Tag: ඉන්දියාව

  • ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම්වල සමහර කරුණු හෙළිකරන්න ඉන්දියාවේ එකඟතාව ඕනෑ – කැබිනට් ප්‍රකාශක

    ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම්වල සමහර කරුණු හෙළිකරන්න ඉන්දියාවේ එකඟතාව ඕනෑ – කැබිනට් ප්‍රකාශක

    සටහන – රුවන් නෙළුගොල්ල

    ඉන්දියාව සමග ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ගිවිසුම් හතක් අත්සන් කර ඇති බවත් ඉදිරියේදී ඒවා සම්බන්ධ තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අතර ඊට යම් කාලයක් ගතවනු ඇති බවත් කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

    “අවබෝධතා ගිවිසුම් එකක් නෙවෙයි හතක් අත්සන් කළා. සෞඛ්‍ය, ආරක්ෂක, බලශක්ති සහ ඩිජිටල්කරණය සම්බන්ධයෙන්. මේ සම්බන්ධව අපි පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළා. ඊට අමතරව අපි බලාපොරොත්තු වෙනවා සමහර කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ එකඟතාවයක් අවශ්‍යයි ඒ තොරතුරු ගැන සඳහන් කරන්න. ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒකට යම් කාලයක් ගතවේවි. ඔව්, අපි අනිවාර්යය වශයෙන්ම ඉදිරියේදී ඒ තොරතුරු …. මේවා අවබෝධතා ගිවිසුම් පමණයි. ඒ තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා ඉදිරියේදී. එතකලුත් ඉන්න අමාරු නම් තමයි අපි කිව්වෙ තොරතුරු දැනගැනීමේ පනතෙනුත් අහන්න පුළුවන් සමහර දේවල්”

    නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (අප්‍රේල් 22) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

  • පම්බන් පාළම ….

    පම්බන් පාළම ….

    අදයි හරියටම දැක්කේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පහුගියදා විවෘත කරපු පම්බන් පාළමේ චායාරූප. අලුතෙන් ප්‍රතිනිර්මාණය කරපු ඒ පාළම ඉන්දියානු යටිතල පහසුකම් වර්ධනයේ ඉතාම විශිෂ්ට නූතන නිර්මාණයක් ලෙස හැඳින්වෙනවා. මන්නාරමට ඔබ්බෙන් තියෙන රාමේශ්වරන් දූපත ඉන්දියානු මව් භුමිය සමඟ බද්ධකෙරෙන මෙම පාලමට ලොකු ඉතිහාසයක් තියනවා.

    මහාභාරතයට අනුව රාම තමන්ගේ බිරිඳ සීතා ගලවාගැනීම පිණිස ලංකාවට එන ගමනේදී එම පිරිවර සමඟ පැමිණීමට ගොඩනැඟුවා යැයි සැලකෙන මෙම ඓතිහාසික – මිත්‍යාමතික පාලම භෞතික යථාර්තයක් කළේ බ්‍රිතාන්‍යයන් විසින්. ඔවුන් 1914දී පම්බන් දූපතේ මෙම පාලම ඉදිකර එය ඉන්දියාවේ ප්‍රථම මුහුදු පාලම බවට පත්කළා.

    ලුණු වතුර නිසා මලකඩ කා දිරාපත් වූ මේ පාලම උඩින් ගමනාගමනය 2022 අවුරුද්දේ නවතනු ලැබුවා. ඉන් පසුව නැවත නවීන තාක්ෂණයෙන් ඉදිකළ මෙම පාලම ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී අතින් පසුගියදා නැවත විවෘත කෙරුණා. අනුරාධපුරේ ඉඳන් මෝදී හෙලිකොප්ටරයෙන් යන්නේ මේ පාලම සමඟම යථාර්තයක් වෙන්න නියමිත සේතු සමුද්‍රම් මාර්ගයේ සිහිනය හිතේ ඇතිව සහ එහි ගුවන් චායාරූප පවා තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුමේ පළකරමින්.

