Tag: ශ්‍රී ලංකන් ගුවන් සමාගම

  • වසරක් තුළ ශ්‍රීලංකන් එයාර් ලයින්ස් UL අන්වර්ථ නාමය ගලවා ගනී !

    වසරක් තුළ ශ්‍රීලංකන් එයාර් ලයින්ස් UL අන්වර්ථ නාමය ගලවා ගනී !

    මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් යානා සඳහා අංක ලබාදී ඇත්තේ “UL” යන ඉංග්‍රීසි අක්ෂර දෙක සහිතව ය. පසුගිය කාලයක් තිස්සේම මේ “UL” අක්ෂර දෙකට උපහාසාත්මක අන්වර්ථ නාමයක් ලෙස ව්‍යවහාරයේ පැවතියේ “Usually Late” යනුවෙනි. ඒ, ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් යානා ප්‍රමාද වීම එතරම්ම නිරන්තරයෙන් සිදුවුණු නිසා ය. 2024 වසරේදීත් ගුවන් යානා ප්‍රමාද වීම් මෙන්ම ගුවන් ගමන් වාර අවලංගු කිරීම් ද ශ්‍රීලංකන් ගුවන් සේවය වෙතින් නිරන්තරයෙන් අසන්නට ලැබිණි.

    එහෙත් මේ වනවිට එම තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බවත් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා මේ වනවිට හරියටම නිවැරදි වේලාවට ධාවනය වන බවත් වාර්තා වේ. මේ පිළිබඳව පාර්ශ්ව කිහිපයකින්ම අප විමසා බැලූ අතර ඒ සියලු පාර්ශ්ව තහවුරු කළේ ශ්‍රීලංකන් ගුවන් ගමන් වාර මේ වනවිට අදාළ කාලසටහන් අනුවම යමින් නිවැරදි වේලාවටම ගුවන්ගත කිරීම් සහ ගොඩබෑම් සිදුකෙරෙන බවයි.

    ඒ අනුව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති සරත් ගනේගොඩ මහතා ඇතුළු නව පරිපාලනය දීර්ඝ කාලයක් තිස්සේ අපේ ජාතික ගුවන් සේවයට ඇලවී තිබුණු Usually Late ලේබලය ගලවා ගැනීමට වසරක් තුළ සමත්ව තිබේ.

    ජාත්‍යන්තර ගුවන් සේවයක අභිවෘද්ධිය සඳහා ඉතාමත්ම වැදගත් වන්නේ නිවැරදි වේලාවට කටයුතු කිරීමයි. මන්දයත් ප්‍රමාද වී ධාවනය වන හෝ ගමන් වාර අවලංගු වන ගුවන් සේවයක ගමන් කිරීමට කිසිදු මගියෙක් කැමැත්තක් නොදක්වන නිසා ය. එමෙන්ම එවන් ගුවන් සේවයකට පහසුකම් සැපයීම විදෙස් ගුවන් තොටුපලවල්වලට සහ අනෙකුත් ගුවන් සේවා සමාගම්වලට ද විශාල කරදරයක් වන නිසා ය. ශ්‍රීලංකන් ගුවන් සේවය මේ ආකාරයෙන් සුපුරුදු ප්‍රමාද තත්වයෙන් ගොඩ ඒම රටක් වශයෙන්ම සතුටට කරුණකි.

    මේ පිළිබඳව කරුණු සොයාබැලීමේදී ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සේවකයන් අප වෙත පැවසුවේ මෙම ආයතනය වසර ගණනාවකට පසු වචනයේ පරිසමාප්ති අර්ථයෙන්ම “සමාගමක්” වශයෙන් ක්‍රියා කරන්නේ දැන් බවයි. “මේක දැන් තමයි හරියටම කම්පැනියක් හැටියට වැඩ කරන්නේ. කිසිම දේශපාලන අතපෙවීමක් නෑ. ආයතනයක් හැටියට මේක පියවරෙන් පියවර ගොඩ එන හැටි දැන් කාටත් පේන්න තියෙනවා” යැයි ඔවුහු පැවසූහ.

    ඇත්තෙන්ම පසුගිය ආණ්ඩු කාලවල දිගින් දිගටම සිදුවුණේ ශ්‍රීලංකන් ගුවන් සමාගම ඒ ඒ ආණ්ඩුවේ හොඳම සහචරයකු යටතට පත්කර මහජන මුදල් ඔහේ නාස්ති කරමින් සමාගම කාගෙන කාගෙන යාමට ඉඩහැරීමයි. මෙහි උච්ඡතම තත්වය පැවතියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී ය. ඒ, කෙළින්ම තමන්ගේ මස්සිනාවම ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයා වශයෙන් පත්කිරීමට ඔහු කටයුතු කිරීමත් සමග ය.

