නිශ්මං රණසිංහ ජනවාරි 04, කොළඹ LNW:
ජනවාරි 4 වන දා සිට 8 වන දා දක්වා සිඩ්නි පිටියේ පැවත්වෙන,අළු බඳුන ටෙස්ට් තරගාවලියේ පස්වැන්න උස්මාන් කවාජා අපට පිටියේ දැක ගන්නට සිඳුවන අවසන් තරගය වන බව කවාජා සහතික කර කියා අවසන්ය.ඔහු ඔස්ට්‍රේලියාව වෙනුවෙන් පෑ දස්කම්වලට ගෞරවයක් ලෙස කවාජාට සමුදෙමින් ඔස්ට්‍රේලියානු අගමැතිවරයා ද සුබ පැතිමේ නිවේදනයක් නිකුත් කර ඇත.අගමැති ඇන්තනී ඇල්බනීස්ගේ පණිවිඩයේ ඔබේ උරුමය සහ ඔබේ අඩිපාරේ යන සෑම කෙනෙකුටම ඔබ තබා ඇති ආදර්ශය ගැන ඔබට ආඩම්බර විය හැකිය,” යනුවෙන් ලියා ඇත.

ඔහු පකිස්තානයේ ඉපිද ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ අයෙකු වන අතර ඔහුගේ ටෙස්ට් ජීවිතයේ අඛණ්ඩ පැවත්මට, ඔහු පිරිසිදු ඔස්ට්‍රේලියානුවෙකු නොවීම ද තදින් බලපෑ බවට බොහෝ මත ඉදිරිපත් වී ඇත. එහි සත්‍ය – අසත්‍යතාව ගැන නිශ්චිත මිම්මක් නැති වුව ද,ඉතා සාර්ථක ප්‍රතිපල පෙන් වූ පිතිකරුවෙකු වූ උස්මාන් කවාජා සුළු පසුබෑමකදි ඔස්ට්‍රේලියානු කණ්ඩායමෙන් පිටතට වීසි වෙන අවස්ථාවන්නම් නුපුරුදු නැත.

කවාජා විශ්‍රාම ගන්නා බව කියන විට වයස අවුරුදු 39 ක් සහ දින 17 ක් වූ මැදිවියට පිවිසෙමින් සිටින ක්‍රීඩකයෙකි.ඔහුගේ වයස ආසන්නයේ සිටින බොහෝ ක්‍රීඩකයින් අනාගත සැළසුම් සහිත සිය ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතය ගැන කතා කරන විට කවාජා නික්ම යන බව කියා ඇත.
ඔහු ඔස්ට්‍රේලියාව හැම විටම පිළිගත්තේ විශිෂ්ඨ ටෙස්ට් පිතිකරුවෙක් ලෙසය.ඒ නිසා ඔහු ටෙස්ට් තරග 87 දී ඔස්ට්‍රේලියාව නියෝජනය කරන්නට වරම් ලැබුව ද,එක්දින පිටියේ ඔහුට ඔස්ට්‍රේලියාව නියෝජනයට අවස්ථාව ලැබී ඇත්තේ තරග 40 ක් පමණක් නියෝජනය කරන්නටය.විස්සයි විස්ස තරග 9 දී ද ඔහු ජාතික කණ්ඩායම නියෝජනය කර ඇත.
ඔහු ටෙස්ට් ශතක 16 ක් සහ එක්දින ශතක දෙකක් ද ලබාගෙන ඇති අතර මේ සටහන තබන විට ඔහු සහභාගිවන අවසාන ටෙස්ට් තරගයේදී පන්දුවට පහර දී නැති නිසා සමහර විට තව ටෙස්ට් ශතකයක් එක්වීමට ද ඉඩ ඇත.විස්සයි විස්ස සංයුතිය ඇතුළේ ඔහු ලබාගෙන ඇත්තේ එක් අර්ධ ශතකයක් පමණි.ටෙස්ට් තරගයක පිතිකරණ සාමාන්‍ය 43.39 ක් ලෙස පවත්වා ගෙන ඇති කවාජා ඉතා සෙමින් සිය කණ්ඩායමේ කඩුලු බිඳ වැටීම ආරක්ෂා කරමින් පහර දීමට කටයුතු කළ ක්‍රීඩකයෙකි.ඔහුගේ ටෙස්ට් ඉණිමක ලකුණු ලැබීමේ වේගය ද 48.86 වීම එය පැහැදිළි කර ගත හැකි සාක්ෂියකි.
අවුරුදු 15 ට ඉතාම සමීප කාලයක් ටෙස්ට් පිටියේ සිටි කවාජා ටෙස්ට් පිතිකරුවෙකු සතුවිය යුතු ඉවසීම,සංයමය,දරා ගැනීම මෙන්ම අභියෝගයන් ඉදිරියේ නොසැලී සටන් කිරීමේ හැකියාවෙන් පරිපූර්ණ වු වමත් පිතිකරුවෙකි.වැඩි අවස්ථාවලදි ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු කර ඇති කවාජා ආරම්භක පිතිකරුවෙකු සාර්ථක ද නැද්ද යන්න කීමට තරගයක් දෙකක් නොව අවුරුදු ගණනක් බලා සිටිය යුතු බව සිය සමුගැන්මේදී කියා ඇති කතාවකි.
එය ක්‍රිකට් ගැන වැඩ කරන සහ කතා කරන කොයි මට්ටමේ අයෙකු වුව පූර්වාදර්ශයක් ලෙස ගත යුතු කියමනකි.දේශ සීමාවන් වලින් වෙන් නොවුණු ක්‍රිකට් හී ආනන්දයත්,අපූර්වත්වයත් කැටි කොට ගත් සුන්දර පිතිකරුවෙකු වන කවාජා ඔස්ට්‍රේලියාවට පමණක් නොව ක්‍රිකට් ලෝකයටය වටිනාකම් එකතු කළ ක්‍රීඩකයෙකි.