    රාමේශ්වරමේ ඉඳන් තවත් කිලෝමීටර් විසිපහක් භෞතිකව සම්බන්ද කලොත් භුමි සිතියම ඇතුලේ ඉන්දියාව ලංකාව එකට යා වෙනවා. එය මෙතෙක් පැවති රාමාගේ ලංකා ගමන් මාර්ගය පිලිබඳ පුරාණෝක්තිය ඇත්තම යථාර්තයක් වෙනවා. රාමාගේ මාර්ගයේම ඉන්දියානුවන් සහ සංචාරකයින් ඉන්දියාවේ සිට ලංකාවට එන්න පුළුවන්. ඒක එක්තරා ෆැන්ටසි ගමනක්. මෝදි හෙලිකොප්ටරයෙදී වින්දෙත් ඒ ෆැන්ටසියම තමයි.

    එවන් ගමනක් කවදාහෝ යාමට හැකිවෙනවා කියන්නේ ඒක පුරාණෝක්තියක් සැබෑවක් බවට පත්වීමක්. ඓතිහාසික සිහිනයක් සැබෑවක් බවට පත්වීමක්. එසේ කරන්නට ඉන්දියාවට හැකිවුණේ නූතන තාක්ෂණය හරහා. ඉන්දියාව ලබාගත් අලුත් පොහොසත් බවත් එක්ක. ධනය එක්ක.

    අපි ජීවතුන් අතර සිටියත් නැතත් යම් දවසක කොළඹින් ආරම්භකරන ඔබගේ ගමන කෙළින්ම ඉන්දියාවෙන් සහ ඊටත් ඔබ්බෙන් අවසන් කරන්න ඔබට පුළුවන් වෙයි. එදාට ඔබට පෙනෙයි මෙම පාලම වගේම තවත් පාලම් ගොඩක්.

    රාමාගේ කතාවෙත් යම් විජිතකරණයක සලකුණු තිබ්බ. ඉංග්‍රීසින් පම්බන් පාළම දානකොට එතනත් විජිතකරණයක් තිබ්බ. දැනුත් එහෙම එකක් නැතුව නෙවෙයි. ඒත් මේ භෞතික යාවීම හරහා ගොඩක් යහපත් දේවලුත් සිද්ද වෙයි.

    ~ මහේෂ් හපුගොඩ

  • ලොකු සහෝදරයාගේ පරණ පූජක ඩියුටිය ….

    ලොකු සහෝදරයාගේ පරණ පූජක ඩියුටිය ….

    පරණ ආගම්වල තිබුන සූත්‍ර, රීති සහ සම්ප්‍රදායන් වෙනස්කරගන්ට ඕන උනාම ඒවගේ හිටපු පූජකයො විශේෂ උපක්‍රමයක් අනුගමනය කලා.. ඒ, තමන්ට දෙවියන් සිහිනෙන් කතාකළ බවත් ඇතැම් දේව ප්‍රකාශ දෙවියන් විසින් වෙනස් කරන ලදැයි දෙවියන් පැවසූ බවත් අනුගාමිකයින්ට පැවසීමයි..

    ඇත්තටම මේ ක්‍රමවේදයේ වරදකුත් නෑ.. ආගම් උනත් කාලීනව වෙනස්වෙන්න ඕන.. නමුත් අනුගාමිකයන්ට තර්කවලින් ඒවා පැහැදිලි කරන්නත් බෑ.. මොකද අනුගාමිකයෝ කියන්නේ අනුගාමිකයෝ..

    මේ යුගයේ වම කියලා එකක් නෑ..මේවෙනකොට වම කියන්නේ ඉතිහාසයේ අසාර්ථක සහ බයානක අත් හදාබැලීමක් පමණයි.. අද රටකට වමට හැරිලා පැයගානක්වත් පවතින්ට බෑ..

    නමුත් වමේ යුටෝපියාව වෙනුවෙන් දිවි දුන්න, කිසිදු පෞද්ගලිකත්වයක් නැතිව වම වෙනුවෙන් කැපකිරීම් කරමින් වයසට ගිය පක්ෂ කාඩරයට දැන් වම කපෝතියි කියන මේ දුක්බර ඇත්ත කියන්නත් බෑ…

    මෙතනදි ලොකු සහොදරයගේ ඩියුටිය වෙන්නෙ පරණ පූජකයෝ වගේ තැනට ගැලපෙන සංශෝධනය අනුගාමිකයන්ට වමේ හඬින් දේසනා කරන එක..