    එසේ විනාශ මුඛයට යමින් පැවති ජාතික ගුවන් සේවය සම්බන්ධයෙන් අවසානයේ එම පාලකයින් ඉදිරිපත් කළේ ද විකල්ප දෙකකි. එක්කෝ සමාගම විකුණා දැමීම හෝ නැතිනම් වසා දැමීම ය. පැවති අධික ණය බරත් සමග ශ්‍රීලංකන් සමාගම විකුණා දැමීම ද ප්‍රායෝගික කාර්යයක් වූයේ නැත.

    එහෙත් වත්මන් රජය බලයට පැමිණීමෙන් අනතුරුව ශ්‍රීලංකන් ගුවන් සමාගම සරත් ගනේගොඩ මහතා ඇතුළු නව පරිපාලනයක් යටතට පත්කෙරුණු අතර නැවත වතාවක් මෙම ගුවන් සමාගම නඟා සිටුවිය හැකි බවට ශක්තිමත් බලාපොරොත්තුවක් ඇතිකිරීමට එම පරිපාලනය මේ වනවිට සමත්ව තිබේ. පෞද්ගලික අංශය සතු කාර්යක්ෂමභාවය නැවතත් මෙම සමාගම තුළට ගෙන ඒමට ඔවුන්ට හැකිවී ඇත.

    වැරදි දේ, නරක දේ විවේචනය කිරීම මෙන්ම හරි දේ, හොඳ දේ අගය කිරීමත් ජනමාධ්‍ය ඔස්සේ සිදුවිය යුතු බව අපේ හැඟීමයි. ශ්‍රීලංකන් ගුවන් සමාගම නිවැරදි මාවතකට අවතීර්ණ කරගැනීමේ ගෞරවය එහි නව පරිපාලනයට මෙන්ම වත්මන් රජයටත් හිමිවිය යුතුය.

    සංචාරක කර්මාන්තය කෙරෙහි දැඩි බලාපොරොත්තු සහගතව සිටින රටක් වශයෙන් අපට ජාතික ගුවන් සේවය ඉතාමත්ම වැදගත් ය. ඒ, පිටරටින් පැමිණෙන සංචාරකයින්ට ශ්‍රී ලංකාව පිළිබඳ පළමු ප්‍රසන්න අත්දැකීම ලබාදීමට හැක්කේ අපේ ජාතික ගුවන් සේවයට බැවිනි. එය මතුපිටින් පෙනෙනවාට වඩා බැරෑරුම් කරුණකි. ඒ වගකීම ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් නියමුවන්, ගුවන් යානා කාර්ය මණ්ඩල, ඉංජිනේරු සේවා කාර්ය මණ්ඩල, ගොඩබිම් මෙහෙයුම් සේවකයින් ඇතුළු සියලුම දෙනා විසින් සාර්ථකව ඉටුකරනු දක්නට ලැබීම සමස්ත ජනතාවගේම සතුටට මෙන්ම ආඩම්බරයට ද හේතුවකි.

  • LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

    LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

    LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම ශ්‍රේණිගත කිරීමේදී ගුවන් සේවා අංශයේ ප්‍රමුඛස්ථානය හිමිකර ගනිමින් “වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය (The Most Loved Brand in the Aviation Sector)” ලෙස ඇගයීමට ලක්වීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සමත් වී තිබේ.

    මෙම ඇගයීමත් සමග සුහදශීලී ශ්‍රී ලාංකික ආගන්තුක සත්කාරය, පුළුල් ගුවන් ගමන් ජාලය, සෘජු ගුවන් ගමන් සහ බාධාවකින් තොරව ගමනාන්ත සම්බන්ධ කිරීමේ හැකියාව හේතුවෙන් ශ්‍රී ලාංකික ගුවන් මඟීන්ගේ ආදරයට පාත්‍ර වූ ජාතික ගුවන් සේවය බවට තමන් සතු පිළිගැනීම තවදුරටත් තහවුරු කරගැනීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සමත් වී ඇත. LMD හි ජනප්‍රියම වෙළඳ නාම තෝරාගෙන ඇත්තේ වෘත්තිකයන් හා දේශීය ආයතනික ප්‍රමුඛයන්ගෙන් සමන්විත LMD හි පාඨකයන් විසින් ලබාදුන් විවෘත ප්‍රතිචාර මත පදනම්වය.

