Wednesday, October 5, 2022

Latest Posts

පුන්සඳ රෑට

ගී ඇසුර 19

නිරෝෂා විරාජිනී ගීත ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ඇගේ අම්මාගෙ අඩිපාරෙ යමින්. නිරෝෂගෙ අම්මා වර්ජිනියා ද සිල්වා. ඇය ගායිකාවක්. ඒ වගේම නාට්‍යවල රඟපාපු රංගන ශිල්පිනියක්. නිරෝෂගෙ අම්මගෙ ගම නුවර. තාත්තා ගාල්ලෙ. නිරෝෂා ඉපදුණෙත් නුවර තෙල්දෙණියේ. කාලයක් එයාලා ත්‍රිකුණාමලේ අනුරාධපුර හංදියෙ තමයි පදිංචි වෙලා හිටියෙ. තුනේ පංතියට එනකල් ඇය ඉගෙනගත්තෙ ත්‍රිකුණාමලේ ශාන්ත මරියා කන්‍යාරාමේ. ඊට පස්සෙ තමයි කොළඹ එන්නෙ. කොළඹ ග්‍රෑන්ඩ්පාස්වල ශාන්ත ජෝශප් කන්‍යාරාමයට ඇතුළත් වුණත් නිරෝෂා ප්‍රිය කළ සංගීත විෂය හදාරන්න ඒ කන්‍යාරාමේ පහසුකම් තිබුණේ නැහැ. ඒ වුණත් ඇයට පුංචි කාලෙ ඉඳලම සිංදු කීමේ “උණ” නම් බොහොම තදට තිබුණා.

ඔය කාලෙ සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ “සොක්කානෝ රජාණෝ” නාට්‍යයේ ගායන වෘන්දයේ නිරෝෂාගේ අම්මත් හිටියා. සංගීත පුහුණුවීම් කළේ ප්‍රවීණ සංගීතවේදී ඔස්ටින් මුණසිංහ. ඉතින් ඒ හිතවත්කමත් එක්ක නිරෝෂාව ඔස්ටින් මුණසිංහ යටතේ සංගීතය හදාරන්නට යොමු කරන්න ඇගේ මව පියවර ගත්තා. එතකොට නිරෝෂගේ වයස අවුරුදු 12ක් – 15ක් විතර ඇති.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යාපන සේවයේ තිලක් ජයරත්න නිෂ්පාදනය කළ අධ්‍යාපනික වැඩ සටහන්වල සංගීතය නිර්මාණය කළෙත් ඔස්ටින් මුණසිංහ. ඔහු තමන් යටතෙ සංගීතය හදාරපු නිරෝෂා, තරුපති සහ ස්වේතකි ඇතුළු ගෝල බාලයින්ව අර ළමා වැඩ සටහන්වලට දායක කරගත්තා. 50ක-100ක විතර පිරිසක් අතරින් ළමා අධ්‍යාපන වැඩ සටහන්වල නාට්‍ය, ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම් යනාදියටත් නිරෝෂා තේරුණා. ඔස්ටින් මුණසිංහ ඇගේ හැකියාවන් අවබෝධ කරගත් නිසා ඇය තෝරාගත්තේම ගීතවල ඒකල ගායන ඛණ්ඩවලට.

එතකොටත් සෙනසුරාදා, ඉරිදා දවස්වලට ඔස්ටින් මුණසිංහ යටතේ සංගීතය හදාරන්නට නිරෝෂා යනවා අම්මා එක්ක. ඒ වෙනකොට ඇය ඉගෙන ගත්තේ 8 වන ශ්‍රේණියෙ.

“ඔය ළමයට ඉහළ ස්වරවල විතරක් නෙමේ ජනකවි ගායනාත් හොඳට කියන්න පුළුවන්.”

ඇගේ ස්වර පරාසයෙ ඇති පෘථුල බව ඔස්ටින් මුණසිංහ එවකට නිතර අගය කළා. සාමාන්‍ය පෙළ කරන අවධිය වෙද්දි සුපර් සන්ස්, අප්සරාස් වගේ එවටකට ප්‍රකට සංගීත කණ්ඩායම් එක්ක ප්‍රසංග වේදිකාවට ගායිකාවක විදිහට අවතීර්ණ වෙන්න නිරෝෂාට අවකාශ සැලසුණා. සිංහල වගේම දෙමළ ගීත ගායනවලදීත් ඇය පෙන්නුම් කළේ ඉහළ කුසලතාවක්. ප්‍රකට දෙමළ නිවේදක බී. එච්. අබ්දුල් හමීඩ්ගෙ මඟ පෙන්වීමෙන් දෙමළ බස හා උච්චාරණය වැඩිදියුණු කරගැනීමට සමත් වූ ඇය ඊට පසුව කර්ණාටක ​සංගීත​ය හැදෑරීම සඳහා භාරතයට ගියා. එහි ගත කළ දෙවසරක කාලය තුළ තමයි දෙමළ හා හින්දි භාෂා කුසලතාව ප්‍රශස්ත තලයකට වැඩිදියුණු කරගත්තෙ.

