර, මෙම තීරණය වහලයේ සවිකරන ලද සූර්ය බලශක්ති ඒකකවලට බලපාන්නේ නැත. 

    මෙම තීරණය ගැනීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය පාරදෘෂ්‍යභාවයෙන් කටයුතුකර නොමැතිවීම සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සිය අවධානය යොමුකර ඇති අතර, මෙම තීරණය හමුවේ අවම වියදම් උත්පාදන මූලධර්මය උල්ලංඝනය වී ඇති බවට හා මෙම කප්පාදුව සඳහා නිශ්චිත වශයෙන් බලාගාර තෝරාගත්තේ කෙසේ ද යන්න සහ මෙම සීමාවන්හි ප්‍රමාණය තීරණය කිරීමට භාවිතාකළ නිර්ණායකයන් මොනවා ද යන්න තවමත් පැහැදිලි නොමැති බවට ඔවුහු පෙන්වා දෙති.

    සූර්ය බලශක්ති උත්පාදනය ඇතුළු පුනර්ජනනීය බලශක්ති උත්පාදනයේ ජාලක ස්ථායීතාවය කලමනාකරණය කිරීම සඳහා සාධාරණ, ඵලදායී මෙන්ම විනිවිදභාවයෙන් යුතු මාර්ගෝපදේශ ගොඩනඟන මෙන් ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.