    ශ්‍රීලංකන් ගුවන් යානයක ගමන් කරන ඔහුට හෝ ඇයට හිමිවන අසමසම උණුසුම් ආගන්තුක සත්කාරය, සිය රුචිකත්වයන්ට ගැලපෙන ජාත්‍යන්තර හා දේශීය ආහාර පාන මෙන්ම සෑම ගමනක්ම සුවපහසු හා අමතක නොවන අත්දැකීමක් ලබා දෙමින් ආරක්ෂිතව ගමනාන්තය දක්වා රැගෙන යෑම ගුවන් සේවයේ අරමුණයි. “ශ්‍රීලංකන් ගුවන් සේවය රටේ ජාතික ගුවන් සේවය වීම කෙරෙහි අපගේ පාඨක ප්‍රජාව ඉහළ වටිනාකමක් ලබා දෙනවා විය හැකියි ”LMD හි සභාපති හා ප්‍රධාන කර්තෘ හිරාන් හේවාවිසේන්ති මහතා පැවසීය.

    ශ්‍රීලංකන් ගුවන් සේවය රටවල් 59 ක සහ ගමනාන්ත 113 ක (codeshare හවුල්කරුවන් ද ඇතුළුව) මෙහෙයුම් පවත්වාගෙන යන අතර Oneworld Alliance හි සාමාජිකයෙකි. එමෙන්ම සතිපතා සෘජු ගුවන් ගමන් 300කට ආසන්න ප්‍රමාණයක් ඉන්දියානු උපමහාද්වීපය, මැද පෙරදිග, යුරෝපය, ඈත පෙරදිග, අග්නිදිග ආසියාව සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල් හි ප්‍රධාන නගර ආවරණය වන පරිදි කොළඹ සිට සෘජු මෙහෙයුම් සිදු කෙරේ. කොළඹින් පිටත්වන සෘජු ගුවන් ගමන් හා බාධාවකින් තොරව සිය ගමනාන්ත සම්බන්ධ කිරීම බලාපොරොත්තු වන මගීන්ට ශ්‍රීලංකන් ගුවන් සේවය සිය පළමු තේරීම බවට පත්ව ඇත.

    මීට අමතරව ශ්‍රීලංකන් ගුවන් සේවය මහජන සම්බන්ධතා වැඩසටහන්, ආයතනික සමාජ වගකීම් (CSR) හා තිරසාරත්වය පිළිබඳ ව්‍යාපෘති ඔස්සේ ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ අඛණ්ඩව සම්බන්ධ වන අතර එමඟින්, සිය ලබැඳි පාරිභෝගිකයන්ට ත්‍යාග පිරිනැමීමත්, යහපත් සමාජයක් වෙනුවෙන් සිය දායකත්වය ලබා දෙයි. ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් සේවා වෙළඳ නාමය ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය ගෝලීය ප්‍රවේශයකින් යුතුව ශ්‍රී ලාංකිකත්වයෙන් පිරිපුන් බව පැහැදිලිව පෙන්වා දී ඇත.

    LMD හි පාඨකයන් විසින් ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ආයතනික වෙළඳ නාම දහයෙන් එකක් ලෙස ද ශ්‍රීලංකන් ගුවන් සේවය තෝරාගෙන ඇත.

  • ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ දුෂණ හොයන්න විශේෂ විමර්ශන කමිටුවක්!

    ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ දුෂණ හොයන්න විශේෂ විමර්ශන කමිටුවක්!

    කොළඹ LNW:2010 – 2025 අතර කාලයේ සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා පුද්ගලික සමාගම සිදුව ඇතැයි කියන වංචා, දූෂණ සහ අක්‍රමිකතා සෙවීමට ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක් පත්කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    හිටපු විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව පත්කිරීමට නියමිතයි.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් එම යෝජනාවට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

    සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම මඟින් රටේ ආර්ථික අභිවෘද්ධිය සඳහා දායකත්වයක් සැපයුව ද එය පවත්වාගෙන යාම සඳහා රජයට අධික වැය බරක් දැරීමට සිදුව ඇති අතර එම සමාගම වාර්ෂිකව ලබන අධික පාඩුව රටේ ආර්ථිකයට දරා ගැනීමට අපහසු වී හෙයින් මෙම සමාගම ආර්ථිකමය වශයෙන් වාසිදායක, කාර්යක්ෂම හා ඵලදායී රාජ්‍ය ආයතනයක් බවට පත් කර, නවීන තාක්ෂණය භාවිත කරමින් සාර්ථක ලෙස පවත්වාගෙන යාම මහජන අභිලාෂය වී තිබෙන බවයි එම යෝජනාවේ දක්වා ඇත්තේ.