ඊට පස්සෙ මෙරට සංගීත ප්‍රසංගවල දෙමළ සහ හින්දි ගීත ගැයීමේ ශිල්පිනියක විදිහට තමයි නිරෝෂා ජනප්‍රිය වුණේ. ඔය අතර ගායිකාවක විදිහට ඇය ප්‍රබල මුද්‍රාවක් තැබුවේ “මෙල්ල තිරන්දදු කදවු” නැමති දෙමළ චිත්‍රපටයෙ එස්. ජානකී ගැයූ “උරිසනම්” කියන දෙමළ ගීතයේ අනුකරණයෙන් නිර්මිත “සි​ත හඬයි” ගීයෙන්.

ඔය කාලෙ නිරෝෂල පදිංචි වෙලා හිටියෙ මාවරමණ්ඩියෙ. ඔස්ටින් මුණසිංහල නිවාඩු පාඩු වෙලාවල එහි යනවා. මාවරමණ්ඩියෙ ගෙදර අතින් වතුර ගන්න පුළුවන් ළිඳක් තිබුණ. ඔස්ටින් පවුල එහෙ ආවම ගමේ ඇවිදල, නාල, කාල බීල, විනෝද වෙලා තමයි යන්නෙ. නිරෝෂලගෙ පවුලෙ උදවිය මෙහෙ එනවා. පවුල් දෙක හරිම සුහදයි.

1994 වෙද්දි පෞද්ගලික ගුවන්විදුලි මාධ්‍යයක් විදියට සිරස එෆ් එම් බිහිවුණා. ජාතික ගුවන් විදුලියේ සරල ගී වැඩසටහන් ආකෘතිය වඩාත් සංවර්ධනය කරමින් “අලුත් සිංදු” නමින් වැඩසටහනක් සිරස ආරම්භ කළේ 1995 වසරෙදි. එහි පළමු වැඩ සටහන පිරිනමල තිබුණෙ නිරෝෂා විරාජිනීට. ළසොවින් සසැලී (නිලාර් එන්. කාසිම් /සමන්ත පෙරේරා) නාඳුනන සිහිනේ (ඩෙන්සිල් නුගේගොඩ /අතුල අධිකාරි) ඔබ තාම ආවේ නෑ (අජන්තා රණසිංහ / අතුල අධිකාරි) සඳ එළිය ඔබ නිසා (නිලාර් එන්. කාසිම් /සමන්ත පෙරේරා) යන ගී 4 එයට ඇතුළත් වුණා. නිරෝෂගෙ ස්වාධීන ගී නිර්මාණ ගමන් මඟ ඇරඹෙන්නෙ එතැන් සිට.

සිත ඔබට මුවා වී (අරුණ කිත්සිරි /සමන්ත පෙරේරා) ගීතයත් ඒ වෙනකොට රසිකයන්ගෙ අවධානයට පාත්‍ර වෙලා තිබුණෙ.

“නාඳුනන සිහිනේ” ඇතුළු ගීතවල ජනප්‍රියත්වයත් එක්ක ටොරානා ආයතනය මඟින් නිරෝෂා විරාජිනීගෙම ගී ඇතුළත් සංගීත තැටියක් නිෂ්පාදනය කරන්නට කැමැත්ත පළ කළා. සෙසු ගී අතර සිය ගුරුතුමාණන්ගෙ ගීයක් ඊට ඇතුළත් කරගැනීමේ අභිලාෂයෙන් ඇය ඔස්ටින් මුණසිංහ ඇමතුවා. තමන් ළමා කාලයේ සිට හඳුනන සිය සිසුවිය වෙනුවෙන් වඩාත් ප්‍රශස්ත ගීයක් රචනා කරගැනීමේ අටියෙන් ඔහු කතා කළේ ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහට.

“රත්න ශ්‍රී, අපේ ළමයෙක් ඉන්නවා හොඳට කියන්න පුළුවන්. හින්දි සින්දුත් හොඳට කියනවා. ඔයා ළඟ තියෙනවා නම් වචන ටිකක් එවන්න, අද හෙට !”