    මම නම් ඒකේ දොසක් දකින්නේ නෑ..මොකද වෙන කරන්න දෙයක් නෑ..

    පව් ඉතින් අපේ වමේ පරණ සහොරදරවරු..

    මටත් දුකයි, මොකද මමත් පරණ වාමාංශිකයෙක්..

    ~ ප්‍රියශාන්ත රාජපක්ෂ

  • අපි එදා සටන් කළාට දැන් ඒක ඉවරයි. ඉන්දියාව වෙනස් වෙලා. අපි මිත්‍රත්වයෙන් ඉන්න ඕනෙ. දේශපාලනය එහෙමයි – ටිල්වින්

    අපි එදා සටන් කළාට දැන් ඒක ඉවරයි. ඉන්දියාව වෙනස් වෙලා. අපි මිත්‍රත්වයෙන් ඉන්න ඕනෙ. දේශපාලනය එහෙමයි – ටිල්වින්

    සටහන – රුවන් නෙළුගොල්ල

    1987 ජනතා විමුක්ති පෙරමුණ ඉන්දියාවට එරෙහිව සටන් කළ නමුත් මේ වනවිට ඉන්දියාව වෙනස් වී ඇති නිසා තවදුරටත් තරහා වී සිටිය යුතු නැති බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

    “අනුර සහෝදරයා ජනාධිපති වෙලා ඉන්දියාවට ගියා. එහෙදි අපි අත්සන් කළා ගිවිසුම් වගයක් අපට වාසි සහගත. ඊටපස්සෙ අපි ආරාධනා කළා ඉන්දියානු අගමැතිවරයාට ලංකාවට එන්න කියලා. ඉන්දියානු අගමැතිතුමා මෙහෙට ආවා. අදවස් දෙකක් හිටියා. ඉඳලා ගිවිසුම් කීපයක් අත්සන් කරලා ගියා. අපි දෙගොල්ලොන්ටම හොඳයි. මිත්‍රත්වය තිබුණා. දැන් වෙලා තියෙන්නෙ මොකක්ද ? කලින් කිව්වා අපට ජාත්‍යන්තර සහයෝගය නෑ, කවුරුත් උදව් කරන්නෙ නෑ කියලා. දැන් කට්ටිය එකතු වෙලා උදව් කරනකොට දැන් කෑගහනවා මෙන්න රට පාවාදෙනවා ලු. අපි ඉන්දියාවට රට පාවාදුන්නා ලු. අපි අහනවා ඕනෙ කෙනෙක්ගෙන් අපට පෙන්වන්න එක ගිවිසුමක් අපි පාවාදුන්නෙ මොකක්ද කියලා රට. අපි ? නෑ … ඉන්දියාවට දෙන්න හිටියෙ නිකම් හෝල් සේල්. ඒක වෙනස් කරේ අපි. අපි කතා කරලා දෙගොල්ලන්ටම පාඩුවක් වෙන්නැති ගිවිසුම්වලට ආවා ගෞරවාන්විතව. අද ඉන්දියාව වෙනස් වෙලා තියෙනවා. අපි 1987 සටන් කළා කියලා තාමත් තරහින් ඉන්න ඕනෙද ? නෑ, එහෙම ඉන්න ඕනෙ නෑ. එදා ප්‍රශ්නයක් ආවා, අපි සටන් කළා, දැන් ඒක ඉවරයි. දැන් මිත්‍රකමේ ඉන්න ඕනා. එහෙමනෙ දේශපාලනය කියලා කියන්නෙ”

    ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.

  • ට්‍රම්ප්ගේ අන්‍යෝන්‍ය තීරු බද්දට අපේ උත්තරය එට්කා ද?

    ට්‍රම්ප්ගේ අන්‍යෝන්‍ය තීරු බද්දට අපේ උත්තරය එට්කා ද?