    ඒ සඳහා, සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම වර්තමාන තත්ත්වයට පත් වීමට බලපෑ හේතු සම්බන්ධයෙන් පසුගිය කාලපරිච්ඡේදය තුළ සිදු වී ඇති ගනුදෙනු හා සිද්ධීන් පිළිබඳ විධිමත් අධ්‍යයනයක් හා ඇගයීමක් සිදුකළ යුතු බව දක්වා ඇත.

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහද මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව පසුවන අතර අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ඔහුට චෝදනා ගොණු කර තිබේ.

    දූෂණ චෝදනා ත්‍රිත්වයක් සම්බන්ධයෙන් සිදු කරගෙන යනු ලබන විමර්ශන කටයුතුවලට අදාළව ඔහුට චෝදනා එල්ල වී ඇත.

    01.2014.01.22 වන දින මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට කටුනායක දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ අංක UL319 දරන ගුවන් යානයේ ගමනාන්තය වෙනස් කිරීම මඟින් රජයට ඇ.ඩො. 4512 ක් පාඩු කිරීම

    02.2014.01.26 වන දින මාලදිවයිනේ සිට ලංකාවට පැමිණ ප්‍රංශය බලා පිටව යාමට සිටි මගීන් 75 දෙනෙකු අංක UL563 දරන ගුවන් යානයෙන් පිටත් කර හැරීම මඟින් ඇ.ඩො. 19,160 ක් රජයට පාඩු කිරීම

    03.2014.12.19 වන දින කටුනායක 18 කණුව ක්‍රීඩාංගණයේ පැවති හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් රජයේ මුදල් 1,250,000/- වියදම් කිරීම.

    ආශිකා බ්‍රාහ්මණ

  • මාංචු වැටුණු ශ්‍රී ලංකන් හිටපු ලොක්කාට එල්ල වී ඇති චෝදනා මෙන්න!

    මාංචු වැටුණු ශ්‍රී ලංකන් හිටපු ලොක්කාට එල්ල වී ඇති චෝදනා මෙන්න!

    කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගැනුණු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහට විමර්ශන තුනකට අදාළව චෝදනා තුනක් එල්ල වී තිබේ.

    ඒ අනුව,

    (01.) 2014.01.22 දින මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට කටුනායක දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ අංක UL319 දරන ගුවන් යානයේ ගමනාන්තය වෙනස් කිරීම මගින් රජයට අමෙරිකානු ඩොලර් 4512ක් පාඩු කිරීම.

    (02.) 2014.01.26 වැනි දින මාලදිවයිනේ සිට ලංකාවට පැමිණ ප්‍රංශය බලා පිටත්ව යාමට සිටි මගීන් 75 දෙනෙකු UL563 දරන ගුවන් යානයෙන් පිටත් කර හැරීම මගින් අමෙරිකානු ඩොලර් 19,160ක් රජයට පාඩු කිරීම.

    (03) 2014.12.19 වන දින කටුනායක 18 කණුව ක්‍රීඩාංගණයේ පැවැති හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් රජයේ මුදල් 1,250,000 වියදම් කිරීම. ලෙස අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශාන් කොමිෂන් සභාව විසින් එම චෝදනා ඉදිරිපත් කර ඇත.

    මේ වන විට අත්අඩංගුවේ පසුවන නිශාන්ත වික්‍රමසිංහ මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    ආශිකා බ්‍රාහ්මණ

  • ශ්‍රී ලංකන් ගුවන් යානයක කාර්මික දෝෂයක්: ඉන්දුනීසියාවේ මෙඩාන් ගුවන්තොටුපොළ වෙත හදිසියේ ගොඩ බස්වයි!

    ශ්‍රී ලංකන් ගුවන් යානයක කාර්මික දෝෂයක්: ඉන්දුනීසියාවේ මෙඩාන් ගුවන්තොටුපොළ වෙත හදිසියේ ගොඩ බස්වයි!