“හදිස්සියට ලියල එවන්න නං විදියක් නෑ ඔස්ටින්. මං ඉන්දීවරීට දීල තියෙනවා හොඳ සිංදුවක්. ටිකක් කල්. එයා කියන්නෙ නැත්තං ඉල්ල ගන්න.”

ඒ වෙනකොට රත්න ශ්‍රී නිරෝෂව හඳුනන්නෙ නැහැ. ඔස්ටින් මුණසිංහ රත්න ශ්‍රී ගෙ පණිවිඩය ඇයට සැල කළා. හොඳ වෙලාවට ඉන්දීවරී අබේවර්ධන එක්ක නිරෝෂගේ අම්මගෙ හිතවත්කමක් තිබුණා. ඒ අනුව ඉන්දීවරී අර ගීතය නිරෝෂාට පරිත්‍යාග කළේ නිර්ලෝභීිවමයි.

“මේ සිංදුව මං කියනවට වඩා ඔයා කිව්ව නම් ජනප්‍රිය වෙයි පුතේ.”

ඉන්දීවරී කිව්වා.

රත්න ශ්‍රී ඔය ගී පද මාලාව රචනා කරල තිබුණෙ ඔහු පෞද්ගලිකව ලත් අත්දැකීමක් ඇසුරු කරගෙන. එ අවධියෙ රත්න ශ්‍රී වැඩ කළේ සමෘද්ධි අමාත්‍යංශයේ ජ්‍යේෂ්​ඨ සහකාර ලේකම් තනතුරක. ඉතින්, එක පාරක් ඔහුට ක්ෂේත්‍ර පරීක්ෂණයකට කහටගස්දිගිලිය ගමට යන්න සිද්ධ වුණා, අමාත්‍යංශයෙ තව තුන්දෙනෙකුත් මේ ගමනට එකතු වෙලයි හිටියෙ. ඒ ගිය දිහාවෙ පහසුකම් එහෙම නැහැ. කෑම කන්න සුදුසු තැනක් හොයාගෙන යද්දි සාම්ප්‍රදායික වටපිලක් තියෙන, ඉලුක් හෙවිලි කරපු, මැද මිදුලක් ඇති පිරිසිදු ගෙයක් දකින්න ලැබුණා. හරිම සිරියාවන්තයි. ගේ ඉස්සරහ ලොකු වී බිස්සක්.

ඒ ගෙදර හිටියෙ අවුරුදු 80ක විතර කාන්තාවක් විතරයි. ගෙට යාබඳව හේන් යායක් තිබුණා. ඉරිඟු වගේ භවභෝග රටාවකට වගා කරල. ගෙයි හතර වටේ විපරම් කරපු රත්න ශ්‍රී ගෙ හිතට ලොකු ප්‍රශ්නයක් මතුවුණා.

“අම්මා තනියෙන්ද මේ ගෙදර ඉන්නෙ…?”

“එයා ඉන්නවා. මාසෙ පුරාම හේනෙ තමයි ඉන්නෙ. සමහර විට මාසය හමාර එන්නෙ නෑ. තනිකමක් දැනුණම, ඉඳහිට මාත් යනවා හේනට….”

ඇය එක දිගට කියාගෙන ගියා.

“ළමයි එහෙම නෑ?”

“කොහෙද පුතේ. අපේ උන්දැට ඕන කමක් තිබුණෙ නෑ. හැමදාම උදේ පාන්දර අමුඩෙ ගහගෙන හේනට යනවා. සමහර විට රෑට එන්නෙත් නෑ. දරුවො උන්න නං මේ වෙද්දි ගජ ඉලන්දාරි.”

ඈ පෙළවහක් කරන් ආ දා ඉඳන්ම ඔහු හේනට ගිහින් හැන්දෑකරේ ගෙට ගොඩවෙනකල් මේ පිල උඩ ඈඳිගෙන මඟ බලන් ඉන්න ඇති. ඇත්තටම ඇය මව්වත් ගුණයක් ඇති කාන්තාවක්. හරිම ප්‍රියමනාපයි. තරුණ කාලෙ හැඩට විසේට ඉන්න ඇති. රත්න ශ්‍රී ගේ හිතට නැගුණෙ එහෙම සිතුවිල්ලක්. ඒ සිතුවිල්ලමයි ගීයට නැගුණෙත්.

පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ
රන්කෙඳි සේම රන්වන් ඉරිඟු ඉඹිනවද
තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර ඉඳ
රන්කඳ තාම පැල් රකිනවද නිදි නැතිද

අඹු සැමියන් වෙන්වෙලා, මේ ගෙවන ජීවිතය හේන් ගොවීන්ට විතරක් නෙවෙයි. මුරකරුවන්ට, හෙද හෙදියන්ට, වෛද්‍යවරුන්ට, ධීවරයන්ට වගේම ආරක්‍ෂක අංශෙ අයටත් උරුමයි. අර සක්වාලිහිණි කතාවෙ වගේ. සක්වාලිහිණින් යුවල දවල් කාලෙ එකට හිටියට හඳ පායන කොට රෑ කාලෙ වෙන් වෙනවා. එළිවෙනකල් දෙපැත්තට වෙලා අඬනවා. හරිම ඛේදවාචකයක්.

රචකයාට මේ ගීතය සඳහා ආකෘතිය සම්පාදනය කරන්නෙ සුරඹා වල්ලියෙ කවි.

දැතින් පන්දු උඩ දමමින් නොවල සිනා
ඈතින් සිට නටා පද නිවැරදි ලෙසිනා
මේ දැන් සබේ සිටිනා සැම සන්තොසිනා
දෑසින් බලන් සුරඹා වල්ලිය නටනා

ඔස්ටින් මුණසිංහට මේ ගී පද පෙළ ලැබුණම ඔහු තනුව නිර්මාණය කළෙත් සුරඹා වල්ලියෙ නාද මාලාව තරමක් විස්තාරණය කරමින්. පටිගත කිරීම් යොදා ගත්තෙ නුගේගොඩ සොනික් ශබ්දාගාරයෙ. ගීතය සඳහා සංගීත භාණ්ඩ භාවිත කළේ සීමා සහිතව. මුළු ගීය පුරා අපට ඇහෙන බැන්ජො සහ බේස් ගිටාරය වාදනය කළේ ඇන්තනි සුරේන්ද්‍ර. ඒ කාලෙත් ඔහු හරිම කාර්යබහුලයි. මහ රෑ මැදිරි වෙලාවක් වෙන් කරන් ඇවිත් තමයි තමන්ගෙ කොටස වාදනය කළේ. ඒ බැන්ජො සහ බේස් ගිටාර් නාදමාලාව ගීතය විචිත්‍රත්වයෙන් ඔසවා තබන්නට ලබා දුන්නේ ප්‍රබල උත්තේජනයක්. මහේන්ද්‍ර පැස්කුවල් තමයි මෙහි රිදම් ගිටාරය වාදනය කළේ. තබ්ලාව හේමපාල ගාල්ලගෙත්, ඔක්ටපෑඩ් ධනංජය සෝමසිරිත් වාදනය කළා. සරපුවරු අලංකරණය ජයන්ත රත්නායකගේ.

නිරෝෂා නිතර ගයන්නෙ ඉහළ ස්වරවල. මේ ගීතයෙදි ඇගේ හඬ මධ්‍ය සප්තකයෙ ස්වර කීපයකට රැගෙන එන්නට සංගීතඥයා කටයුතු කර තිබෙනවා. වැළපුම් ගීවල පවා තියෙන ගායන තාක්‍ෂණයක් වන ස්වරයකින් තව ස්වරයකට ගමන් කරන හැඩය මෙහිලා උපයෝගී කරගෙන තියෙන්නෙ ගීතාත්මයේ හැඟීම් සූක්‍ෂමව සූචනය කරන්නට. ඒ අනුවයි නිරෝෂා ගයන වෙනත් ගීත වලට වඩා වෙනස් හඬක්, විලාසයක් මේ ගීයෙදි ඇහෙන්නෙ.

ගී පද රචනය, සංගීතය හා ගායනය යන අංග ත්‍රිත්වයේම සුසංයෝජනය නිසා මේ ගීය විශිෂ්ට නිර්මාණයක් හැටියට විද්වතුන් මෙන්ම පොදු මහත් රසිකයනුත් ආදරයෙන් වැළඳ ගත්තා. එය නිරෝෂා විරාජනීගේ ගී ගමන් මඟේ ප්‍රබල මං සලකුණක්.

“පුන්සඳ රෑට” ඇතුළත් වුණේ ටොරානා ආයතනය නිෂ්පාදනය කළ නිරෝෂාගේ පළමු ස්වාධීන ගීත සමුච්චය වූ “නාඳුනන සිහිනේ” සංයුක්ත තැටියට.

© නිලාර් එන්. කාසිම්

පෙර ලිපි:

ගමේ කෝපි කඩේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.