    කොළඹ LNW:ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තියට අනුව මෙරට අපනයන මත පනවා තිබෙන 44%ක අන්‍යෝන්‍ය තීරු බදු හේතුවෙන් ආර්ථික කැළඹිලි සහගත තත්ත්වයකට පත්ව තිබෙනවා. එම බදු පැනවීමට අදාළව මුහුණ දීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා විසින් විශේෂඥ කමිටුවක් පත්කර තිබෙන පසුබිමක ආර්ථිකයට එල්ල වුණු අභියෝගය සම්බන්ධයෙන් රජයේ පාර්ශව මෙන්ම ඊට සංවේදී සෙසු සියලුම පාර්ශව පාහේ අදහස් හා යෝජනා ඉදිරිපත් කරමින් තිබෙනවා.ඒ අනුව මෙහිදී වෙළෙඳ පරතරය අඩුකරගැනීමේ අවශ්‍යතාවක් පවතින අතර එය සිදුකරන්නේ කෙසේද යන්න පිළිබඳව විශේෂඥ කමිටුව විසින් තීරණයක් ගත යුතුයි.

    ට්‍රම්ප්ගේ බදු ප්‍රකාශනයෙන් පසු මේ වන විට කලාපීය ආර්ථික සංවර්ධනය දෙසට අවධානය යොමුව තිබෙන අතර ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩ දා ගැනීම වෙනුවෙන් බොහෝ පාර්ශවපෙන්නුම් කරමින් සිටින්නේ ඉන්දියාව සමඟ ශක්තිමත් අන්‍යෝන්‍ය අවබෝධයකට යා යුතුවන බවයි. ලොව සිව් වන දැවැන්තම ආර්ථිකය හිමි කලාපීය මිතුරා මේ වන විටත් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 4ක ආර්ථිකයක් තමන් වෙත නතු කරගෙන පවතින අතර 2030 වෙද්දී ඔවුන්ගේ ඉලක්කය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 10ක ආර්ථිකයක් දක්වා පුළුල් කරගැනීමයි. කෙසේවෙතත් මෙරට පසුගිය ආර්ථික කඩා වැටීම හමුවේද ණය සහ ආධාර දෙමින් ඉන්දියාව මෙරටට සහය දක්වා තිබෙනවා. මේ වන විට ජාතික ජන බලවේගයේ රජය සහ ඉන්දියානු රජය අතරද යම් අවබෝධයකින් කටයුතු කිරීම හේතුවෙන් විශේෂයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය හැර සෙසු ප්‍රධාන විපක්ෂයන් ඉන්දියාව සමඟ සුහද ගමනකට රජයට බලකරමින් තිබෙන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ.

    ඒ අතරම පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසා තිබුණේ මෙරටට එරෙහිව පනවා තිබෙන අපනයන තීරු බද්දෙන් සහනයක් ගන්නට නම් ශ්‍රී ලංකාව ඇමරිකානු ආනයන මත පනවා තිබෙන බදු ඉවත් කරගත යුතු බවයි. එමෙන්ම ඉන්දියාව සමඟ සුහද ප්‍රතිපත්තියක සිට කටයුතු කරමින් එම ආයෝජන අවස්ථා මඟනොහැර ගැනීම ගැන ඔහු දිගින් දිගටම අවධාරණය කරන ආකාරයක් ද පෙන්නුම් කළා. ගෝලීය ආර්ථික ප්‍රවණතා මෙන්ම කලාපීය ආර්ථික ප්‍රවණතා සමඟ බදු පැනවීමද රටරටවල බදු ප්‍රතිත්තියට අනුගත වෙමින් තිබෙන පසුබිමක සැබෑ ලෙසම ශ්‍රී ලංකාවට උපක්‍රමශීලි වීමට සිදුව තිබීම සැඟවීමට කරුණක් නොවෙයි. එහිදී ඉන්දියාව ප්‍රමුඛව මතු වෙන අතර සමඟි ජන බලවේගයේ ආර්ථික විශේෂඥවරයෙකු ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරන්නේ මේ මොහොතේ ලංකාවට ඇති හොඳම විකල්පය ඉන්දියාව බවයි. ශ්‍රී ලංකාව සහ ඉන්දියව් අතර වෙළෙඳ ඒකාබද්ධතාව ඇති සඳහා අවධානය යොමුකළ යුතු බවයි. ඒ අනුව එට්කා පිළිබද නව ප්‍රවේශයකට එළඹීම සම්බන්ධයෙන් ඔහු අදහසක් ඉදිරිපත් අකර තිබෙනවා.