    රෂිකා හෙන්නායක ජුනි 06, කොළඹ LNW :

    ඊයේ(05) සවස UL 306 දරන ශ්‍රී ලංකන් ගුවන් යානය කටුනායක සිට සිංගප්පූරුව බලා පිටත්වූ අතර, එම යානය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ඉන්දුනීසියාවේ මෙඩාන් ගුවන්තොටුපොළ වෙත හදිසියේ ගොඩ බස්වා තිබේ.

    එහිදී තාක්ෂණික කණ්ඩායමක් මෙම ගුවන් යානය පරීක්ෂා කිරීමෙන් අනතුරුව අදාළ දෝෂය නිවැරදි කිරීම සඳහා කාලයක් ගතවන බව ප්‍රකාශ කළ බව, ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා සඳහන් කළේය. ඒ අනුව දෝෂය නිවැරදි කරන තෙක් ගුවන් මගීන් හෝටල් කාමර තුළ රැඳවීමට මෙරට ශ්‍රීලංකන් බලධාරීන් තීරණය කර තිබේ.

    ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කළේ, ගුවන් මගීන් හෝටල් කාමර තුළ රැඳවීමට ඉන්දුනීසියානු ආගමන විගමන නිලධාරීන් අවස්ථාව ලබා නොදීමත් සමග අර්බුදකාරී තත්ත්වයක් මතුවූ බවයි. පසුව එරට රැඳී සිටින ශ්‍රී ලංකා තානාපතිවරයාගේ මැදිහත්වීමෙන් අදාළ ගැටලුව විසඳා ගැනීමට කටයුතු කර තිබේ.

    ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කළේ, කාර්මික දෝෂයකට ලක්වූ ශ්‍රීලංකන් ගුවන් යානය අලුත්වැඩියා කිරිම සදහා ඉංජිනේරු කණ්ඩායමක් අද(06) ඉන්දුනිසියාව බලා පිටත්ව ගිය බවයි. දෝෂයට ලක්වූ ගුවන්යානයේ මගීන් යළි ගෙන්වා ගැනීමට හෝ පිටත් කිරිම සඳහා අද පස්වරු 1:45ට තවත් විශේෂ ගුවන් යානයක් ඉන්දුනීසියාව බලා පිටත් කර යවන බව, දීපාල් පෙරේරා මහතා සදහන් කළේය.

  • අපේ රටේ ජනතාව ශ්‍රී ලංකන් එකට කොච්චර ආදරේද කියා දැකලා මගේ ඇස්වලට කඳුළු ආවා – ඇමති බිමල්

    අපේ රටේ ජනතාව ශ්‍රී ලංකන් එකට කොච්චර ආදරේද කියා දැකලා මගේ ඇස්වලට කඳුළු ආවා – ඇමති බිමල්

    සටහන – රුවන් නෙළුගොල්ල

    ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ගුවන් යානයක් අලුතින් ලබාගත්තා මෙන්ම මෙතෙක් බිම්ගත කර තිබුණු ගුවන් යානා තුනක් අලුත්වැඩියා කර ගුවන් යානා ඇණියට එකතු කරගැනීමට ද කටයුතු කරමින් සිටින බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

