උපාලි කොළඹගේ
කොළඹ LNW:අධ්‍යාපනය පිළිබඳව විවිධ මාතෘකා ඔස්සේ අදහස් දක්වන පිරිස් බොහෝය. වැඩි පුරම ඇත්තේ විරෝධයය. එයිනුත් වැඩි කොටහ අධ්‍යාපන ඇමතිනිය වන අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියටය. අනිකකුට ගල් ගහන්න කිසිදු සුදුසුකමක් නැතිවුන් ඇයට ගල් ගෝනි පිටින් ගසති.
කෙසේ වුවත් මා මෙහිදී විශේෂ අවධානය යොමු කරනුයේ එක්වරම නිසි විසඳුමක් ලබා දීමට නොහැකි නිසා කවුරුත් නෑසූ කන්ව අහක බලා ගෙන සිටින වැදගත් කරුණක් පිළිබඳවය. එනම් ආපදාවට ගොදුරු වූ ප්‍රදේශවල සිටින අතිවිශාල සිසු දරුවන් පිරිසකගේ නිහැඬි අඳෝනාව ගැනය. මේ කරුණ පිළිබඳව එම සිසු දරුවන් තබා ඔවුන්ගේ දෙමවුපියන්ටවත් මේ මොහොතේ උද්ඝෝෂණ තබා ඉල්ලීමක් වත් කළ නොහැක. ඒ ඔවුන් අතරින් වැඩි පිරිස තවමත් යැපුම් මානසිකත්වයෙන් සිටින නිසාය. තවමත් ආණ්ඩුවේ ආධාර ලබන හා තවත් කලක් එම තත්ත්වයේ සිටින වැඩිහිටියන්ට තම දුවා දරුවන්ගේ සාමාන්‍ය පෙළ විභාගය පිළිබඳව අවධානය යොමුකිරීම හෝ ඊට අදාළ කිසියම් හෝ හැකියාවක් නැත.
2025 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය එන පෙබරවාරි මස මැද හරියේ පැවැත්වෙයි. දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාව අතර මෙවර සාපෙළ විභාගයට පෙනී සිටින දූ දරුවෝද විශාල පිරිසක් සිටිති.
මේ අය සැවොම එක හා සමානව පීඩාවට පත්ව නැත. සමහරුන්ගේ පවුලේ කිසිවකු නැත. සමහරුන්ගේ පවුලේ එක් අයකු හෝ දෙදෙනකු ඉතිරිව අනෙක් සියලුම දෑ විනාශව ගොස් ඇත. සමහර දරුවන්ගේ නිවාස හානිව ඇත. ඒවා පූර්ණ හානි හා අර්ධ හානි වශයෙන් වර්ග කළ හැක. තව අයගේ නිවාස නෑසියන් ඉතිරිව ඉගෙන ගන්නා පාසල කඩා වැටී ඇත. සියල්ල බේරී පොත් පත් ගංවතුරට ගසා ගෙන ගිය දරුවෝද සිටිති. තව සමහර දරුවන්ගේ සියල්ල බේරී නමුත් ගමේ බොහෝ පිරිසක් අනාථව සිටිති.
මට කීමට අවශ්‍ය අති විශාල සිසු දරු පිරිසක් විවිධාකාරයෙන් විපතට පත්ව අසහනයේ ගොදුරු බවට පත්ව සිටින බවය. මේ අයට අපොස සාමාන්‍ය පෙළ වැනි කඩයිම් විභාගයකට පෙනී සිටීමට හැකිද යන්න මට නම් ගැටලුවකි. අමතක නොකළ යුතුයි හම්බන්තොට, ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්ක තුන හැර රටේ අනිකුත් සියලුම දිස්ත්‍රික්කවල ජනතාවට මෙම සුළි කුණාටුවෙන් හා ගංවතුරින් හානි සිදුවූ බව. එමෙන්ම ආපදා ප්‍රදේශවල සෘජු බල පෑමට ලක් නොවූ එහෙත් අසහනයට පත් විශාල සිසු දරු පිරිසක් එම ප්‍රදේශවල බවද අමතක නොකළ යුතුය. මෙම තත්ත්වය සමහන් කිරීමට ඇතැම් ප්‍රාදේශීය අධ්‍යාපන බලධාරීන් උත්සාහ කළද පවත්නා සංකීර්ණ අවකාශය තුළ ඊටද ඇත්තේ අඩු ඉඩකි.
නමුත් මෙතැන පැන නගින බලවත්ම ගැටලුව නම් සියල්ල ඇත්ත නමුත් කරන්නේ කුමක්ද යන්නය. මා නම් හිතන්නේ විභාගය කල්දැමීම මිස මීට වෙනත් විසඳුමක් නැත කියාය. මෙවැනි රජයේ විභාගයකදී ප්‍රදේශ ගැන හිතා හෝ පුද්ගල කණ්ඩායම් ගැන හිතා පිළිතුරු පත්‍ර පරීක්ෂා කළ නොහැක. එමෙන්ම විභාගයේ ලකුණු මට්ටම් පහතට ගෙන ඒමද එතරම් ප්‍රායෝගික නැත.
කෙසේ වුවත් නිහඬව සිටීම නම් කිසි සේත් පිළිගත නොහැක. එහි විකාර සහගත තත්ත්වය නම් අධ්‍යාපනයේ මොකක් හෝ අල්ලාගෙන දිනපතාම තප්පුලන පිරිසවත් මේ ගැන කිසිදු හඬක් නොනැගීමය.