    ”මේ වෙලාවේ කලාපීය ආර්ථික ගිවිසුන්මෙඅලට එළඹෙන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැතුව අවශ්‍ය තරමේ ආර්ථික වර්ධනයක් ඇතිකරගන්න අපහසුයි. යුරෝපා සංගමය ගත්තොත් විශාල වශයෙන් ජාත්‍යන්තර වෙළෙන්දාම සිදුවෙන්නේ ඒ කලාපය තුළ. ආසියාන් එක ගත්තොත් සෑහෙන ප්‍රමාණයක් ඒ රටවල් අතර වෙළෙඳාම වෙනවා. ආසියාන් එකට එකතු කරලා තියෙනවානේ චීනය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ජපානය. ඒකට කියනවා ආර්සේප් කියල. ආර්සේප් එක තමයි ලෝකයේ විශාල වශයෙන් දියුණු වෙන කලාපය හැටියට පරිවර්තනය වෙමින් ඉන්නේ. අනුර ජනධිපතිතුමා කියනවා අපි ආර්සේප් එකට බැදෙන්න ඕනේ කියල. නිකන් ඉල්ලුම්පත්‍රයක් දැම්ම කියල ඒක කරන්න බැහැ.කොන්දේසි තියෙනවා. තමන්ගේ තාප්ප කඩන්න ඕනේ. පාලම් බදින්න ඕනේ. ප්‍රතිසංස්කරණ නොකර අපට බැහැ ආර්සේප් බැදෙන්නවත් බිම්ස්ටෙක් දියුණු කරන්නවත් එක්ටා එක කරන්නවත් ආකල්ප වෙනස් කරගන්න ඕනේ. ආකල්ප වෙනස් නොකර මේ රට මෙතනින් එහාට ගෙනියන්න බැහැ. මේ අවස්ථාවේ ඉදියානු අගමැතිතුමා එක්ක කතා කළ යුතු ප්‍රධානම දේ තමයි එක්ටා එක. ඉන්දියාව එක්ක අපේ ආර්ථිකය ඒකාබද්ධ අක්රගන්නේ කොහොමද? ඊළඟ අවුරුදු 10,15 20 සිද්ධ වෙන කලාපයේ දැවැන්ත ආර්ථික වර්ධනයෙන් අපි ප්‍රයෝජනය අරන් කොහොමද ඉස්සරටහ යන්නේ කියන එක තීරණය කරන්න වෙනවා. …….”

    පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා එලෙස සිය අදහස ප්‍රකශ කර තිබෙන අතර ඒ අනුව ඇමරිකානු බදු ෂොක් එකෙන් ගැලවීමට ශ්‍රී ලංකා රජයට ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදුකරගැනීමට සිදුවනු ඇති.

    පසුගිය 02 වැනිදා ප්‍රකාශයට පත්කළ ඇමරිකානු බදු ප්‍රක්ෂයට අනුව මේ වන විට ආසියානු වෙළෙඳපොළ තුළ පසුබෑමක් පෙන්නුම් කරමින් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන්දමට ආසියාවේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළවල් කඩා වැටී ඇති ආකරයක් හඳුනා ගත හැකියි.

    Nikkei 225 (Japan) -6.5%
    Hang Seng (Hong Kong) -10.6%
    Shanghai Composite (mainland China) -6.4%
    ASX 200 (Australia) -3.8%
    Kospi (South Korea) -5.2%
    Taiex (Taiwan) -9.7%
    STI (Singapore) -7.5%
    Nifty 50 (India) -4.0%
    Sensex (India) -3.7%
    ලෙස කොටස් වෙළෙඳපොළවල පහත වැටී තිබෙනවා.