    “වැදගත්ම දේ තියෙන්නෙ ශ්‍රී ලංකන් ගුවන් සේවය බංකොලොත් වෙලා ගන්නත් කෙනෙක් හිටියෙ නෑ, එතකොට ඉතාමත්ම මහන්සියෙන් අපි මාස හයක් වගේ කාලයක් ඇතුළතදී ශ්‍රී ලංකන් ගුවන් සේවයට වටිනා ගුවන් යානයක් – අන්තර්ජාතික ප්‍රමිතීන්ට අයත් ගුවන් යානයක් – ලංකාවේ අපි ගෙවලා තමයි ගන්නෙ. කිසිම කෙනෙක් ගුවන් යානයක් කඩේකට ගිහිල්ලා බයිසිකල් ටයර් එකක් ගන්නවා වගේ ගන්නෙ නෑ, ඒක ලීස් කරලා වාරික විදියට ගෙවලා තමයි ගන්නෙ. අපි ඒ ගුවන් යානය අරන් තිබෙනවා. දැනට ලංකාවේ තිබෙන ගුවන් යානා පද්ධතියට මේක විශාල වටිනාකමක් තිබෙනවා. ඉතින් අර පිරිසක් ඉන්නවානෙ ඉතාම හැම හොඳ දෙයක්ම නරක විදිහට විග්‍රහ කරන පුද්ගලයින් සහ ජනමාධ්‍ය, ඒගොල්ලන්ට ඉරිසියාවක් තියෙනවා අලුත් ආණ්ඩුව ඇවිල්ලා මිනිස්සුන්ට දෙයක් කරන එකට. අපි දුටුවා ඇත්තටම, මට ඇත්තටම කඳුළු ආවා ලංකාවේ සෝෂල් මීඩියා කොච්චර ඒ ගුවන් යානය පිළිගත්තාද කියලා. ලංකාවේ මිනිස්සු කොච්චර ශ්‍රී ලංකන් එකට ආදරේද කියලා. අපි දන්නවා ලෝකෙ වෙන ගුවන් සමාගම් ප්ලේන් එකපාර දහය, විස්ස ගන්නෙ. අපි එක ප්ලේන් එකක් ගන්නකොට ලංකාවේ මිනිස්සුන්ගෙ ප්‍රාර්ථනා අපි දැක්කා. ඉතින් ඒ නිසා අපි සතුටු වෙනවා ආණ්ඩුව ඇවිල්ලා මාස හයකින් ශ්‍රී ලංකන් ගුවන් සේවය ශක්තිමත් කරන්න අලුත් ගුවන් යානයක් ගත්ත එක ගැන. ඒ වගේම අවුරුදු තුනක් ග්‍රවුන්ඩ් කරලා තිබිච්ච ප්ලේන් තුනක් අපි එංජින් රෙපෙරාස් කරලා ඒවාත් ක්‍රියාත්මක කරන්න පටන් අරන් තිබෙනවා”

    බිමල් රත්නායක අමාත්‍යවරයා මේ බව පැවසුවේ ලෝක පරිසර දිනය වෙනුවෙන් ඊයේ (ජුනි 05) පාර්ලිමේන්තුව මගින් සංවිධානය කළ රුක් රෝපණ වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

  • අපි දැන් සීයට සීයක් ස්වාධීන ආයතනයක්. අපිට අපේ දෙපයින් නැගී සිටින්න පුළුවන් – ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති

    අපි දැන් සීයට සීයක් ස්වාධීන ආයතනයක්. අපිට අපේ දෙපයින් නැගී සිටින්න පුළුවන් – ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති

    රජයට අයත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම මේ වනවිට මහාභාණ්ඩාරය මත යැපෙන තත්වයෙන් ඉවත්ව ස්වාධීනව නැගී සිටිය හැකි මට්ටමට පැමිණ ඇති බව එම ගුවන් සමාගමේ සභාපති සරත් ගනේගොඩ මහතා පවසයි.

    “අපට දැන් ගුවන් යානා 23ක් තියෙනවා මේකත් එක්ක. පුළුල් බඳ යානා 10 යි, පටු බඳ යානා 13 යි. ඒකත් එක්ක දැන් ගමනාන්ත 37කට විතර ක්‍රියාත්මක වෙනවා, රටවල් 24ක මං හිතන්නෙ. අලුත් ගුවන් යානයත් එක්ක අපි හිතනවා අපට ඉතාමත් කාර්යක්ෂම සේවයක් දෙන්න පුළුවන් කියලා අපේ මගීන්ට. නිවැරදි වේලාවට පැමිණීම් අපට වැඩිදියුණු කරන්න පුළුවන් වෙයි. මේක දැකපුවාම ඔබට පේනවා හොඳින් නවීකරණය කරන ලද යානයක්. ඒකත් එක්ක අපට මගීන්ට වඩා හොඳ සේවාවක් දැන් තියෙනවාට වඩා ලබාදෙන්න පුළුවන් වෙයි”

    ප්‍රශ්නය – ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අනාගතය පිළිබඳව රටේ ජනතාවට මොන වගේ අදහසක්ද බලාපොරොත්තු වෙන්න පුළුවන් ?