    ගෝලීයව බලපා තිබෙන මෙම ඇමරිකානු බදු පැනවීම ගැන ජපානයේ ආර්ථික විශේෂඥයෙක් වන නීල් නිව්මන් පවසා තිබෙන්නේ වෙළෙඳපොළ තත්ත්වයන් ඉදිරියේදී යථාතත්ත්වයට පත්වනු ඇතත් නව වෙළඳ සබඳතා නිරාකරණය කරන තුරු මෙම අවපාතය ගෝලීය වශයෙන් බලපෑම් සහගත වනු ඇති බවයි. ඒ අනුව සැපයුම් දාමයන්හි වෙනසක් කරගැනීමට සිදුවනු ඇති. මේ අතර කාලයක තිස්සේ අඩපණ වී තිබූ ජපන්, චීන සහ දකුණු කොරියානු අතර ජාත්‍යන්තර වෙළෙඳාම ගැනද යළි සාකච්ජා අත්රම්භ වී තිබෙන බවත් ඔහු සඳහන් කර තිබෙනවා. ඒ අනුව කලාපීය වශයෙන් නව වෙළෙඳපොළවල් උත්තේජනය කිරීම ගැන ගෝලීය අවධානය යොමුව තිබෙන බවක් තමයි පෙන්නුම් කරමින් තිබෙන්නේ.

    ගෝලීයව වශයෙන් ආර්ථික අසමතුලිත බවක් ඇතිකිරීම ගැන ඇමරිකාවට චෝදනා එල්ල කළද නීල් නිව්මන් පවසන පරිදි අවධානයට ගත යුතු කරුණක් වන්නේ ”ඇමරිකාව ඉතා වැදගත් වෙළඳපොළක්, නමුත් එය ලෝකයේ එකම වෙළඳපොළ නොවේ.” යන්නයි. ගෝලීයව ඩොලරයේ ගණුදෙනු පහත වැටෙමින් ඇමරිකා ආධිපත්‍ය සෙලවීමකට ලක්ව තිබෙන යුගයක ජනාධිපති ට්‍රම්ප් ඇමරිකාව ප්‍රතිගෝලීයකරණය දෙසට තවදුරටත් ඇදගෙන යමින් තිබෙන බවට ඇමරිකානු සමාජය වෙතින්ද චෝදනා එල්ල වෙමින් තිබෙනවා. මෙම සියලු තත්ත්වයන් හමුවේ දැඩි අවධානමකට ලක්ව තිබෙන්නේ අප වැනි කුඩා ආර්ථිකයන්. එහෙයින් ප්‍රතිපත්තිමය වෙනස්කම් කරමින් කලාපය මෙන්ම කලාපයෙන් ඔබ්බට ජාත්‍යන්තර වෙළඳාම ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අන්‍යෝන්‍ය සබඳතා ස්ථාවර කර ගැනීමට සිදුවෙනවා. ඒ සඳහා වන උපාය උපක්‍රම විශේෂඥභාවය සහිත කණ්ඩායම් වෙතින් රටට ඉදිරිපත් විය යුතු වන අතර පවතින තත්ත්වය මත නම් සංවෘත සීමාවන් තවදුරටත් වලංගු නොවනු ඇති.

    ආශිකා බ්‍රාහ්මණ

  • ඉන්දියන් ව්‍යාප්තවාදය : අපරාදේ මැරිච්ච හැටදාහ ….

    ඉන්දියන් ව්‍යාප්තවාදය : අපරාදේ මැරිච්ච හැටදාහ ….

    එදා ජ.වි.පෙ. උපායමාර්ගය වී තිබුනේ ඉන්දියන් ආක්‍රමණිකයාට එරෙහි දේශප්‍රේමී සන්නද්ධ අරගලයක් හරහා සමාජවාදී රාජ්‍ය පිහිටුවීමයි..

    අද මාළිමාව මෙන් එදා ඒ ඒසඳහා යොදාගත් ප්‍රචාරක නම “දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය” යන්නයි..

    එළිපිට නොකීවට එදා අරගලයට සම්බන්ද උනු බොහෝ දෙනෙකුට තිබුන ගැටළුව නම් ගල් කටස්, සහ පරන බෝර දෙලහ තුවක්කුවලින් පහරදී ලෝකේ හයවෙනි හමුදාව පලවාහරින්නේ කෙසේද යන්නයි..