    “රටේ ජනතාවටත් ඉස්සෙල්ලා අපට බලාපොරොත්තුව දෙන්න ඕනෙ මේකෙ ඉන්න 6,000ක් සේවක පිරිසට. කේටරින් එකේ තව 900ක් ඉන්නවා. ඒ කියන්නෙ පවුල් 6000ක්, ඒගොල්ලොන්ගෙ දරුවන්, අපට ඔක්කොටම ඉස්සෙල්ලා ඒගොල්ලොන්ට දෙන්න ඕනෙ බලාපොරොත්තුව. අපි හිතනවා දැන් ඒගොල්ලොන්ට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා කියලා. රටේ ජනතාවට දැනගන්න පුළුවන් වෙයි මේකෙ ප්‍රතිලාභ. අපි දැන් මහාභාණ්ඩාගාරයෙන් යැපෙන්නෙ නෑ. අපට අවශ්‍ය නෑ මහාභාණ්ඩාගාරය මත යැපෙන්න. අපි දැන් 100%ක් ස්වාධීන ආයතනයක්. ඔබ දන්නවා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ගැන, එතැනදී යම් සීමාවන් තියෙනවා මහාභාණ්ඩාගාරයට රාජ්‍ය ව්‍යාපාරවලට සහාය දීමේදී. අපි හිතනවා දැන් අපට අපේම දෙපයින් නැගී සිටින්න පුළුවන් කියලා. ඒ කියන්නෙ රටේ ජනතාවට බරක් වෙන්නෙ නැතිව අපි බලාපොරොත්තු වෙනවා මේක කළමනාකරණය කරගන්න”

    සරත් ගනේගොඩ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අලුතින් එක්වුණු A 330 – 200 පුළුල් බඳ ගුවන් යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි අවස්ථාවේදී එය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

  • ශ්‍රී ලංකන් ගුවන් සේවයට තවත් ගුවන් යානයක් එකතුවෙයි. නිරීක්ෂකයින්ට විශේෂ අවස්ථාවක් !

    ශ්‍රී ලංකන් ගුවන් සේවයට තවත් ගුවන් යානයක් එකතුවෙයි. නිරීක්ෂකයින්ට විශේෂ අවස්ථාවක් !

    සටහන – රුවන් නෙළුගොල්ල

    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා ඇණියට එකතු වන එයාර්බස් A330-200 ( Airbus A330-200) පුළුල් බඳ (wide-body) සහිත ගුවන් යානය හෙට (ජුනි 4) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

    ප්‍රංශයේ පැරිස් නුවර සිට පැමිණෙන මෙම ගුවන් යානය, මෙරට ගුවන් යානා නිරීක්ෂකයින්ට විශේෂ අවස්ථාවක් ලබාදෙමින්, කොළඹ සහ කටුනායක ඉහළ අහසේ අඩු උසකින් පියාසර කිරීමක් සිදු කරනු ඇති බව සඳහන්.

    ඒ අනුව, උදෑසන 8:00 සිට 9:00 දක්වා, අඩි 1500ක පමණ උසකින්, මෙම ගුවන් යානය කොළඹ වෙරළ තීරය ඔස්සේ, වරාය නගරයේ හි දකුණු කෙළවරේ සිට මොරටුව දක්වා දිස්වන පරිදි පියාසර කරනු ඇත.

    ඉන්පසු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ (BIA) වෙත පැමිණෙන අතර ගොඩබැසීමට පෙර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ඉහළින් තවත් පියාසැරියක් සිදු කරනු ඇත.

    ශ්‍රී ලංකාව ලොවට සම්බන්ධකරන දිගු දුර හා කෙටි දුර ගමනාන්ත මෙහෙයුම් සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවයේ යානා ඇණිය සමඟ එකතුවන මෙම ගුවන් යානය පළමු වරට පැමිණීම දැකගැනීමට ලැබීම ගුවන් යානා ලෝලීන්ට සහ නිරීක්ෂකයින්ට ආකර්ෂණීය අවස්ථාවක් වනු බවයි එම ගුවන් සේවය සඳහන් කරන්නේ.

  • ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුව තිබෙන අක්‍රමිකතා ගැන පැය 4ක සාකච්ඡාවක්. කමිටුවකුත් පත්කරයි

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුව තිබෙන අක්‍රමිකතා ගැන පැය 4ක සාකච්ඡාවක්. කමිටුවකුත් පත්කරයි

    සටහන – රුවන් නෙළුගොල්ල

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුව තිබෙන දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට ජනාධිපති කාර්යාලය මූලික කරගත් කමිටුවක් පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

    ඒ, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ඊට අනුබද්ධ සියලුම වෘත්තීය සමිතිවල නියෝජිතයන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (20) පස්වරුවේ පැවති සාකච්ඡාවේදී ය.

    අදාළ සාකච්ඡාව පැය 4කට ආසන්න කාලයක් පැවැත්වී ඇත.

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිමිකාරීත්වය රජය සතුව පවත්වා ගැනීමට ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණය අනුව යමින් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සකස් කරන ලද ව්‍යාපාර සැලැස්මෙහි ඉලක්ක ළගා කර ගැනීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

    ඒ අනුව මුල්‍ය ප්‍රවාහ කළමනාකරණය හා ආයතනයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම තුළින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාඩු නොලබන ආයතනයක් ලෙස ගොඩනැංවීමට එහි සියලු පාර්ශවයන්ගේ දායකත්වය හා කැපවීම ලබාදීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණි.

    සාමූහික මැදිහත්වීමක් නොමැතිව ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගොඩනැඟිය නොහැකි බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මෙහෙයුම් වියදම් වෙනුවෙන් තවදුරටත් මහා භාණ්ඩාගාරයෙන් ප්‍රතිපාදන හිමි නොවන පසුබිමක, ආයතනය තුළම ආයතනය ගොඩනඟා ගැනීමේ ශක්‍යතාව වර්ධනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

    දේශපාලන අධිකාරිය ලෙස මෙරට ආර්ථික අර්බුදයෙන් මුදා ගැනීමට කළයුතු සියලු කැපකිරීම් සිදු කරන බවත්, එලෙසම ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගොඩනැඟීම එහි සියලු කාර්‍යමණ්ඩලයේ වගකීම බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

    මෙවර අයවැයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙනුවෙන් රු. බි. 20ක ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් මෙය මෙරට ජනතාවගෙන් අයකර ගන්නා බදු මුදල් බැවින් එම සියලු මුදල් ඵලදායීව යෙදවීම සියලුදෙනාගේ වගකීම බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    රජයේ හිමිකාරීත්වය යටතේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාඩු නොලබන ව්‍යාපාරයක් බවට පත් කිරමේ රජයේ අරමුණ ඉටු කර ගැනීම වෙනුවෙන් වෘත්තීය සමිතිවල පූර්ණ සහාය ලබා දෙන බවත්, එය තමන්ගේද මූලික අභිප්‍රාය බවත් මෙයට සහභාගී වූ වෘත්තීය සමිති නියෝජිතයෝ ජනාධිපතිවරයා ඉදිරියේ සහතික වූහ.

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති සරත් ගනේගොඩ මහතා ඇතුළු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්, ශ්‍රී ලංකන් ගුවන් නියමු සංසදය, ගුවන් සේවක සංගමය, බලපත්‍රලාභී ගුවන්යානා ඉංජිනේරුවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකන් ගුවන් සේවා ගුවන්යානා කාර්මික ශිල්පීන්ගේ සංගමය, ගුවන්යානා ඉංජිනේරු සංසදය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, අන්තර් සමාගම් සේවක සංගමය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවා විධායක සංගමය යන වෘත්තීය සමිතිවල නියෝජිතයෝ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

  • ජනපති අනුර සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති ඇතුළු ඉහළ නිලධාරීන් අතර හමුවක්

    ජනපති අනුර සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති ඇතුළු ඉහළ නිලධාරීන් අතර හමුවක්

    සටහන – රුවන් නෙළුගොල්ල

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (අප්‍රේල් 08) පස්වරුවේ පැවැත්විණි.

    ශ්‍රී ලංකන් ගුවන් සමාගම වඩා ලාභදායී රාජ්‍ය ව්‍යාපාරයක් බවට පත් කිරීමට අදාළ යෝජනා පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ණය කළමනාකරණය සඳහා ගත හැකි කෙටි කාලීන සහ දිගු කාලීන විසඳුම් පිළිබඳවද අවධානය යොමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

    නව ආයෝජන අවස්ථා පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ශ්‍රී ලංකන් ගුවන් සේවය ලාභදායී ආයතනයක් බවට පත් කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් ලාභ ලැබුවද , වැරදි කළමනාකරණ තීරණ හේතුවෙන් පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් අතර ඉහළින්ම ඇති ආයතනයකි. එම ආයතනය පෞද්ගලීකරණය කිරීමට පසුගිය ආණ්ඩුව විසින් ගන්නා ලද තීන්දුව වෙනස් කරමින් වත්මන් රජය එය තවදුරටත් ජාතික ගුවන් සේවය ලෙස පවත්වාගෙන යාමටත්, නව කළමනාකරණයක් යටතේ ලාභ ලබන ආයතනයක් බවට පරිවර්තනය කර ඉදිරියට පවත්වාගෙන යාමටත් තීරණය කර තිබේ.

    කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව යන මහත්වරුද, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති සරත් ගනේගොඩ මහතා ඇතුළු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ උසස් නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.