    ඉන්දියන් ව්‍යාප්තවාදය ගැන විස්තර කෙරුනු ජ.වි.පෙ. තුන්වන පන්තියේ(පන්තිය කීයද දැයි හරියට මතක නැත) එයටද උතරයක් දී තිබින. එනම් ලෝකේ පලවෙනි හමුදාව පන්නා දැමීමට වියට්නාමයේ වියට්කොං ගරිල්ලන්ගේ දුෂ්කර අරගලය අනුගමනය කිරීමයි ..

    ඒ කාලේ විජිත් විජිතමුණි යන නාවික සෙබලා විසින් (උතමාචාරය අතරෙ) රජීව් ගාන්ධිගෙ කොන්දට රයිපල් බට් එකෙන් ගහපු දවසට පහුවදාම පක්ෂෙන් පෝස්ටරයකුත් ගැහුවා ” විජිත් විජිතමුණිගෙන් ගිලිහුන අවිය ජාතිය අතට ගනිවු !” කියලා..

    කෙසේ හෝ අපෙන් පහර කෑ ඉන්දියන් හමුදාවක් නම් කිසිදා රටේ සිටියේ නැතත් අරගල කල උන් හැට දාහක් පමණ ශ්‍රී ලංකා හමුදාව අතින් මියපරලව ගියා..

    මෙහි ඇති විශේෂ කාරනය නම් ඉන්දියන් හමුදාව පන්නා දැමීමට දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය තුල අරගලකල අතිබහුතරයක් සටන්කාමීන් එක ඉන්දියන් හමුදා බටයෙක්වත් කිසිදා දැක නොතිබීමයි.. හේතුව දේශප්‍රේමී අරගලය තිබ්බෙ දකුණේ වූ අතර ඉන්දියන් හමුදාව සිටියේ උතුරේ වීමයි..

    අද විතරක් නෙමේ එදත් හිටියෙ හතරකොන පැටලිලා..

    අපරාදේ මැරිච්ච හැටදාහ ….

    ~ ප්‍රියශාන්ත රාජපක්ෂ

  • හිත් නොහොඳකම් අහවරයි. ලොකු අයියා යළිත් දෑත් දිගු කරයි !

    හිත් නොහොඳකම් අහවරයි. ලොකු අයියා යළිත් දෑත් දිගු කරයි !

    අදානි සමාගමට ලබාදී තිබුණු සුළං විදුලි ව්‍යාපෘතියේ ගැටලුව ඇතුළු සිදුවීම් කිහිපයක් හේතුවෙන් ඉන්දියාව ජාතික ජන බලවේගයේ ආණ්ඩුව සමග යම් හිත් නොහොඳ තත්වයකින් පසුවන බවට පසුගිය මාස දෙකක පමණ කාලය තුළ විවිධ පුවත් පළවී තිබිණි.

    කෙසේවෙතත් මේ වනවිට ඒ තත්වය සම්පූර්ණයෙන්ම පහව ගොස් ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

    ඒ අනුව, අප්‍රේල් මාසය මුලදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණෙන්නේ දැනට එකඟ වී ඇති ඉන්දීය ව්‍යාපෘති සියල්ලම ඉදිරියට ගෙන යාමට අවශ්‍ය කටයුතු ද සිදුකර දීම සඳහා බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

  • රනිල් ඉන්දියාවට. මෝදි සමග රාත්‍රී භෝජන සංග්‍රහයකටත් ආරාධනා !

    රනිල් ඉන්දියාවට. මෝදි සමග රාත්‍රී භෝජන සංග්‍රහයකටත් ආරාධනා !

    හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ සංචාරයක් සඳහා අද (27) දිනයේදී පිටව යාමට නියමිතව තිබේ.

    මෙම සංචාරය තුළදී ඒ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාව දෙවතාවක් හමුවීමට නියමිත බව සඳහන්.

    එමෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වීමට ද රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා ලැබී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

  • ශ්‍රී ලංකාවේ ආයෝජන ගැන ඉන්දියාව බරපතළ තීන්දුවක් අරන් ?

    ශ්‍රී ලංකාවේ ආයෝජන ගැන ඉන්දියාව බරපතළ තීන්දුවක් අරන් ?

    ශ්‍රී ලංකාවේ මහා පරිමාණ ආයෝජන ව්‍යාපෘති සඳහා තම ව්‍යාපාරිකයින් යොමු නොකිරීමට ඉන්දියාව තීරණය කර ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

    ඒ අනුව දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සහ දැනට එකඟතාවන්ට පැමිණි ව්‍යාපෘති හැර අලුතින් ව්‍යාපෘති සඳහා ඉන්දීය ආයෝජකයින් මෙරටට නොඑවනු ඇති බව සඳහන්.

    ශ්‍රී ලංකාවට ආයෝජන සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් නොමැති වීම සහ ආණ්ඩු මාරුවීමේදී ආයෝජන පිළිබඳ එකඟතාවන් ද වෙනස් වීම ඉන්දියාවේ මෙම තීරණයට හේතුවී ඇති බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

    කෙසේවෙතත් ශ්‍රී ලංකාවට ලබාදෙන මානුෂීය ආධාර කිසිදු වෙනසකින් තොරව මෙතෙක් පැවති ආකාරයටම ඉදිරියටත් ඉන්දියාව විසින් ලබාදෙනු ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.

    මේ සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රබලයකු ශ්‍රී ලංකාවේ ප්‍රබල දේශපාලනඥයකුට දැනුම් දී ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

  • ට්‍රම්ප් සහ මෝදී අතර කඩිනම් හමුවක්! කලාපීය දේශපාලනයට නව ප්‍රවේශයක්?

    ට්‍රම්ප් සහ මෝදී අතර කඩිනම් හමුවක්! කලාපීය දේශපාලනයට නව ප්‍රවේශයක්?

    කොළඹ LNW:ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී අතර කඩිනම් හමුවක් වෙනුවෙන් දෙපාර්ශවයම සූදානම් වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

    නායකයින් දෙදෙනා අතර පසුගියදා (27) පැවති දුරකථන සංවාදයක් අතරතුර ජනාධිපති ට්‍රම්ප් වොෂින්ටනයේදී තමන් මුණගැසෙන ලෙස ඉන්දීය අගමැතිවරයාට සුහද ආරාධනයක් කර තිබේ.

    ඒ අනුව ලබන එළඹෙන පෙබරවාරියේදී එම හමුව සිදුවීමට නියමිත බවට දෙරටේ මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.

    විශේෂයෙන් ඇමරිකාව තුළ සිටින ඉන්දියානු නීතිවිරෝධී සංක්‍රමණිකන් යළි රටට ගෙන්වා ගැනීම වෙනුවෙන් ඉන්දියාව ”හරි දේ” කරනු ඇති බවට අපේක්ෂා කරන බවද ජනාධිපති ට්‍රම්ප් පවසා තිබේ.

    ද්විපාර්ශ්වික වෙළෙඳ සම්බන්ධතා ශක්තිමත් කරගැනීමත්,ගෝලීය සාමය හා ආරක්ෂාව සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමටත්,තාක්ෂණ ක්ෂේත්‍රයේ සහයෝගීතාව වර්ධනය කරගැනීමත් සිදුකරගත යුතු බවට නායකයින් දෙදෙනා දුරකථන මාර්ගයෙන් සාකච්ජා කර ඇත.

    එම කරුණු පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ජා කිරීම වෙනුවෙන් හමුවක් පැවැත්විය යුතු වන බව ජනාධිපති ට්‍රම්ප් පවසා ඇති අතර ඒ අනුව අන්‍යෝන්‍ය වශයෙන් පහු දිනයක එම හමුව වෙනුවෙන් දෙපාර්ශවයම එකඟතාව පළකර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    නායකයින් දෙදෙනා අතර පැවති දුරකථන සංවාදය ඵලදායී එකක් බවට ඉන්දීය අගමැතිවරයා ප්‍රකාශ කර තිබෙන අතර ඉන්දු-පැසිෆික්, මැද පෙරදිග සහ යුරෝපයේ ආරක්ෂාව ඇතුළු කලාපීය ගැටළු රාශියක් පිළිබඳව ද ඔවුන් අවධානය යොමුකළ බව ද එම දුරකථන සංවාදය ගැන ධවල මන්දිර පණිවිඩයක ද සඳහන්ව ඇත.

    ආශිකා බ්‍රාහ්මණ